මගීන්ගෙන් පිරුණු දුම්රියක් කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්වීය.
”පළමු වැනි වේදිකාවට පැමිණි දුම්රිය මොරටුව බලා පිටත් වේ. දුම්රිය බම්බලපිටිය දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. බම්බලපිටිය සිට නවත්වන්නේ රත්මලාන, මොරටුව” ඇල්මැරුණු කටහඬක් ශබ්ද විකාශන යන්ත‍්‍රයෙන් ඇසිණි. මගීහු දුම්රියට ගොඩ වූහ. දුම්රියේ සිටි මගියෙක් දොරටුව හරස් කරමින් සිටිනු දුටු බිම සිටි මගියෙක් ” ඕයි යනවා ඇතුළට අපි යන්නේ නැද්දයි” පැවසීය.
” කාටද තමුසේ ඕයි කියන්නේ” අනෙකා විමසීය. ”තොට තමයි” පිළිතුරු ලැබිණි. ”හිටපන් උඹට මම” කියමින් දොරටුව හරස් කළ මගියා අනෙකාට ගසන්නට අත එසවීය. මගීහු දෙදෙනාව දෙපැත්තට කළහ. ”අරූ මට තෝ කිව්වා. ඕකාට මම බහිද්දි ගහනවා” මගියා පැවසීය.
”ගහපන් බලන්න. මමත් ගහනවා” අනෙකා පැවසූ විට, මැදිවියේ අයෙක් ”තෝ, තොපි කිව්වට ගණන් ගන්න එපා. තෝ, තා, තොපි ආමන්ත‍්‍රණය කරන්න යොදන වචන. රජ කාලේ නිතරම රජවරු පාවිච්චි කළා” යැයි පැවසීය.
”එහෙනම් මිනිහා රජෙක් වෙන්නැති” කෝපයෙන් සිටි මගියා පැවසූ විට අවට මගීහු සිනාසෙන්නට වූහ. ”මහත්තයා ගුරුවරයෙක්ද?” හෙතෙම විමසීය. ”ඔව් මම සිංහල ගුරුවරයෙක්. පුත තොප කොයිබට යන්නෙහිද?” ගුරුවරයා සිනාසෙමින් විමසීය. ”වැඩට යනවා සර්” පිළිතුර විය. ගැටුම නිමා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේමන්තගේ අදහස ඉතා අගෙයි. හේමන්තගෙන් මමත් ඉතිහාසය ගැන ටිකක් ඉගෙනගත්තා. බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ගැන. (නි)
ලංකාවේ විතරක් නොවෙයිනේ බලාගෙන යනකොට අපේ අය ලෝකේ පුරාවටම 'කලස්' පෙන්නගෙන යනවා වාගෙයි. (නි)
ඉනෝකා, නෙලුම්,යහම්පත්,නුවන්, ඔබ සැමගේ අදහස් වලට ගරු කරමි. අප තේරුම්ගත යුත්තේ අපේ අයගේ තිබෙන හීනමාන ගති පැවතුම් ගැනයි. මම සිටින මේ රටෙත් (ඇමෙරිකාව) එවැනි ශ්‍රී ලාංකික සුළු පිරිසක් අපිටත් මුණගැහෙනවා. (නි)
චන්දවිමල හිමියනේ අපි 100% ඉන්දීය සම්භවයකින් එන අය නොවේ. අවුරුදු ලක්ෂයකට පෙරත් මෙහි මිනිසුන් හිටියා. එතකොට ඉන්දියාවක් තිබුනේ නෑ. විජයට පෙරත් සාක්ෂරතාවය ජනාවාස මෙහි තිබුණා බව සාක්ෂි තියනවා. (ම)
මමත් කිම් සමග එකගවෙනවා, ඔය අපේ වැරදි ඉතිහාසය ඔලුවට දල තියෙන්නේ අපේම ලංකාවේ පුරාවිද්‍යා උගතෙක් කවද හරි ඇත්ත හොයා ගනී කියල තමා මම හිතන්නේ (ම)
" දොර ළඟ අවහිර කරන්නා පික්පොකෙට් කාරයෙක් විය හැකිය" කියල දොර ළඟ ස්ටිකර් එකක් අලවන්න (බ)
කිම්, නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්න එපා. ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ මිනිස් වර්ගයා ගත් කල කොකේසියන්, මොන්ගෝලියන්, ඇෆ්රිකන්, අස්ට්‍රෝ ලොයිඩ් වර්ග අතරින් දකුණු ආසියාවේ වැසියන් සමහර නේපාල්, ඉන්දියාවේ සිකීම් ආදී මොන්ගෝලියන් වර්ගයට අයත් ය හැරුනම, ඉන්දියාව, ලංකාව, පකිස්ථාන හා අවට දුකුනු ආසියාවේ අය වර්ගයක් ලෙස ඉන්දීය සම්භවයක් ඇති අයයි යන්නයි. ඒ නිසා අදහස් දාන්න කලින් විශ්ව දැනුම ගැනත් හිතන්න. (ර)
ඔය අහංකාරයක් ආරුඩ කරගෙන ඉන්න පිරිස නීරෝගී නෑ .දුකින් කාලය ගත කරන්නේ (ම)
හේමන්ත මහත්මාගේ අවබෝධය නිවැරදියි. ලාංකික අප ඉන්දියන් සම්භවයට අයිති බව කීමෙන් කියවෙන්නේ දකුණු ආසියාවේ මිනිසුන්ගේ මුලය පිලිබදවයි. ඉන්දියානු සම්භවයක් ඇති අපගේ හිස් කබල් බොහෝ සෙයින් සමාන වනුයේ කොකේසියන් මිනිස් වර්ගයාටය. (ම)
අනේ අම්මපා! තමන්ටවත් ගරුකරන්නේ නැති මිනිස්සු . ඇත්තෙන්ම අපිට මේ මොකක්ද වෙලා තියෙන්නේ? කොතනද වැරැද්ද? තම තමන්ම හොඳට හිතලා බැලුවොත් නේද හොඳ? (නි)
හේමන්ත මහතාගේ සහ චන්දවිමල හිමිගේ අදහස මමත් අනුමත කරනවා. අපිට ඉන්දීය සම්භවයක් තිබෙන නිසා තමා අපේ නම ගම ඉන්දීය නම් වලට සමාන. අපේ ඇඳුම් පැළදුම් ඉන්දීය ක්‍රමයට සමාන. (නි)
කිම්, හෝමෝ සේපියන් මානවයාගේ ආරම්භය ගැන සිතන්න. අප්‍රිකාවෙන් නේද පටන්ගත්තේ? කළු, සුදු, දුඹුරු, කහ වුණාට අපි ඔක්කොම එකයි නේද? (නි)
එකිනෙකට ගරු කිරීමක් අපේ ලංකාවේ මිනිසුන් අතර නැති බව පාරේ යන වාහන වලින්ම පේනවා. කිසිම දවසක තදබදයක් ඇති විටක එකිනෙකට ගරු කරලා එකිනෙක පස්සේ පෝලිමේ යන ක්‍රමයක් අපේ රටේ නැහැ. (ම)
නුවන්ගේ කතාව හරි. මම නවසීලන්තයේ ඉගෙන ගන්න ගියා. මුල් දින වල හරිම අමාරුයි. තනිකම නිසා. දවසක් මා විශ්වවිද්‍යාලයේසිට එනවිට කෙනෙක් හයියෙන් දුරකතනයෙන් සිංහලෙන් කතාකරගෙන එනවා. මම සතුටින් ඈතදීම ඔහු දිහා බැලුවා. මගේ පෙනුමින් ඇඳුමින් මම සිංහල බව දැනගෙන ඔහු ඉක්මනින්ම කතාව ඉංග්‍රීසියට හරවා මා දිහා නොබලා මාව පහුකරගෙන ගිය. මට ඇත්තට ඇඬුනා. (ස)
කුමාරි,ඔබගේ කතාවට ඌණපුර්ණයක් එක් කිරීමට සිතුනා. මගේ දුව ඉන්න රටේ (ස්විස්) ලංකාවේ කඩයකට ගොඩ වී නැවත නිවස බලා එද්දී අපට ඉදිරියෙන් තමන්ගේ මව් භාෂාවෙන් මහා හඬින් කතාකරමින් යන දෙදෙනෙක් පෙනුනා. අපේ අඩිසද්දෙට පිටුපස හැරී බැලූ දෙදෙනාගේම කතා විලාශය වෙනස්වුණා. මගේ දුව මගෙන් ඇසුවා "අම්මේ ඇයි අර දෙන්නා අපිව දැක කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කළේ "කියලා. අපේ අයගේ තිබෙන හීනමානය කෙසේ දරුවන්ට තේරුම්කර දෙන්නද කියා හිතුනා. (නි)
ගරු කතු තුමන්ලා වෙත,මගේ කතාව සංස්කරණය කර පළ කළ ඔබ තුමන්ලාට බොහෝ ස්තුතිවන්ත වෙමි. අපි හදිසියට ලියන දේ සුදුසු විදිහට එඩිට් කර පල කරන ඔබලා කෙතරම් බුද්ධිමත් පිරිදක්ද කියා මට සිතේ.කියවන්නට අප ගැන වැරදි වැටහීමක් ඇති නොවන පරිදි අපේ සටහන් පල කරන ඔබතුමන්ලාව සියලු දෙවියෝ රැක දේවා.....!(අ)
මේක ආරුඩ කරගත්තු තත්වයක් .මොකද මමත් කලක් එහෙම හැසිරුණ.තවත් කෙනෙක් තමන්ටත් ඒ දේම කලාම නිට්ටාවටම සුව වෙනවා (අ).
මේ වගේ දේවල් කියවනකොට අපේ රටේ මිනිස්සු ගැන මට නම් ඇතිවෙන්නෙ පුදුම කළකිරීමක්. අන්‍යයන්ට ගරුකිරීම, ඉවසීම වගේ ගුණාංග ගෑවිලාවත් නැහැ. අනාගත පරපුර හෝ යහමඟට ගැනීමට නම් දැන්වත් දරුවන් දහම් පාසල් යැවීම අනිවාර්ය කළයුතුයි. (නි)
හිස් අහස දිහා බලාගෙන ඉන්නකොට, එකට පියාඹන, එකට ගිමන්හරින,එකට කැදලි කරා පියාඹන කුරුළු රෑන් පෙනෙනකොට,මිනිසුන්ට වඩා මේ අහිංසක සතුන් මොනතරම් සාමකාමිව ජීවත්වෙනවාද කියලා හිතෙනවා. (නි)
නියම කතාව! (නි)
කැලණිය දුම්රියපොළේ නිවේදන කරන හැටි මතක් වෙනකොටත් හිනා යනවා. ටිකක් සැලකිල්ලෙන් ඇහුන්කන් දීල බලන්න. නිතරම ඇහෙන කටහඬක් තියෙනවා. හරියට නින්දෙන් නැගිටපු ගමන් වගේ කියවගෙන යන්නේ. (අ)
නවසීලන්තයට ගිහින් බලන්න ඕනෑ අපේ කට්ටියගේ ආඩම්බර. සුද්දෝ කැලේ! (නි)
ඉතාලියේත් එක නගරයක් තියෙනවා අපේ ලංකාවේ අය ඉන්නා, එහෙත් ඔය වාගේ. ඔයිටත් වඩා නරක වචන වලින් කතා බහ. එහෙත් ඔවුන්ට ඒවා පුරුදු නිසා සාමාන්‍ය දෙයක්. උගත් වැදගත් කෙනෙකුට තමා ඒවා අප්‍රිය. සමහරු කියනවා ඒවා මුහුදු භාෂාව කියා. (ර)
ඕස්ට්‍රේලියාවෙත් තියනවාලු එක පැත්තක් ලංකාවේ ඉන්දැද්දී වගේම අපේ මිනුස්සු කෑගහගෙන රණ්ඩු වෙන. ප්‍රදේශයේ නම කියන්නේ නැත්තේ ඒ පැත්තේ ඉන්න සාමකාමී කෙනෙක් මෙතන හිටියොත් හිත රිදෙන නිසා. (ස)
නිලංග මම ඔබ සමග එකඟයි. මෙහෙ ශ්‍රී ලාංකික සමහර භාර්යාවන් ඉන්නේ නිකම් ආර්යාවන් වගේ. සමහර උදවිය අපේ කමට කියලාවත් සිනහවක් වත් නැහැ. හැබැයි පොදු බස් දුම්රිය වල නගින්න, කඩේ මුදල් ගෙවන්න ආදියට පෝලිමේ පිළිවෙලට යන්න ඕන කියන ටික ඉගෙන ගන්නෙත් මෙහෙ ආවාට පසුව. (ර)
චන්දවිමල හිමි,සහ,නිලංගගේ අදහස් සමග එකඟ වෙමි.මොනතරම් හොඳ කලත්,අපි ඉන්නා රටවලත්, මගුල් ගෙදරකට ගියත් සමහරු බලාගෙන ඉන්නේ තව කෙනෙකුගේ හිත රිදෙන වචන කියන්න.මගේ සැමියා නම් ඒ වෙලාවල් වලට කියන්නේ "මගේ ඉස්සරහ කියන්නේ නැහැනේ"කියලයි. අපරාද කියන්න බැහැ බටහිර ජාතිකයෝ නම් මේ අතින් ඉතා උසස් කියලා තමයි කියන්න තිබෙන්නේ. (ස)
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. ඕස්ට්‍රේලියාවේ තමයි ඔය තත්වය ගිහින් තියෙන්නේ. පන්සලකට ගියත් අපේ නෝනා කියන්නේ මහත්තයාගේ තරාතිරමේ හැටියට ලොකු දායකයන්ගේ නෝනලා අනෙකුත් බවලතුන්ට පුප්පනවා කියලා. (ම)
දකුණු ආසියාව නිජ බිම කරගත් ඉන්දීය සම්භවයක් ඇති අපි කාගේත් අනවශ්‍ය අහංකාර උන්මාදයක් පවතී. ඉන්දීය ජාතිකයින්ට මෙය බහුල වශයෙන්ද, සමහර ලාංකිකයින්ට ඒ හා සමානවද, බොහොමයක් ලාංකිකයින්ට අඩු වැඩි වශයෙන් ද මෙම අහංකාර උන්මාදය පවතී. හැබැයි එය තමන්ගේ ජාතියේ කෙනෙක් ඉදිරියේ දී එසේ වුවද අන් ජාතීන් ඉදිරියේ එසේ නොවේ. මා අත් දැක ඇති පරිදි පිටරටකදී අපේ කෙනෙක් මුණ ගැසූනොත් එය දෙගුණ තෙගුණ වෙයි. (ර)
රසවත් කතාවක් (නි)
මේකෙන් අපිටත් ඉගෙන ගන්න යමක් තියෙනවා, අපි හැමවිටම හැමෝටම ගරු කරන්න පුරුදු වෙමු, එවිට අපිටත් ඔවුන් ගරු කරනු ඇත. (ර)
බස් වල, කෝච්චි වල දොරටුපාලයෝ ඉන්නවා. නඟින්නත් බැහැ, බහින්නත් බැහැ. (නි)
අනේ හොදටම හිනාවුණා. ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෑ. ලංකාවේ ඉන්න මිනිසුන්ට ක්ෂණික කෝපය පාලනය කරගන්න බැරි අනුවණකමට, මේ හොඳම විසඳුමයි. නුවණක්කාර මඟීන් ටිකක් ඒ කෝච්චියේ ඉඳලා තියෙන්නේ. (නි)
හොදම විසදුම.(ම)