අච්චාරු හැලියට අත දමා ලුනු ගෙඩි දෙක තුනක් ගත්තැයි අච්චාරු හැලිය නැන්දම්මා ඉදිරියේ දී පොෙළාවේ ගසා දමා ඇතැයි කියන අපූරු ලේලියක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 32 හැවිරිදි දෙදරු මවක් සිටියි. ඇය වසර 9 ට ඉහත දී උතුරු මැද පළාතේ තරුණයකු සමග විවාහ වී තිබේ. විවාහ වී වසර පහකට ආසන්න කාලයක් සැමියාගේ නිවසේ පදිංචිව සිට ඇති දෙදරු මව සිය පියාගේ ඉල්ලීමකට අනුව ආපසු සැමියා දරු දෙදෙනා සමග ඇය කෑගල්ලේ මහ ගෙදරට පැමිණ තිබුණි. පසුව මහ ගෙදරට ආසන්නයේ පියා ලබා දී තිබුණු පොල් ඉඩමක නව නිවසක් තනාගෙන දෙදරු මව සැමියා දරු දෙදෙනා සමග පදිංචි වූවාය.
තම මවට උපස්ථාන කරන්න කෙනකු නැතැයි පවසා මාස කිහිපයකට ඉහත දී දෙදරු මවගේ සැමියා සිය වයෝවෘද්ධ මව (නැන්දම්මා) බිරියගේ කැමැත්ත පරිදි කෑගල්ලේ නිවසට රැගෙන පැමිණ තිබුණි.
නැන්දම්මාගේ ඇඳුම් පැලදුම් සෝදා දී නාවා කන්න බොන්න දී ඇත්තේ ලේලිය වූ දෙදරු මව විසින්ය. වයෝවෘද්ධ මවට ගැහැනු දරුවන් දෙදෙනකු ඇතුළු දරුවන් පස් දෙනකු සිටිය ද සැලකීමට කිසිවකු නොමැති අවස්ථාවේ දී ⁣දෙදරු මව නැන්දම්මාට අනුකම්පා කර සිය නිවසට සැමියා ලවා ගෙන්වා ගත්තාය.


ඉකුත් දිනක අසල්වැසි නිවසක තිබුණු පිංකම් ගෙදරක කාන්තාවක පැමිණ අච්චාරුවක් සාදා දෙන ලෙස තරුණ දෙදරු මවගෙන් ඉල්ලීමක් කර තිබුණි. පසුව දෙදරු මව අච්චාරුව සාදා ගෙනත් දෙන බවට පොරොන්දු වුවාය. අච්චාරුවට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනත් අච්චාරුව සාදා මැටි මුට්ටියක දමා පිරිසිදු රෙදි කඩකින් වසා පසෙක තැබුවාය.
වයෝවෘද්ධ මව (නැන්දම්මා) අත් වාරුවෙන් දිනකට පසුව පෙරවරුවේ කුස්සියට ගොස් අත් වාරුව පසෙක තබා අච්චාරුව දමා කට බැඳ තිබුණු මැටි වළඳ ගෙන කට ලෙහා අත ඇතුළතට දමා රතු ලූනු ගෙඩි කිහිපයක් ඉවතට ගන්නා අයුරු ලේලිය දැක්කාය. රතු ලුනු ගෙඩි දෙක තුනක් ගෙන ආපසු අත්වාරුව ගෙන හැරෙන අවස්ථාවේ දී වයෝවෘද්ධ කාන්තාව ලේලිය දැක තිගැස්සී තිබේ. වයෝවෘද්ධ මව අත තිබුණු රතු ලූනු ගෙඩි කිහිපය බිමට ද වැටී තිබේ.
”‍ ඇයි මුට්ටියට අත දමා රතු ලූනු ගත්තේ පොල් කටු හැන්දකින් ගන්න තිබුණා. නැත්තම් මට කිව්වා නම් අරන් දෙනවා. අච්චාරුව දැම්මේ අල්ලපු ගෙදර නැන්දලාගේ ගෙදර තියෙන පිංකමට”‍ යැයි පවසා ලේලිය ආවේගශීලිව අච්චාරු හැලිය නැන්දා දෙසට දමා ගැසුවාය. මැටි මුට්ටිය බිදී අච්චාරුවේ රතු ලූනු අමු මිරිස් ඇතුළු දෑ කුස්සිය පුරා විසිරී ගියේය. යළි දෙදරු මව සිද්ධිය සම්බන්ධයෙන් සිය සැමියාට දුරකතනයෙන් දන්වා කෑගල්ලට ගොස් අච්චාරුවට අවශ්‍ය අමු ද්‍රව්‍ය රැගෙන පැමිණ අච්චාරුවක් දමා පිංකම් ගෙදරට රැගෙන ගොස් දී ඇති බව වාර්තා වෙයි.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න