තම බිරිය ඉදිරියේ කට වරද්දා ගත් සැමියකුට දින තුනක්ම බඩගින්නේ සිටීමට සිදු වූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. ඔවුහු දරුවන් දෙදෙනකුගේ දෙමව්පියන් වන මැදි වියේ පසුවන අඹු සැමියෝය. නගරයේ එදිනෙදා සොයා ගන්නා රැකියාවක් කර කීයක් හෝ සොයා ගෙන එයින් වැඩි ප්‍රමාණයක මත්පැන් පානය කර නිවසට යන සැමියා සහ බිරිඳ අතර නිතර අඩ දබර ඇති වන්නේ නිවසේ අගහිඟකම් වැඩි වීමත් සමඟයි.
මේ කාරණය නිසාම ඔවුන් දෙදෙනා රණ්ඩු නොවූ දිනයක් නොමැති තරම්ය.
රාත්‍රී ආහාරය සඳහා කිසිවක් නිවසේ නොමැතිව සැමියා එන තුරු බලා සිටි බිරියට හැම දිනකම දකින්නට ලැබෙන්නේ සවස් වී හොඳ හැටි මත් පැනින් සප්පායම් වී නිවසට පැමිණෙන සැමියාය. එය දකින ඇය නිතර යක්ෂාරූඪ වූවාය.
මෙහෙම ආවම මොනවද මනුස්සයෝ රෑට කන්නේ යැයි ඇය නිතර සැමියාගේ ඇඟට කඩා පැන්නාය. මේ කතාව දුරදිග ගිහින් සැමියාට මළ පනින්න තරම්ම තරහක් එන්නේය. මට මේ ඔක්කොම වෙලා තියෙන්නේ තමුසෙගේ මූසලකම හින්දා තමයි. අනෙක් ගෑණුන්ට කොච්චර නම් දේපළ තියෙනවද? උඹට මොනවද තියෙන්නේ ? අත් දෙක වනවනා ඇවිල්ලා මෙතැන මාව කන්න හදනවද? මේ ඔහු නිතරම කියන කතාවකි.
පසුගිය දිනක රාත්‍රියේ ද හොඳ හැටි සප්පායම් වී පැමිණි සැමියා මේ කතාවම කීවේය. මේ කතාව ඇසූ බිරිඳගේ ද ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. තමුසෙට ළමයි දෙන්නෙකුත් හම්බ වුණාට පස්සෙ ද දෑවදි මතක් වෙන්නේ. තමුසේ හම්බ කරගෙන තමුසේ කනවා. ආය මං තමුසෙට කන්න දෙන්නේ නෑ යැයි කියාගෙන සිය කාමරය තුළට රිංගා ගත්තාය. දවල් උයා ඉතිරිව තිබූ බත්ටික දරුවන් දෙදෙනාට කන්න දී ඇය නිදා ගත්තාය. සැමියා ද එදින නිරාහාරවම නිදා ගත්තේය.
මෙලෙස දින කිහිපයක් ගත වුවත් ඔහුට නිවසින් කෑම ලැබුණේ නැත. දවල්ට කඩයකින් කුමක් හෝ ආහාරයට ගත්තත් රාත්‍රි ආහාරය ඔහුට නොලැබිණ. මෙලෙස දින කිහිපයක් ගත වුවත් තත්වය යථා තත්වයට පත් වන බවක් පෙනෙන්නටවත් නොතිබිණ.
තවදුරටත් තමන්ට බඩගින්නේ නොසිටිය හැකි බව වටහා ගත් ඔහු අවසානයේ නිවසට යද්දී එදින උපයාගත් රුපියලක්වත් මත්පැන් සඳහා වැය නොකර සියලු මුදල්වලින් නිවසට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන ගියේය. තම සැමියා කවදාවත් නැතිව බඩු මලු උස්සාගෙන එනු දුටු බිරිඳට එදින රාත්‍රියේ ඉර පායා ඇත්දැයි සැක සිතිණි.
සැමියා බඩු මලුද උස්සාගෙන නිවසට ඇතුළු වනවාත් සමඟම ඔන්න මං ආයේ කවදාවත් බොන්නේ නෑ හොයන හැම රුපියලකින්ම ගෙදරට බඩු ගේනවා. දරුවන්ට උයලා කන්න දෙන්න යැයි කීවේය.
මේ කතාව බිරියට ලොකු අස්වැසිල්ලක් විය. එදින රාත්‍රියේ ගෙනා කළමනාවලින් ආහාර පිස දරුවන්ටද කන්න දී සැමියාටද දුන්නාය. පවුලේ සියලු දෙනා එදින සතුටින් එකට ආහාර ගත්හ. නමුත් සැමියාගේ මේ වෙනස් වීම දින කීයකට තියෙයි ද කියන එක බිරිඳට තවමත් සැකයකි.
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd