වේලාව සවස හයයි තිහට පමණය. තරුණයෙක් පරිගණක පොතක් මිලදී ගැනීම සඳහා අගනුවර පිහිටි පොත් සාප්පුවකට ගොඩවිය. පහත මහලේ සිටි තරුණිය ‘‘මොනාද ඕනේ?’’ යනුවෙන් විමසුවාය. ‘‘කොම්පියුටර් හාඞ්වෙයාර් පොතක්’’ ඔහුගේ පිළිතුර විය. ‘‘සෙකන්ඞ් ෆ්ලෝ එකට යන්න’’ ඇය කීවාය. එතැනට පැමිණි ඔහුට සේවකයන් දෙදෙනෙක් පිළිසඳරේ යෙදී සිටුනු දැක ගන්නට ලැබුණි. ඔවූහු තරුණයාව දුටුවත් ගණන් නොගෙන කතාව කරගෙන ගියහ. තරුණයා පොත් රාක්කවලින් පරිගණක පොත් සොයන්නට විය.
අවසානයේදී පරිගණක පොත් යනුවෙන් සඳහන් වූ පොත් රාක්කයක් ඔහුට හමුවිය. කතාව නිමාකර පැමිණි එක් සේවකයෙක්, ‘‘මොකක්ද පොත?’’ යනුවෙන් විමසුවේ කිසිම ගරුත්වයක් නොදක්වමිනි. ‘‘මම හොයන්නේ කොම්පියුටර් හාඞ්වෙයාර් පොතක්’’ තරුණයා පැවසීය. ‘‘හාඞ්වෙයාර් පොත් නැහැ’’ සේවකයා පොල්ලෙන් ගසන්නාක් මෙන් පිළිතුරු දුනි. තරුණයා තම උත්සාහය අත්නොහැර පොත් එකිනෙක අදිමින් අවශ්‍ය පොත සොයන්නට විය. එවිට පැමිණි තවත් සේවිකාවක් ‘‘මොනාද හොයන්නේ’’ යනුවෙන් ඇසුවාය. ‘‘කොම්පියුටර් හාඞ්වෙයාර් පොතක්’’ ඔහු කීය.
එවිට මුලින් කතාකළ සේවකයා, ‘‘ඔයාට මම කලිනුත් කීවානේ හාඞ්වෙයාර් පොත් නැහැ කියලා’’ යැයි පැවසුවේ ඈනුමක් ද මුදා හරිමිනි. කෙසේ හෝ අවසානයේදී නැතැයි පැවසූ ‘‘හාඞ්වෙයාර්’’ පොත තෝරාගත් ඔහු සේවකයින් අමතා, ‘‘කස්ටමර් කෙනෙක් ආවාම ඔයාලගේ ලේසියට පොත් නැහැයි කියන්න එපා. දැක්කානේ නැහැයි කියපු පොත හම්බ වුණා. ඔහොම කම්මැලි වුණොත් ඔයාලගේ මුදලාලිට දෙයියන්ගේම පිහිටයි’’ යනුවෙන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ලංකාවේ හැම තැනකම තියන ලෙඩක්. සාප්පුවේ සේවකයා කතා කරන්ඩ දන්නේ නැහැ ඔවුන්ව ට්‍රේන් කරන්නෙත් නැහැ ඔහේ වැඩ ගන්නවා. පැමිණිලි කලත් වැඩක් නැහැ ඉතින් කරබාගෙන ඉන්නවා. (නදී)
මේ වගේ හුඟක් ආයතන තිබෙනවා.විශේෂයෙන් රජයේ ආයතන. (නි)
පෙරකදෝරුවෙකුගේ ලියුමක් රැගෙන ගියත් පැමිණිල්ලක පිටපතක් පොලීසියකින් ලෙහෙසියෙන් ගන්න බැහැ. ග්‍රා.සේ. සහතිකයක් ගන්න, උප්පැන්නයක පිටපතක්,ශිෂ්‍යයෙකුට පාසල් සහතිකයක්, ත්‍රීරෝද රියකින් ගමනක් යන්න, පිටකොටුවෙන් පළතුරු ගන්න,පොළෙන් එළවලු ගන්න.... මේ කොයි වැඩ වලට ගියාමත් බලන්න ඕනෑ අහන්න වෙන රෙකුලාසි විතරක්!! (නි)
ෂුවර් එකටම ඔය සේවකයෝ දෙන්නා මුලින් රාජ්‍ය සේවයේ ඉන්න ඇති (නි)
ප්‍රසිද්ධ කතුවරයෙකුට අයත් පොත් සාප්පුවකට නිතරම පැමිණ එකම පොතක් බලන පුද්ගලයෙක් සිටියා .මේ ගැන සොයා බැලු පොත් හලේ හිමිකරු කියවන්නට පොත ගැනීමට මුදල් නැති නිසා ඔහුට එම පොත නොමිලේ ලබාදුන්නා. (නි)
සියල්ලටම පෙර පාරිභෝගිකයින්ට කතාකරන හැටි එයාලට උගන්වන්න ඕනෑ (නි)
ඉතින් කොහොමද ආයතනයක් දියුණු වෙන්නේ? (නි)
පොත් සාප්පුවේ සේවකයා පොත් පත් ගැන උනන්දුවක් නැති කෙනෙක් වෙන්න ඕනේ (නදී)
පසුගිය මාසෙක මා ලංකාවට ගොස් නිවාඩුවකට කුරුනෑගල ප්‍රසිද්ද කාන්තා ඇදුම් කඩයකට ගොඩ වුනේ මට බ්ලාව්ස් දෙක තුනක් ගන්නයි. ලාබාල තරුණ කාන්තාවන් කීප දෙනෙක් උන්නා. මම සෝකේස් උඩ නවා තිබු ඇදුම් දිග හරිමින් මට අවශ්‍ය ඇදුමක් සොයද්දී ඒ කාන්තාවන් මදෙස ඔරවා බලමින් ඔයාට මොන පාටද ඕන ...? කියමින් මම ඇදුම් දිගහරින තෝරණ එක නවත්වන්න මා පිටුපසම දුවමින් අල්ලන අල්ලන ඇදුම විගහට නවමින් හරිගස්වනවා. මට ඇත්තෙන්ම හිනා එයාලගේ සේවාව මහජනයාට සපයන්න ඇති කම්මැලි කමට (නදී)
මට හොදටම විිිශ්වාසයි ඔය පොත් කඩේ තියෙන්නේ නුගේගොඩ හන්දියේ. මොකද ඔය වගේ සේවකයෝ එතන වැහි වැහැලා (නදී)
මම සෞදි අරාබියේ තිබුන ටූල්ස් ෂොප් එකකට ගියා ටූල් බොක්ෂ් එකක් ගන්ට ලංකාවට ගේන්ට. මම සුදුසු බොක්ස් එකක් බලල ගාන කීයද කියල ඇහැව්වා. මුලින් මම දන්නේ නැහැ සේවකයා ලංකාවේ කියලා. මිනිහ මට කීවා රියල් සීයක් දෙන්ට මුදලාලිට මට රියල් පන්සීයක් දෙන්ට කියලා. රියල් සීය බොක්ස් එකට. ඇතුලේ තිබුන ටූල්ස් වල සල්ලි මිනිහට. මම දන්නේ නැහැ ඒ මුදලාලිට දෙවියන්ගේම පිහිට තමා මේ වගේ සේවකයෝ එක්ක වැඩ කරනකොට. (නදී)
මීට වසර තිහකට පෙර මා සේවය කල රාජ්‍ය සමාගම ආනයනය කල යතුරුපැදියක් මිලදී ගැනීමට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගුරු මහතෙක් පැමිණියා. මම කිසිම ආකාරයකින් මේ යතුරුපැදි (යතුරුපැදියක් නොවේ ඒක ලෙඩ වාට්ටුවක් ) වෙළඳාමට සම්බන්ධ නොවුවත් ඒවා ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබුනේ මගේ භාරයේ පවතින ගොඩනැගිල්ලකයි. මේ මනුස්සයා වැටෙන්න යන අමාරුව ගැන මම මගේ සේවකයන් එක්ක කනගාටු උනත් මට කළහැකි දේ බොහොම සීමිතයි. නමුත් අවසානයේ මම මගේ රැකියාව හෝ අවංකකම යන දෙකෙන් එකක් තෝරා ගත්තා. මම ඔහුට සත්‍ය පහදාදුන්නා. රුපියල් සීයක අත්තිකාරම් මුදල අතහැර දමා ඔහු ආපසු ගියා. එසේ යනවිට සෑම අඩි දෙක තුනකදීම මා දෙසට හැරී දෑත් එක්කොට වැඳ, මාව මේකෙන් බේරාගත්තාට මට ජාති ජාතිත් පින් දෙනවා කියා කීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. බැරිවෙලාවත් මේ මනුස්සයා මේ ගැන ඉහලට කොම්ප්ලේන් කලානම් මගේ රස්සාව එදාම ගහලා යනවා. නමුත් වසර තිහකට පසුවත් මම මගේ ප්‍රතිපත්ති ගැන තනියම සතුටු වෙනවා. මට තවමත් මේ මහත්මයා හඳුනා ගැනීමට අවශ්‍ය තොරතුරු මගේ මතකයේ තියනවා.(නදී)
මම හිතන්නේ අනුන්ගෙ ව්‍යාපාර වලට ගරහනවාට වඩා, හරිහැටි වෙලඳාම කරන එක ගැන අපේ කටිටිය දැනුවත් කලා නම් හොඳයි කියලා. ඇයි ජාතිය නගා සිටුවීමට දඟලන අයට ඒ වගෙ ධනාත්මක පියවර ගන්න බැරි? (නදී)
රූපවති මහත්මිය ඔබ කියපු දෙය සියයට සියයක්ම නිවැරදියි. ඔය අත්දැකීම බොහෝ දෙනෙකුට ඇති. මුස්ලිම් කඩේකට ගිහින් සාරි තෝරන්න බලන්න. මුළු කඩේම තියන සාරි එලියට අරගෙන කෙසේ හෝ වෙළදාම කර ගන්නවා. ඉතින් කාලයක් යද්දී ඒ මිනිස්සු දියුණුවෙනවා. අපේ අය ගේ කඩ වැහෙනවා. ඉතින් අනුන්ට ඉර්ශ්‍යා කරලා පලක් තියනවද? (නදී)
දැන් තේරෙනවා නේද මුස්ලිම් අයගේ දියුණුවේ රහස ටිරෝන් ඔබට ජය. (නදී)
පළමුවෙන්ම උගන්වන්න උවමනා කස්ටමර් කෙනකුට කතා කරන විදිහ. (නදී)
දිමුතුගේ කතාව ඇත්ත. ඕස්ට්‍රේලියාවේ කඩයකට ගොඩ වුණොත් පුදුම පිළිගැනීමක් තියෙනවා. කඩයට ඇතුළු වෙනකොටම ආචාර කරනවා.අවශ්‍ය දේ අහලා තියෙන තැන පෙන්නලා දෙනවා. (නි)
අන්න සමන් කුමාර හොඳ පැත්තක් බලලා. (නි)
ඉතින් කොහොමද ආයතනයක් දියුණු වෙන්නේ? (නි)
මා දන්නා පරිදි ..... සුපිරි වෙළඳසැල් ජාලයේ නම් වැටුප්, නවාතැන් සහ ආහාර පාන සමඟ පාරිභෝගික සත්කාරය ගැන හොඳ පුහුණුවක් ලබා දීමෙන් පසුවයි සේවයට යොදවන්නේ. නමුත් එම ක්‍රමවේදයන්ට අනුව පාරිභෝගිකයන්ට සලකන සේවක පිරිසක්නම් ඇත්තෙම නැති තරම්. (ස)
ආයතනයේ ලොක්ක සේවකයාට සලකන්නේ නැතුව ඇති හරියට මුලින්ම ඒක හොයල බලන්න (නදී)
පසුගිය දිනක රෝහලේ සිටි රෝගියකු බැලීමට යන අතරමඟදී මම සුපිරි වෙළද සැළකට ගොඩවී අඹ තිබෙනවාදැයි ඇසුවෙමි. එහි සේවිකාවක කීවේ අඹ නැති බවයි. නමුත් මම නිකමට මෙන් එහි ඇවිද බැලුවෙමි. එහි අඹ තිබුනේය. ඇයට මම එම අඹ පෙන්නු කල ඇයගේ පිළිතුර වුයේ, ඒවා රට අඹ බවය. (නි)
හාර්ඩ්වෙයාර් කිව්වම හිතන්න ඇත්තේ වැලි ගඩොල් ගැන වෙන්න ඇති. (නි)
පොත් ගැන හොයලා බලන්න පොත් නාමාවලියකුත් නැහැ, ඒ ගැන දන්නා කෙනෙකුත් නැහැ. (නි)
සමහර පොත් සාප්පු වල වැඩ කරන අයගෙන් ඕනෑම පොතක නමක් ඇසු පමණින් කටපාඩමින් කියන්න පුළුවන්. තියෙන තැන, මොන පොත් රාක්කේද , කියලා කියන්න පුළුවන් (නි)
සවිමත් ගුණාංග නැතිව ජාතියක් විදියට ඉදිරියට යාම අසීරුයි. අපි මේ සැමදෙයක්ම හදාගෙන ඉදිරියට යා යුතුයි. සැවොම මේ සඳහා කැප විය යුතුයි. නැත්නම් අරගොල්ලෝ ඉහල යයි. අපි අඩියට යයි. (ස)
මේ පොත් හලේ නම මොකක්ද ? (නදී)
මේක ලංකාවේ තියන නුගත්කමත් සමග ඇති වෙන ප්‍රශ්නයක්. කඩේ වැඩකරන සේවකයින්ට දැනුමක් නැහැ ඔවුන් ජීවත් වෙන්නේ ගනුදෙනුකරුවන් නිසා කියලා. ඔවුන් හිතන්නේ ගනුදෙනුකරුවන් කියන්නේ කරදරකාරයෝ කියලයි. දියුණු රටවල ඕනෑම සුළු දෙයක් මිලදී ගන්න උපදෙසක් ඉල්ලුවොත් ඕනෑවටත් වඩා උපදෙස් ලැබෙනවා. තමා නොදන්නවා නම් දන්නේ නැහැ කියලා දන්නා කෙනෙක්ව එක්ක ඇවිත් උදව් කරනවා. මොකද ඔවුන් දන්නවා තමා ජීවත් වෙන්නේ ගනුදෙනුකරුවන් නිසා කියලා. මේක ලංකාවේ හැම තැනකටම පොදු ප්‍රශ්නයක්.(නදී)
ලංකාවේ වෙළඳ සහායකයන් හිතන්නේ ගනුදෙනු කරුවන් තරම් හිසරදයක් තවත් නැහැ කියලා. ආයතනයේ වැඩකට මම ඔස්ට්‍රේලියාවට ගියා . පොත් සාප්පුවකට ගොඩ වුනා විතරයි දොරටුව ළඟ හිටපු වෙළඳ සේවිකා කාන්තාව බොහොම සුහද ව පිළිගත්තා. පොත් තේරීමේදී නිදහසත් තිබුනා, තිබෙන තැන දන්නේ නැති පොතක් ඇහුවාම සේවකයන් හරිම කඩිසරව ඇවිත් සොයා දුන්නා. එහි නැති පොත් ඇත්නම් ගෙන්වා දිය හැකි බව කිව්වා. පොත ගන්නේ නැතිව නිකම් අත ගාල ගිය අයටත් නැවත එන්න කියලා සුහදව කීවා මිසක් පොත් අත ගාල මොනවත් මිලදී ගත්තේ නැහැ කියලා රැව්වේ නැහැ. සේවය ඉතා ඉහලයි. (නදී)
දිමුතු,සීම, ඔබ දෙපල හරි, පොත් සාප්පුවල විතරක් නොවේ සමහර ඇදුම් පැළඳුම් ගන්න ගියත් අහන්නත් කලින් කියන්නේ නැහැ කියලා. ඉතින් මිනිස්සු ඊට පස්සේ එතනට යන්නේ නැහැ. මුදලාලිට වෙන්නේ කඩේ වහල දමන්ට නමුත් අර සේවකයා වෙනත් තැනක අයෙත් වැඩ කරනවා. (නදී)
ඒකනේ ඔය කඩ සාප්පු වල වැඩ කරන කට්ටියට කිසිම දියුණුවක් නැත්තේ. හැමදාම එකම තැන පල්වෙනවා. අනික උගත් කමක් තියෙන අය ඔය වගේ ජොබ් කරන්නෙත් නැහැ. ඔය මනුස්සයා හිතන්න ඇති හාඩ්වෙයාර් බඩුගැන ලියපු පොතක් කියලා. (නදී)
වෙලදාම් කරන්නේ කොහොමද මේ විදිහට (දී)
බොහෝ ආයතන ඔහොම තමයි (දී)
කම්මැලි කම තමයි ලොකු (දී)
මේවා ඉතින් ලංකාවේ අපිට ඉතා සාමාන්‍ය දේවල්. සේවය හොදට කරන්න ගියාමත් නැති ප්‍රශ්න. එක ආයතනයක අලුතින් කෙනෙක් මුර වැඩට ආවලු. රස්සාව ගැන හරිම සැලකිලීමත්. මුත්‍රා කරන්න ගියත් පොතේ අත්සන් කරලා යන්නේ, එන්නේ. දවසක් ලොක්කා ඇවිත් අත්සන් පොත චෙක් කරලා, වැඩ තහනම් කරලා ලිපියක් ගැහුවලු. හේතුව ලෙස තිබුනේ නොදන්වා විදේශ ගත වීම. ඇත්තටම මොහු "නේපාලයට ගියෙමි". "නැවක පැමිණියෙමි" කියා ලියල අත්සන් කරලා. වැඩිදුර සොයා බැලු විටලු හෙළි වුනේ මොහුට ලියන්න ඕනි උනේ "තේ පානයට ගියෙමි" "නැවත පැමිණියෙමි" (ස)
කම්මැලි මිනිස්සු සේවයට බඳවා ගත්තාම ඔහොම තමයි (දී)
කරුණාකර සියල්ලම කියවන්න.. මේකේ දාල තියෙන කමෙන්ට්ස් දැක්කහම මටත් යමක් කියන්න සිතුන,,ඇත්තටම මෙහෙම සේවකයෝ ඉන්නවා,,නමුත් රටේ නමගිය ප්‍රදාන පෙලේ පොත් සාප්පුවක වැඩකරන කෙනෙක් විදියට මම කියන්නේ,,.හැම තැනම මෙහෙම නැහැ,, අනික ප්‍රනීත් මහත්මය කියල තිබුන කිසිම උගත්කමක් නැහැ කියල ,,නැහැ මහත්තයෝ අපේ පොත් සාප්පුවට ගන්නේ අද්‍යාපන සුදුසුකම් නිසිපරිදි සපුරපු අය.එක මකුනෙක් කාපු පලියට ඔක්කොම මකුණෝ මරණ එක වැරදි,,ස්තුති...(දී)
ඕනෑම ආයතනයක හොඳ සහ නරක දෙවර්ගයේම සේවකයෝ ඉන්නවා,, මේකේ කොමෙන්ට්ස් දාන අයත් ජොබ් එක කරද්දී එකේ ස්වබාවය සහ ආයතනයෙන් ලැබෙන වේතනය මත වැඩකරන විදි ඇති,,,, කියනකොට මෙහෙමයි කරනකොට එහෙමයි වගේ,,මේකේ කොමෙන්ට්ස් කරපු බුද්ධිමත් උගත් අයට මගේ ප්‍රණාමය..... (දී)
හාඩ්වෙයාර් කියුවහම හිතුවද දන්නේ නැහැ ගල් වැලි විකුණන එකක් කියලා (දී)
නුගේගොඩත් ඇඳුම් සාප්පුවක් තියනවා ගොඩක් ලොකු එකක්. ඒකේ වැඩ කරන අයත් ඔය වගේ. (නි)