(යොහාන් භාසුර)

රුපියල් කෝටි ගණනක වටිනාකමක් ඇතැයි උපකල්පනය කළ හැකි මැණික් තොගයක් මෙරටින් පිට කිරීමට සූදානම්ව තිබියදී කොළඹ තැපැල් හුවමාරුවේදී  නතර කරගත් බවත් එම මැණික් අඩංගු පාර්සල් මෙම මස 22 වැනිද‍ා විවෘත කර පරීක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් 'ලංකාදීප'යට පැවසීය.

අදාළ මැණික් අඩංගු පාර්සල් හතර සෙල්ලම් බඩු, බිස්කට් සහ ස්ටිකර් යැයි සඳහන් කරමින් ජපානය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල්වලට තැපැල් මාර්ගයෙන් යොමු කිරීමට සූදානම්ව සිටි බවත් එම පාර්සල් රේගු නිලධාරීන් කළ ස්කෑන් පරීක්ෂණයේදී මැණික් ඇතැයි හඳුනාගත් බවත් එම නිලධාරියා කීය.

මෙම පාර්සල් අතර තිබූ 'ටෙඩිබෙයාර්' සෙල්ලම් බඩුවක් තුළ විශාල මැණික් තොගයක් ඇතැයි ස්කෑන් පරීක්ෂණයේදී දැකගත හැකි වූ බවව කී එම උසස් රේගු නිලධාරියා මෙම පාර්සල් හතර තුළ රුපියල් කෝටි ගණනක මැණික් ඇතැයි විශ්වාස කරන බව සඳහන් කළේය.

මෙම පුද්ගලයන් මීට පෙර ද මෙසේ තැපැල් මාර්ගයෙන් මෙරට වටිනා සම්පතක් වන මැණික් විදේශ ගත කරන්නට ඇතැයි අනුමාන කරන බවත් රේගුව මැදිහත්වීමත් සමග ජාවාරම්කරුවන්ට ඒ සඳහා ඉඩ ඇහිරෙන බවත් එම රේගු නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.