(නයිනමඩම - චන්දන ප‍්‍රනාන්දු)
ආරක්‍ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන් කරමින් සිටි අයකු අතුරු මාවතක වාහන පරීක්‍ෂා කරමින් සිටි පොලිස් නිලධාරීන් දැක බිය වී දඩ කොලයක වියදමට වඩා වැඩි හානියක් කරගත් පුවතක් පසුගියදා නයිනමඩම ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
බොහෝ යතුරුපැදිකරුවන් ආරක්‍ෂිත හිස්වැසුම් භාවිත කරන්නේ පොලිසියට බියේ මිස තමන්ගේ ආරක්‍ෂාවට නොවන බව සනාථ කරමින් නයිනමඩම ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක නිවෙස් හිමි අයෙකු කිසිදු ආරක්‍ෂිත හිස් වැස්මක් නොමැතිව තම පුංචි පුතාත් ඉදිරියෙන් තබාගෙන ප‍්‍රධාන මාර්ගයට යතුරුපැදියෙන් ගොස් ඇත්තේ නිවෙසට පැමිණි යහළුවා බස් රථයට නැග්ගවීමටය.
ප‍්‍රධාන මාර්ගයේ ආපසු එනවිට නිවාඩු දවසක් නිසාම පොලිස් නිලධාරීන් මාර්ගයේ නොසිටිනු ඇති බවට සැකයක් නොතිබුණ නිසා ටිකක් වේගයෙන් යතුරුපැදිය පදවපු පැදිකරු මීටර් 150ක් පමණ ඈතින් සිටි පොලිස් නිලධාරින් දැක බියෙන් කළබල වී තිරිංග තද කිරීම නිසා යතුරුපැදියත් සමඟ පෙරළී යතුරුපැදියට මෙන්ම එම පුද්ගලයාටත් පුංචි පුතාටත් තුවාල සිදුවී ඇත.
මේ කිසිවක් නොදැකපු පොලිස් නිලධාරීන් ඉදිරි ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති අතර අසල්වාසීන්ගේ සහයෙන් නැගිටගෙන ප‍්‍රතිකාර ගෙන යතුරුපැදිය දෙස බලද්දී හිතුණේ රුපියල් පන්සීයක් දී දඩ කොළයක් ගත්තා නම් මීට වඩා හොඳ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කියලා හිතෙන්න ඇති පස්සේ! (නි)
හිස්වැසුමක් නැතුව යතුරුපැදියක යනකොට පොලිසිය දැක්කහම යන්නේ මොකේද කියලත් අමතක වෙනවා. ඒකෙන් බේරෙන්න මමත් නොකරන දෙයක් නැතිගානයි. ඕක වෙලාම බලන්න ඕනෑ. (නි)
නීතියට ගරුකර වැඩකළා නම් ඔය වාගේ දෙයක් වෙන්නේ නැහැනේ. ඔතනින් බේරුනා ඇති. නීතියට ගරුනොකර වැඩකරන අයට මේවා හොඳ පාඩම්. (නි)
පොලිසියෙන්ම දඩෙත් ගෙවනවානේ.හැබැයි තැපැල් ගාස්තුවත් එක්කම දෙන්න ඕනේ. වරදක් නැතත් තර්ක කරන්න බැහැ .පොලිසිය කෙලින්ම උසාවි ලියනවා .වරදක් කලත් සිතකින් නොවේ කියල 575ක් දීල ගෙදර යන්න තිබුණා. (ස)
බයිසිකලයක් නඩත්තු කරන කෙනෙකුට පන්සීයක දඩයක් ගෙවන්න අමාරුයි (නදී)
හෙල්මට් එක පලදින්නේ පොලොසියට බයේ නොව තමන්ගේ ආරක්සාවට කියන එක අපේ මිනිස්සු කවදා තේරුම් ගනීවිද මන්ද ?(නදී)
ටිකක් දුර යනකොට වාහන ප්‍රධාන ලාම්පු වලින් පොලිසිය ඉදිරියෙන් ඉන්න බව දැනුම් දෙන්නෙත් වේගය අඩු කරගන්න සහ පොලිසියෙන් ඉන්න බව කියන්නයි. රියදුරු මහත්වරුන්ගේ සහෝදරත්වය එකෙන් පෙනුනත්., මං නම් හිතන්නේ පොලිසියට බයේ හරි මාර්ග නීති ආරක්ෂා කෙරෙනවා නම් බොහෝ අනතුරු අඩු වෙනවා. ප්‍රධාන ලාම්පු වලින් බොහෝ රියදුරන්ගේ වේගය පාලනය කරන්න පුළුවන් .....(අ)
බොහෝ මිනිසුන් තමන්ගේ ආරක්ෂාව ගැන නොහිතා ආරක්ෂිත හිස් වැසුම්ද රහිතව යතුරුපැදි වල යනවා. ඉන්පසු අනතුරු වලට ලක්වූ විට සාමාන්‍ය අනතුරකට පත්වූ පුද්ගලයකු සුව කිරීමට දරන වියදම මෙන් කිහිපගුණයක් වැයකිරීමට රජයට සිදුවෙනවා. ආරක්ෂිත හිස්වැසුම් රහිතව යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් අනතුරට පත්වූ විට නොමිලයේ සෞඛ්‍ය සේවා සැපයීම නතර කර ඔවුන්ගෙන් මුදල් අයකර ගතයුතුයි. ඔබ ගැන නොසිතනවා නම් රට ගැන සිතාවත් ආරක්ෂිත හිස් වැසුම් සහිතව යතුරුපැදි ධාවනයේ යෙදෙන්න. එය ඔබගේ දුවා දරුවන්ගේ යහපත පිණිසද පවතීවි. (නි)