කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



වත්මන බිහිවූ අලු‍ත් සේවාවක් වන කුලී ප්‍රවාහන යතුරු පැදි සේවාවේ තරුණයකුට සිදුවූ අලි අබැද්දියක් පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් වාර්තාවේ.
කොල්ලා උසස් පෙළද උසස් ලෙස සමත්වී සිටින්නේය. වසර කිහිපයක් ගියද අධ්‍යාපන සුදුසුකම්වලට ඔහුට රැකියාවක් නොලැබුණේය. එහෙයින් ඔහු කල්පනා කළේ සුදුසු රැකියාවක් ලැබෙන තෙක් ස්වයං රැකියාවක නිරතවීමටය. ඒ සඳහා ඔහු සතුව ඇති යතුරු පැදිය භාවිතා කිරීමට කොල්ලා සිතුවේය.
ඒ අනුව දැන් දැන් යතුරු පැදිවලින් කොල්ලන් කරනු ලබන කුලී ප්‍රවාහන සේවාව ඔහු තෝරා ගත්තේය. ඒ සඳහා කොල්ලා සිය ජංගම දුරකතන අංකය අන්තර්ජාලයට මුදා හැරියේය. කොල්ලා කුලී ගමන්  යන්නේ තමන්ගේ ජංගම දුරකතන අංකයට එන ලොකේෂන් එක අනුවය.


කොල්ලාට වැඩ ආවේය. අතමිටද සරුවෙන්න පටන් ගත්තේය. ඒ නිසාම ඔහු මුදලට ගිජුවූවේය. අරමුණ වූවේ මුදල් හම්බ කිරීමය. ඔහු කුලී ගමන් යාමට අමතරව පාර්සල් ප්‍රවාහනය කිරීමටද පටන් ගත්තේය.
එදා ඔහුට තවත් කොල්ලෙකුගෙන් ලැබුණේ පාර්සලයකි. ඔහු එම පාර්සලය රැගෙන යන තැනද කීවේය. අදාළ ගාස්තුවද ලැබුණේය. කොල්ලා තමාට ලැබුණු පාර්සලය අදාළ තැනැත්තාට දීමට දැන් සිය යතුරු පැදියෙන් ගමනේය. අදාළ තැන සොයා ගත්තේය.
පාර්සලය දෙන්න කියූ තැනැත්තාට දුන්නේය. පාර්සලය දුන්නේ  කොල්ලෙක් නිසාත් එහි නීත්‍යනුකූල භාවයක් නොතිබුණු නිසාත් පාර්සලය අතට ගත් තැනැත්තා පාර්සලය ගෙනා කොල්ලාද බලෙන් මෙන් නතර කරගෙන පාර්සලය කඩා බැලු‍වේය. එහි තිබුණේ සිය දියණිය කොල්ලෙක් සමග අඩ නිර්වස්ත්‍රයෙන් ගත් ඡායාරූපය. ඒ සමගම පාර්සලය ගත් පුද්ගලයා එය ගෙනා කොල්ලාට තඩි බාන්න ගත්තේ මේ පාර්සලය එවුවේ කවුදැයි අසමිනි.
තමා කළේ කුලී සේවාවක් බවත් මේ සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවත් ඔහු අඬ අඬා කීවත් පලක් නොවුණේය. එය වැඩිවුණේ කොල්ලාට දීමට පාර්සලය දුන්නු කොල්ලාගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කර දමා නිසාය. මේ කලබැගෑනිය ඇසී එතනට ප්‍රදේශවාසීන් එනු දැක පාර්සලය ගත් පුද්ගලයා ඔහු අතහැරියේ තමාගේ දුවගේ කැරැට්ටුව ගම්මුන් දැන ගනීවි යැයි බියෙනි.