දෙවසරකට ඉහතදී කඩා ඉවත් කෙරුණු නිවසක තමන් පදිංචි බව කියා දරුවා පාසලට ඇතුළත් කිරීමට ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත් කිරීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ නගරයක ප‍්‍රසිද්ධ පාසලකින් වාර්තාවේ.
තරගකාරී පාසලකි. නිල ඇඳුම් අඳින පියෙක් එම පාසලට තම දරුවා ඇතුළත් කිරීමට ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත් කරනු ලැබීය. පසුගියදා එම පාසලේදී දරුවන් ඇතුළත් කරගැනීමට සම්මුඛ පරීක්ෂණය පැවැත්විණි.
ඔහු ඉදිරිපත් කළ ලියවිලි අතර පදිංචි නිවසේ බදු ඔප්පුවද විය. පරීක්ෂක මණ්ඩලයේ නිලධාරියෙක් බදු ඔප්පුව දැඩි පරීක්ෂාවට ලක් කළේය. පස්වසරකට පෙර නිවස බදුගෙන ඇති බව එහි සඳහන් විය. මහත්මයා දැනට පදිංචියත් මෙම නිවසේමද? පරීක්ෂක නිලධාරියා පියාගෙන් විමසුවේය.
ඔව්. ඔව්. අපි ඉන්නේ මේ ගෙයි තමයි පියා පිළිතුරු දුන්නේය.
හොඳයි කමක් නැහැ. මේ ගේ කඩා ඉවත් කරලා දැන් අවුරුදු දෙකකට වැඩියි. දැන් එතන ලොකු වළක් තියෙනවා. එතන පස් පුරවන්නේත් මහත්තමයාමදැයි පරීක්ෂක නිලධාරියා පවසද්දී දැඩි අසීරුතාවකට පත් පියා කිසිත් නොදොඩා නැගිට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර ලොකු කතා කිව්වත් සමහර පළාත් වලට හරි හමන් ඉස්කෝලයක් නැහැ. අම්මල තාත්තල මාර ගේමක් දෙන්නේ ළමයින්ට හොඳ ඉස්කෝලයක් අරන් දෙන්න. රජයකට ඉස්කෝල අතර පරතරය නැති කරන්න බැහැ. ගුරුවරුනගේ පඩි ඇරුනම වෙන දෙයක් ඉස්කෝලෙකට හම්බවෙන්නේ කලාතුරකින්. ලයිට් බිල ගෙවන්නෙත් ආදී ශිෂ්‍ය සංගම්. ඉතින් නගරයෙන් පිට පදිංචි මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. නිදහස් අධ්‍යාපනය ඇත්තටම නිදහස් ද? (නදී)
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කරගැනීමේ චක්‍රලේකනයේ අඩුපාඩු ගොඩක් තියෙනවා දෙමාපියන් අසරණයි. ඔප්පුවක් නැතිම කෙනෙක්ට ළමයා දාන්න විදියක් නැද්ද ? අද බලන්නේ ලයිට් බිල, වතුර බිල, ඔප්පුව බැංකු පොත් මේවා බැලුවා නම් අපිට කවදාවත් පාසලකට යන්න බැරිවෙනවා. මම ඉංජිනේරුවෙක් උනේ ඔය කිසිම දෙයක් අපිට තිබුනේ නැතුව. මේ චක්‍රලේකනය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඉදිරිපත් කිරීම පරිපාලන නීතියට පටහැනියි. මේක විෂය බාර ඇමතිවරයයි ඉදිරිපත් කල යුතු. මේකට සරත් නන්ද සිල්වා මහතා ඉන්දැද්දී නඩුවක් දැම්මා මාතර සුජාත විද්‍යාලය සම්බන්දව. කොහොම උනත් මේක සම්බන්දව ලොකු සංවාදයක් කතිකාවතක් අවශ්‍යයි (නදී)
අද රටේ සිද්දවෙන දේවල් බලපුවහම මේක හරිම අනුකම්පා සහගත සිදුවීමක්. තම දරුවාගේ ජීවිතය ආරම්භයේදීම දෙමාපියන්ට බොරුවෙන් පටන් ගන්න වෙලා තියනවා. නිල ඇදුම් අදින පියෙක් මෙම තත්වයට පත් උනහම කොච්චර කනගාටුදායකද.? ලොකු පගාවක් දෙන්න හෝ පාසල කිට්ටුව නිවසකට මුදල් වැය කරන්න හෝ මෙම තාත්තට සල්ලි තිබුනා නම් මෙම කතා පුවත මෙසේ අවසන් නොවන්නට ඉඩ තිබුනා. අද කොළඹ ප්‍රධාන ජනප්‍රිය පාසල් වලට යන්නේ සියයට හැටකට වඩා පිට පලාත්වල දරුවෝ. සල්ලි තියන ධනවත්තු කොළඹින් ගෙවල් අරගන්නේ තමන්ගේ දරුවෝ උපදින්නටත් කලින්. ඔය අගනුවර ප්‍රධාන පාසල් ඇරෙන වෙලාවට ගිහින් බලන්න පිටපළාත් වලට ළමයි අදින වාහන සංක්‍යාව. තදබදේ . ඉතින් බලධාරියනි , පාලකයනි , ඔය සියලුම පාසල් පිරී පවතින දරුවෝ විසිතිස් දහස් ගණන් සියල්ලෝම නියමිත පාසල් සීමාව අසල පදිංචි කරුවෝද ? ඔය අහිංසක දරුවන් සියල්ලන්ටම අපි යහපත් අනාගතයක් පතමු. එහෙත් , අහෝ මිතුරනේ , ආශ්චර්ය මෙයද ? (නදී)
ප්‍රශ්නයක් ප්‍රශ්නයක් විදියට දකින්න බැරි අයට මේවාට විසඳුම් හොයන්න බැහැ. (නි)
ඕකෙන් පෙනෙන්නේ මොකක්ද?තමන්ගේ දරුොට පාසලක් හොයාගන්න විඳින දුක නේද?දැන් දෙමව්පියෝ දරුවා කුසට එනකොට වෙන වෙන ලිපින දාලා ගෙවල් ගන්නවා.මේ රටේ උපදින දරුවන් කොපමණ අසරණද කියලා නෙමෙයිද මේවායින් පෙනෙන්නේ? දේශපාලුවන්ගේ දරුවෝ ජාත්‍යන්තර පාසල්වල, පිටරට වල. ලංකාවේ සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවා ඉගෙනගන්න ඉල්ලීම් දිනාගන්න ජල ප්‍රහාර කමින් අරගල වල (නි)
කෙනෙක් මෙය බලා හිනාවෙන්නට ඇතිමුත් මට නම් ලොකු කණගාටුවක් තමයි දැනුනේ, තාත්තා කෙනෙක් හැටියට (නි)
සම්පත් දන්නවද , ඔබ කිවූ පාසලට කිට්ටු පාසලකට ළමයෙකු දමා ගැනීමට ඒ අසළ තිබු අපේ ඉඩමකට හොර ඔප්පුවක් ලියා කෙනෙකු අසුවුණා. මගේ මියගිය පියාට අයත් ඒ ඉඩමේ අපි කොළඹ නිසා නිතර යාම් ඊම් සිදු වුණේ නැහැ. මේ පුද්ගලයා කොහොමහරි අල්ලපු ගෙදර උදවියගෙන් දැනගෙන අයිතිකරුවන් කොළඹ බවත් ඇතැම් විට අවුරුද්දකට පාරක්‍වත් එහි නොඑන බවත්. හොරය අහුවුණේ ගුරුවරියකගේ තියුණු විමර්ශන බුද්ධිය නිසා. අපි උඩ ගිහින් බිම වැටුනා මේ ආරංචිය ලැබුනාම. (නි)
දරුවන් ගේ අනාගත සුභ සිද්ධිය බොරුවෙන් තමයි පටන් ගන්නේ. (නදී)
වැරදිකරු දෙමාපියෝමයි. කවුරුත් තමන්ගේ ළමයා නගරයට දානකොට ගමේ පාසල් ඉබේම බංකොලොත් වෙනවා. කවදාවත් ළමයි නැතුව පාසලක් හදන්න බැහැ. (නි)
ඒකට තමයි ජනක කියන්නේ කෙක්කෙන් බැරි නම් කොක්කෙන් කියලා. මොකද අපේ රටේ හරි ක්‍රමයකට ගිහිල්ලා වැඩක් කරගන්න පුලුවන්ද මේ කපේට? (නි)
මම නම් හිතන්නේ මේ සේරටම මුල පාසල් වර්ග කිරීම! හැම ළමයෙකුටම දෙන්නේ එකම ප්‍රශ්න පත්‍රයම නම් හැම පාසලකටම ඉගැන්වීම එක සමාන විය යුතුයි. එහෙම වුණා නම් ඔයවගේ ප්‍රශ්න එනවා අඩුයි! (නි)
"ඒදඬු මං බැඳ, සක්කුළු පවු බිඳ සිදාදියට එන මං තැනුවා" මගේ කාලේ. (නි)
කවුරු මොනදේ කළත්, ලෝකෙම යන්නේ නරක අතට. අදට වඩා හෙට කවදාවත් හොඳ වෙන්නේ නැහැ. මොන අධ්‍යාපන ක්‍රමය ආවත් වැඩක් වෙන්නේ නැහැ.මිනිස්සු වැරදි දේ කරනවා, පාලකයෝ වැරදි දේ කරනවා. නිවැරදි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අනිත් අය , අලුත් ක්‍රම ගැන හිතන්නේ නැතුව තමන් හරි දේ කරන්න. (නි)
ඒ තාත්තා සාධාරණයි. අද තියෙන තරඟකාරිත්වය නිසයි එයා එහෙම කළේ (නි)
පවතින සමාජ ක්‍රමය නිසා කිය කියා දෙමාපියන් දරුවන් ඉදිරියේ බොරුවෙන් ජීවත් වෙනකොට දරුවාද බොරු කාරයෙක් වෙනවා. පාසලෙන් පටන් ගෙන ඊළඟට විභාගය, රැකියාවක් ලබා ගැනීම පමණක් නොව විවාහයේදී පවා බොරුවම තමයි. කියන්නේ දැන් කාලේ හැටියට මේවා නොකර බැහැ කියලා. (නදී)