දන්සැලේ පෝලිමේ නොසිට දන්සැල් වැඳීමට කුඩා දරුවන්ගේ සහයෝගය ලබා ගැනීමේ පුවතක් පසුගිය පොහෝදා දැනගන්නට ලැබුණි.
වැලිපැන්න පොලිස් වසමේ මිරිස්වත්තක ප‍්‍රදේශයේ තරුණ පිරිසක් මීට වසර තුනකට පෙර වෙනස් විදිහේ දන්සලක් දීමේ අරමුණින් බත්, නුඞ්ල්ස්, වෙනුවට පරාටා රොටි දන්සලක් දීමට කටයුතු කළහ.
මෙම දන්සලට බොහෝ පිරිසකගෙන් ලැබුණු යහපත් ප‍්‍රතිචාර නිසා එය වාර්ෂිකව පැවත්වීමටත්, ඉතාම ඉහළ අයුරින් පැවැත්මටත් තරුණ පිරිස දැඩි වෙහෙසක් සහ කැපවීමක් ගෙන කටයුතු කළ අතර මෙවරද පොහොයට තෙවන වරටත් ”මහා පරාටා දන්සැල” පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
දන්සැල ආරම්භ කිරීම සවස 6.00ට පමණ සිදුකිරීමට කටයුතු යොදා තිබුණත් පරාටා රොටියක රස බැලීමේ අරමුණින් බොහෝ පිරිසක් කල්වේලා ඇතිවම පෝලිමේ සිටින්නට විය.
දන්සැල ආරම්භකර ටික වේලාවක් ගතවන විට විශාල පෝලිමක් දක්නට ලැබුණු අතර කුඩා දරුවන් වඩාගත් මව්වරුන්ද පෝලීමේ සිටින බව දුටු සංවිධායක තරුණයන් එම මව්වරුන් පෝලිමේ නොරඳමින් විශේෂ දොරටුවකින් ඇතුළට ගත්තේ එම කුඩා දරුවන් වඩාගෙන මව්වරුන් අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ සද්භාවයෙනි.
මෙසේ විශාල සෙනගක් අතරින් දරුවන් සමග සිටින මව්වරුන් ඉක්මනින් ඇතුළට ගත්තද පෝලිමේ දරුවන් සමග සිටින මව්වරුන් ප‍්‍රමාණය අඩු නොවන බව තරුණයන්ට පෙනී ගිය බැවින් තරුණයන් දෙදෙනෙකු පෝලිමට පිටතින් සිට විමසිලිමත්ව සිටීමේදී දරුවන් සමඟ මව්වරුන් අඩු නොවීමේ හේතුව දැකගන්නට ලැබී ඇත.
දන්සැලට ඇතුළුවූ දරුවෙක් සමග මවක් දන්සැලෙන් ඉවතට පැමිණි විට එම දරුවා වඩාගෙන තවත් කාන්තාවක් පොලීමට එක්වේ. එවිට එම දරුවාගේ පිහිටෙන් එම කාන්තාවටද පෝලිමේ නොසිට දන්සැල වැඳීමේ අවස්ථාව උදාවේ. මේ තත්ත්වය අනෙක් තරුණ පිරිසටත් දන්වා සිටින්නට එම තරුණයන් දෙපල කටයුතු කළ අතර එක් අයෙක් පැවසුවේ මෙය නැවැත්වීමට දරුවන්ගේ පාදයේ හෝ අතක යම් සලකුණක් යෙදීමට සිදුවන බවයි. එහෙත් අවසානයේ සියලූ දෙනා එක මතයකට පැමිණියේ අපි දන්සැල දෙන්නේ හොඳ හිතින් බවත් දැන්සැලට ඇති ප‍්‍රතිචාරය හොඳ නිසා මෙවැනි සිදුවීම් සිදුවන බවත් ඒ සඳහා නීති රීති නොපනනවා කැමති අයුරින් දන්සැල භුක්ති විඳීමට අවස්ථාව ලබාදිය යුතු බවත් තීරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම අයුරින් දන් දෙන පිරිසක්! කවුරු මොනවා කලත් සිත් රිදවා ගන්නේ නැතුව ඒ දෙය කල නිසා. නුඹලගේ පාරාටා ඉතාමත් හොද බව එයින්ම පේනවා. (නදී)
සත්භාවයෙන් කරන වැඩකදී මතුවෙන්නේ යහපත් සිතුවිලි ! අද අප රටේ නොමග ගිය තරුණ පිරිස් වලට මිරිස්වත්තේ තරුණ කැල ලොකුම ආදර්ශයක් ! (නදී)
බොහොම හොඳ ඉවසිලිවන්ත, ගුණයහපත් තරුණයෝ ටිකක්. මෙය ලොකු ආදර්ශයක් හැමටම. ජය වෙවා සොයුරනි! ගම හදා රට හදමු මිනිසත් කමින්. (නදී)
බුදුන්ගේ කාලයේ තරුණයෝ පිරිසක්. යහපතක්ම වේවා (නදී)
යහපත් සිතුවිලි පෙරදැරි කරගෙන කරන දන්දීමකදී වියයුතු දේ දරුවනේ ඔබ විසින් පසක් කරගෙන, දන්සලකදී කෙනෙකුට සැළකිය යුතු අයුරින් කටයුතු කිරීම තුලින් ඔබ සැම ලොවට දෙන පණිවිඩය ඉතා උතුම් ලෙස, තරඟයට දෙන්නන් වාලේ දන්දෙන සැමටම කදිම පාඩමකි. (නි)
ගොඩක් හොඳ තරුණ පිරිසක්. ජය වේවා කියා පතමි (නි)
බොහොම හොඳ ඉවසිලිවන්ත, ගුණයහපත් තරුණයින් ටිකක්. මෙය ලොකු ආදර්ශයක් හැමටම. ජය වේවා සොයුරනි! (නි)
දැන් මේක ලිව්වාම සමහරු මට බනීවි. මම දැනට සිටින රටේ කිසිම කෙනෙක් කවදාවත් පෝලිමක් පනින දර්ශනයක් දැකගන්න නැහැ. හැමෝම බොහොම ඉවසිල්ලෙන් තමන්ගේ වාරය එනතුරු සිට ආ කාරණාව ඉටුකරගෙන යනවා. පොදු ස්ථාන , සුපර් මාකට් , බස් පෝලිම , කොතනත් එහෙමයි. අත දරුවන් එක්ක ඉන්න අම්මලාත් , තමන් දරුවෙක් එක්ක පෝලිමේ ඉන්න එක විශේෂයක් කියලා නොසිතා ,තමන්ගේ වාරය එනතුරු ඉන්නවා. හොඳ දෙයට හොඳයි කියන්න ඕනෑ නිසා ලිව්වේ. (නි)
දෙන දේ හොද චේතනාවෙන් කරන නිසා මහා පින් පල අත් වෙනවා.දන්සලක් කියන්නේ එ්කටයි.(අ)
දිනේෂ් කියපු ඒ ඇත්ත, පුදුම මිනිස්සු තමා ලංකාවේ ඉන්නේ, කතාව නම් හිස දන් දෙන්න (අ)
අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අය කොහෙත් ඉන්නවා. (නි)
අතින් අතට යන්න වුණ දරුවා මොනතරම් දුකක් විඳින්න ඇද්ද? (නි)
දානයේ නියම අරුත දැනගෙන දන්දෙන තරුණ කැළක්. ඔබ සැමදෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)
දරුවා පාරට කන්න ඇති බඩ පිරෙන්න. පොඩි ළමුන්ට පිටි කෑම දෙන්න හොඳ නෑ කියල අම්මල දැනගන්න ඕනේ. (දී)