පොසොන් පොහොය දා උදෑසන සිල් සමාදන් වීමට ගමේ පන්සලට එක්තරා උපාසක මාතාවක් පැමිණියේ මෙතෙක් නිවසේ තමන්ට මහත් හිසරදයක් වූ බලූ පැටවුන් රොත්ත ද සමගිනි. මෙසේ කුඩා බලූ පැටවුන් පන්සලේ භූමියෙහි ගෙනැත් දමනු දුටු විහාරාධිපති හිමියන් උපාසක ඒ ගැන විමසූ විට ඇය දුන් අපූරු පිළිතුරක් පිළිබඳව හස්තියකු වැනි පව්වක් ඇති ප‍්‍රදේශයකින් වාර්තා විය.
මෙම උපාසක මාතාවගේ නිවසේ වෙසෙන බැල්ලියක් පසුගිය දිනක පැටවුන් කිහිප දෙනෙක් වැදුවාය. කුඩා බලූ පැටවුන් නිවෙස පුරා හා මිදුල පුරා දුවමින් දකින දකින සියලූ දේ හපමින් අවුස්සමින් දඟලන්නට ගැනීම උපාසක මාතාවට මහත් හිසරදයක් විය.
දින ගණනක් මෙම බලූ කරදරයෙන් මිදීමට උපායක් කල්පනා කළ ඇය අන්තිමට තීරණයක් ගත්තාය.
පොසොන් පොහොය දින එළඹිණි. උදේ පාන්දරම අවදි වූ ඇය සුදු වතින් සැරැුසී නිවසේ තිබූ පොහොර උරයකට බලූ පැටවුන් ද දමාගෙන පන්සල බලා පිටත් වූවාය.
ඇය පන්සලට පැමිණෙන විට තරුණ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සිටියේ පන්සල් මිදුල අමදිමිනි. ඇය වහා බලූ පැටවුන් සහිත උරය පන්සලේ මිදුලේ පසෙකින් තබා ස්වාමීන් වහන්සේ අත තිබූ ඉදල ඉල්වාගෙන මිදුල අමදින්නට වූවාය.
විහාරාධිපති හිමියන් එතැනින් ඉවත් වූ වහාම ඇය පොහොර උරය ඇර බලූ පැටවුන් පන්සල් භූමියට මුදාහැරියාය. ඉතාම රහසිගතව ඇය එය කළ නමුත් කෙසේ හෝ එය ඇස ගැසුණ විහාරාධිපති හිමියෝ ”හා.... හා... උපාසකම්මේ. මොකද ඔය කරන්නේ” යැයි විමසූහ.
උපාසක මාතාව දොහොත් මුදුන් තබා ගත්තාය. ‘‘අනේ අවසරයි අපේ හාමුදුරුවනේ. ඉස්සර අපේ රජ සිටුවරු පෝය දවසට පන්සලට අලි ඇත්තු දන් දුන්නා. දුප්පත් අපි කොහොමද එහෙම කරන්නේ. අපිට පුළුවන් මෙහෙම දානයක් දෙන්න විතරයි. සාදු... සාදු... සාදු...’’ යැයි මහා හඬින් පැවසුවාය.
ඇයගේ පිළිතුරෙන් අන්ද මන්ද වූ විහාරාධිපති හිමියෝ නිහඬව ඉක්මන් ගමනින් ආවාස ගෙය දෙසට වැඩම කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශ්චිතවම ඇය හිටපු දේශපාලකයෙක් අනුකරණය කර ඇත. (නි)
නන්දලාල්ගෙ අදහස දැක්කහම දුකයි. අපේ රටේ මිනිස්සු තාම මොනතරම් පටු විදියටද හිතන්නේ කියලා. කවදා මේ රට හදන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. වෙන රටක එහෙම නම් නීතිය හමුවට පමුණුවලා මේ වගේ දෙයක් කළා නම්. එහෙම කළාම අනිත් අයත් ආදර්ශයට අරගෙන හැදෙනවා. රටෙන් ජලභීතිකාව වගේ ලෙඩ තුරන්වෙනවා. නමුත් නන්දලාල්ලා හිතන්නේ පන්සලට බල්ලො ගෙනත්දාපුවම හරි කියලා. (නි)
නන්දලාල් - ප්‍රංශය කිව්වට තාම ඉන්නේ ගල් යුගයේ වගේ අදහස් වලින් පේන්නේ. (නි)
බල්ලො තැන තැන ගෙනවිත් දාලා උන්ට පිස්සු හැදුනහම රටෙම් සල්ලි යනවා කාපු අයට බෙහෙත් විදින්න. අනික බල්ලොත් ලෙඩවෙලා මැරිලා යනවා දුක්විඳලා. තමන්ගේ බල්ලෝ පන්සල් වලට අතඇරලා හරියන්නේ නැහැ. තමන්ගේ බල්ලන්ව තමන් නඩත්තු කළයුතුයි. (නි)
මොකක්ද නන්දලාල් ඒ හරුපෙ? ගෙදර ඉන්න බලු පැටව් ටික පන්සලට ගෙනවිත් දාලා, කවුද ගල්ගහලා මරන්නේ බල්ලන්ව? (නි)
මේ උපාසක අම්මා නම් පවක් කර ගත්තේ නැහැ නේ. ඒ අසරණ බලුපැටව් ගල් ගහලා මරා දමනවා වෙනුවට පන්සලට ගෙනත් දැම්මා. පන්සලේ දවසකට එක්වරක් හෝ ඉවත දමන කෑම වලින් මුන්ගේ බඩගොස්තර පුරවාගන්න උපසකම්මාගේ මේ ක්‍රියාවෙන් පුළුවන් නිසා එයාට පිනක් ලැබෙනවා වෙන්නත් පුළුවන්. සමහර උපාසකයෝ පන්සල් එන්නේ වේදිකා හදාගන්න. පන්සලෙන් පිටත ඒ අයගේ ගෝලබාලයෝ අරයගෙ දේශනා ක්‍රියාවට පත්කරන්න සූදානම් වෙනවා. (නදී)
පේනවා නේද තැනට සුදුසු නුවණ. ගැහැණු ගැන සමහරු හිතාගෙන ඉන්න තරම වැරදියි. මෙයා පාර්ලිමේන්තුවටත් සුදුසුයි. (නි)
උපාසක අම්ම අපායේ දොරටුව හැර ගත්තා දෝ? (නදී)
කවුද දන්නේ ඇත්තටම උපාසක අම්මට ඕනේ උනේ බලු පැටව් පූජා කරන්නද කියලා. (නදී)
කාව රවටන්නද උතුම් පෝය දවසේ මේ වගේ සටකපටකම් කරන්නේ? කොයි ලොව යන්නද? කොයි අම්මණ්ඩිත් බලනකොට ඔහොම තමයි (නි)
මෙසේ නිවැරදි විය යුතුයි අපට මොටද අප අටසිල් උපාසක ඉබ්බන්නේ පුස්සන්නේ අනෙක් පිට කියල. (බ)
දවසක් උපාසක මහත්තයෙක් සිල් පවාරණය කරලා ගෙදර යනවලු.කොල්ලෝ ටිකක් ඉබ්බෙක් වැරදි පැත්තෙන් පුච්චන්න හදනවලු. උපාසක කිව්වලු ‘ඉබ්බන් පුළුස්සන්නේ අනෙක් පිටට‘ කියලා (නි)
උපාසක අම්මා ආගම දහම රකින නියම සීලවන්තියක් නම් හාමුදුරුවන්ට ඇත්ත කාරණාව පළමුව කියන්න තිබුනා.පන්සිල් පදෙත් කැඩුවා.බොරු කියලා පව් පුරවාත් ගත්තා. (නි)
මේවා අතීතයේ පටන් සිදුවන දේවල් (නි)
සමහර උපාසක අම්මලා පන්සලට එන්නේ ආගමික වතාවත් කරන්න නෙමෙයි. අනුන්ගේ වැරදි ඕපාදුප සොයමින් කාලය කන්න. ආගම මතක් වෙන්නේ වයසට ගියාම. තරුණ කාලයේදීම පිළිවෙලකට පන්සලට ඇවිල්ලා අදාළ ආගමික වැඩ කටයුතු කරගෙන තමන්ගේ පාඩුවේ ගෙදර යන පුරුද්ද ඇතිකර ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. කාන්තාවක් හැටියට ලජ්ජාවෙන් වුණත් මේ ටික නොකියාම බැහැ. (නි)
මෙවැනි ක්‍රියා අනුමත කරන්න බැහැ. මෙහෙම කරන අය ඉන්නවා.එයට හේතුව පන්සලට වින කිරීමේ අදහස නොව බලු පැටවුන් හෝ බළල් පැටවුන් බඩගින්නේ සිටින්නේ නැහැ නේද යන අදහසයි. (නි)
හොඳ උපාසක අම්මා! (නි)