(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කාර්යමණ්ඩලය සඳහා නොවැම්බර් 01 වැනිදා සිට අග්‍රහාර රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීමට තීරණය කර තිබේ.

ඒ පිළිබඳව කාර්යමණ්ඩලය දැනුවත් කිරීම සහ රක්ෂණාවරණය ප්‍රදානය කිරීමේ  වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් නාවින්න, බණ්ඩාරනායක ආයුර්වේද අනුස්මරණ පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කාර්යමණ්ඩලය සඳහා මෙතෙක් අග්‍රහාර රක්ෂණාවරණයක් ක්‍රියාත්මක නොවූ අතර වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සේවක සුබසාධනය තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම රක්ෂණාවරණය ලබාදීමට කටයුතු කර ඇතැයි අමාත්‍යංශය කියයි.

ඒ අනුව, මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලියක් ඔස්සේ පූර්ණ විනිවිදභාවයකින් යුතුව අදාළ සේවක රක්ෂණාවරණය ලබාගැනීමට සංස්ථාව කටයුතු කර ඇති අතර, ඊට අමතරව ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ ක්‍රියාත්මක වන අග්‍රහාර රක්ෂණාවරණය ද කාර්යමණ්ඩලය වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.

මෙම රක්ෂණාවරණය සඳහාවන මාසික වාරිකයෙන් සියයට 50ක් සංස්ථාව මඟින් ද, ඉතිරි සියයට 50 සේවකයාගෙන් ද දායකත්වය ලබාගනිමින් රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව, සේවකයාගේ මූල්‍ය බර අවම කරමින් ඔවුන්ට රක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව සැලසීම මෙහි අරමුණ වේ.

අදාළ රක්ෂණාවරණය ලබාදීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුමට පසුගිය අගෝස්තු 01 වැනිදා එළඹ ඇති අතර, එම ගිවිසුමට අනුව නොවැම්බර් 01 වැනිදා සිට සංස්ථාවේ කාර්යමණ්ඩලයේ සියලු දෙනාට අග්‍රහාර රක්ෂණාවරණයේ ප්‍රතිලාභ හිමිවනු ඇත.