නිමල කොඩිතුවක්කු

සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ මරන දන්ඩනය නියමව සිටි අනෝජන් සිවරාසා සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කොළඹදී අද පැවසිය.

විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත්ව ඉදිරියේදී ඔහු කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ විදේශ රැකියා හා සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා තවදුරටත් මෙසේද කීවේය.

‘‘ පේස්බුක් සටහනක් සම්බන්ධයෙන් අනෝජන් සිවරාජා පසුගියදා සවුදි අරාබියානු අත්අඩංගුවට පත්වුණා. සෞදි අරාබියානු ප්‍රාථමික අධිකරණය මගින් ඔහුට දඬුවම් ලබා දුන්නා. වසර පහක සිර දඬුවමක් සහ සවුදි රියල් මිලියන තුනක් පනවනු ලැබුවා. එම මුදල රුපියල් කෝටි 27කට සමානයි.

සෞදි අභියාචනාධිකරණය මගින් එය නැවත විභාග කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 27 වන දා අනෝජන් සිවරාසාට මරණ දඬුවම නියම කළා. අපේ නීතිඥ කණ්ඩායම සහ සෞදි තානාපති කාර්යාලය එක්ව එම මරණ දඬුවමෙන් සම්පූර්ණයෙන්ම ඔහු නිදහස් කරගන්න සමත් වුණා.

දිගින් දිගටම ඒ සදහා අවශ්‍ය නීතිමය මැදිහත් කිරීම් අනතුරුව සවුදි අභිචෝදක කාර්යාලය විසින් තීරණය කරලා තියෙනවා නොවැම්බර් නම වනදා මේ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නෙ නැතුව ඉන්න. ඒ අනුව ඔහුට විරුද්ධව දැන් සෞදි උසාවියේ නඩුවක් නැහැ. තව සතියක් දෙකක් ඇතුළත අපට පුළුවන්කම තියෙනවා අනෝජන් සිවරාසා ලංකාවට ගෙන්න ගන්න. ඒ අවශ්‍ය සියලු මැදිහත්වීම අපි කරලා තියෙනවා යැයිද ඔහු එහිදි පැවසීය.