(අංජුල මහික වීරරත්න)

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63වෙනි මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) කොළඹදී පැවැත්විණි.

මෙම සමුළුව සඳහා ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට අයත් රටවල් 66ක විද්‍යුත් මාධ්‍ය ආයතන 225ක නියෝජිතයෝ එක්ව සිටිති.

කලාපීය මාධ්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික දියුණුව, ක්‍රීඩා විකාශනය සහ මාධ්‍ය අන්තර්ගතයන් පිළිබඳ කරුණු මෙන්ම, කෘත්‍රිම බුද්ධිය (AI) මාධ්‍ය ක්ෂේත්‍රයට යොදා ගැනීම සහ සයිබර් ආරක්ෂාව ඇතුළු වත්මන් මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මහා සමුළුවට සමගාමීව තාක්ෂණික සහ විද්වත් කමිටු සැසි වාර කිහිපයක්ද ඔක්තෝබර් 30 සහ 31 දිනවලදී පැවැත්විණි.

මහා සමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, විදේශීය තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.