පෝද්දල සරත් ආනන්ද ගමගේ



තම මවගේ කැමැත්තෙන් නිවස හා ඉඩම ලියවාගෙන උප්පරවැට්ටියකින් ඇගේ බැංකු ගිණුම්වල මුදල්ද ගිල්ල අපූරු පුත්‍රයකු පිළිබඳ හද සසල කරන පුවතක් ගාල්ල දිස්ත්‍රික්කයට නුදුරු ගමකින් පසුගියදා වාර්තා විය.
මේ අම්මා විශ්‍රාමික ගුරු මාතාවකි. සැමියා වසර පහළොවකට පමණ පෙර මියගොස්ය. හොඳින් අධ්‍යාපනය ලැබූ එකම දරුවා රජයේ රැකියාවක නියුතු වෙයි. ඔහු උසස් අධ්‍යාපනය ලැබීමට අගනුවර යද්දී තරුණියක හා ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඈ හා විවාහ වූයේ මවුපියන්ගේ විරෝධය මැදය. විවාහවී මහගෙදර විසූ දෙපල පසුව අගනුවර පදිංචියට ගියේ එකම දියණියට අගනුවර පාසලක අධ්‍යාපනය ලබාදීමේ පරමාර්ථයෙනි.
ඉන්පසු අම්මා ගෙදර තනිවිය. විශ්‍රාම වැටුප හා ගෙය අසල කුලි ගේ බදුදීමෙන් ලැබෙන මුදල ඇයට ජීවත් වීමට හොඳටම ප්‍රමාණවත් විය. පුතා, ලේලි හා මිනිබිරිය මසකට වරක් පැමිණ මවගේ දුක සැප සොයා බැලූ අතර, පසුව ඇතිවූ කතා බහක් දුරදිග ගොස් ලේලියගේ පැමිණීම නතර විය.
මෙසේ කල් යන විට පුතා අම්මාගෙන් ගේ දොර ලියවා ගත්තේය. පුතාගේ සියලු‍ අවශ්‍යතාවන් සඳහා අම්මා සිය මුදල් වැය කළාය. වාහනයේ රෝද මාරුකිරීම් සඳහාද මුදල් වැය කළේ අම්මාය. මව බැලීමට පුතා පැමිණෙන විට නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන පැමිණියද ඔහු පිටව යනවිට බඩුවලට වැයවූ මුදල මෙන් දෙතුන් ගුණයක් ඔහු අම්මාගෙන් කඩා ගත්තේය.
 මෙසේ කල්‍ යනවිට දිනක් හදිසියේම පුතා මවට දුරකථනයෙන් අමතා දියණිය උසස් අධ්‍යාපනය සඳහා බටහිර රටකට යන බැවින් අම්මාගෙන් සමුගැනීමට හෙට දින නිවසට පැමිණෙන බව දැනුම් දුන්නේය.
 මිනිබිරියට සමුදීමට වහා සුදානම් වූ ආච්චි අම්මා විහාරස්ථානයේ නායක හිමියන් වැඩමවා උදෑසන දානයද පිළිගන්වා, පිරිත් දේශනාකර ඇයට ආශිර්වාද කිරීමටද කටයුතු සංවිධානය කළාය. ඒ අනුව නායක හිමියෝ පිරිත් දේශනාකොට ඈ අත පිරිත් නූලක්ද බැඳ ආශිර්වාද කළහ.


බටහිර රටට ගියපසු දියණියට වියදමට ඩොලර් අවශ්‍ය බැවින් ඒ සඳහා අම්මා ළඟ තිබෙන මුදල් ලබාදිය හැකිදැයි පුතා අම්මාගෙන් විමසීය. ඒ ගැන දෙපාරක් නොසිතූ ඇය මිනිබිරියගේ යහපත තකා තමා සියල්ල කරන බව පවසා, ඔවුන් සමග බැංකුවට ගොස් ඇගේ ගිණුමේ තිබූ සියලු‍ මුදල් ලබාගෙන පුතා අත තැබුවාය. පසුව ඈ දියණිය රට යන දින තමාද ගුවන් තොටුපොළ වෙත රැගෙන යන ලෙස පුතාගෙන් ඉල්ලු‍වාය.
පුතා ගත් කටටම “අම්මට යන්න වාහනයේ ඉඩ නැතැ”‍ යි කීවේය. ඉන් මහත්සේ කම්පාවට පත් අම්මා “මගේ සල්ලිවලට විතරද උඹල ළඟ ඉඩ තියෙන්නෙ”‍ යැයි අසා සිටියාය.
කට උත්තර නැතිවූ පුතා අම්මා නිවසට ඇරලවා නිවසටවත් ගොඩ නොවී ආපසු අගනුවර බලා පිටත්ව ගියේය.
එදින සිට පුත්‍රයා අම්මාට දුරකථන ඇමතුමක්වත් ලබා නොදෙන අතර, අම්මාගේ ඇමතුම්වලටද ප්‍රතිචාර නොදක්වන්නේය.