සපත්තු පෙට්ටි දෙකක් බස් රියකට පටවා තවත් සපත්තු පෙට්ටියක් ගෙන එනතුරු ඉන්නා ලෙස දන්වා ත්‍රිරෝද රියේ කුලිය ගෙවන්න රුපියල් 2500ක් කොන්දොස්තරගෙන් ඉල්ලාගෙන ගිය තරුණයකු එනතුරු බසය නවතාගෙන බලාසිටින්නට සිදුවූ සිද්ධියක් පෙරේදා 2 මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා විය. කන්දෙකැටිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කළ පෞද්ගලික බසය මහියංගණය ඔස්සේ ගමන් කළ එකකි.
මහියංගණයට නුදුරු පෙදෙසක දී බසය නැවත්වූවේ මගීන්ට නගින්නටය. හොඳින් ඇඳ පැළඳි තරුණයකු තරමක් විශාල පෙට්ටි දෙකක් බසයට පැටෙව්වේය. කොන්දොස්තර මොනවාදැයි විමසූ අවස්ථාවේ සපත්තු ටිකක් අරගෙන යනවා කී තරණයා තවත් පෙට්ටියක් ත්‍රීවිල් එකේ තියෙනවා ඒකත් අරගෙන එන්නම් කියා රුපියල් පන්දහසේ කොළයක් පෙන්වා මාරු කරගැනීමට අවශ්‍ය බව කියා ත්‍රීරෝද රියේ කුලිය ගෙවන්න රුපියල් 2500ක් කොන්දොස්තරගෙන් ඉල්ලා ගත්තේය. මුදල්ගත් තරුණයා අනෙක් සපත්තු පෙට්ටිය අරගෙන එනතුරු විනාඩි විස්සක් පමණ වේලා බසය නවතාගෙන බලා සිටියත් ආවේ නැත. කරකියාගත දෙයක් නොවූ කොන්දොස්තර මේ ගැන රියැදුරාට දැන්වීය.
රියැදුරාගේ උපදෙස් පරිදි සපත්තු පෙට්ටි එකින් එක විවෘත කර බලන්නට තීරණය කෙරිණි. පෙට්ටිය විවෘත කර බැලූ කොන්දොස්තරවරයාගේ මුවින් සිහින් කෙඳිරිල්ලක් පිටවිණි. ඒහි වූයේ වියළීගිය අන්නාසි රොඩු තොගයකි. මහත් රැවටිල්ලකට අසුවී බසය විනාඩි විස්සක් පමණ වේලාවක් ප්‍රමාද වූයේය. ඒ අතරම රුපියල් 2500ක පාඩුවක් විඳීමට ද සිදුවීමත් මගීන්, මේ සියල්ල දැකීමත් නිසා මහත් අපහසුතාවකට පත්වූ කොන්දොස්තර කරකියාගත දෙයක් නොවූ තැන හරි දැන් අපි යමුයි රියැදුරාට පැවසීය.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳින් හැඳ පැළඳගත් කෙනෙක් දැක්කාම හුඟාක් ඈයෝ හිතන්නේ ඔහු වැදගත් කෙනෙක් කියලා. හිනාවෙන්වත්, කතාවෙන්වත්, ඇඳුම් පැළඳුමෙන්වත් අද කාලේ කෙනෙක් මනින්න පුලුවන්ද..? කොන්දොස්තරට පෙන්වපු පන්දහසේ නෝට්ටුවත් හොර නෝට්ටුවක්ද කව්ද දන්නේ..? හොඳට අත පය තියාගෙන මෙහෙම වංචාවෙන් මුදල් කඩාවඩා ගන්න ලැජ්ජාවක්, බයක් නැති හැටි මේ මිනිසුන්ට.! (නි)
කොන්දොස්තරට තිබුනේ පන්දහස අරගෙන 2500 දෙන්න. (ර)
ඒ හොරාට නැවත හොරකම කරගෙන යන්න බැරි වේවි පත්තරේ පළවුණ නිසා ස්තූතියි ලංකාදීප. (ර)
පුද්ගලික බස්රථවල කොන්දොස්තරවරු ඉන්නවාද? ඉන්නේ සල්ලි එකතු කරන අය නේද? (බ)
කොන්දොස්තර මෙච්චර මෝඩද? හොඳ වැඩේ මෝඩ වැඩ කරනවට. (නි)
පවු අහිංසකයා. හොරු මේවා නවතන්නේ නැහැ. ඔවුන් මේවා අලුත් වටයකින් පටන්ගන්නවා. අපි කළයුත්තේ නොදන්නා මිනිසුන් විශ්වාස නොකර ඉඳීමයි (නි)
සතෙන් සතේ රුපියලෙන් රුපියල දවසින් දවස අනුන්ගේ ගිනි කෑවා නම් එකපාරටම නොහිතන වෙලාවක පව් ගෙවන්න වෙනවා. අනුන්ගේ ගින්දරින් තමන්ගේ ආලෝකය සපයා ගන්නා බොහෝ දෙනාට හොඳ පාඩමකි. (නි)