(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හබරාදූව කොග්ගල දුම්රිය හරස් මාර්ගයක් හරහා අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම නිසා දුම්රියේ ගැටුණු බසයේ මාර්ග බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අවලංගු කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි.

මෙම අනතුරින් පාසල් සිසුන් දහතුන් දෙනකු තුවාල ලැබීය. 

කොට්ටාව සමන්පුර ප්‍රදේශයේ පිහිටි උපකාරක පංතියක සිසුන්, ගුරුවරුන් හා මාපියන් ඇතුළු 61 දෙනකු මෙම බසයෙන් අධ්‍යාපන චාරිකාවක නිරත වී ඇත.

ඔවුන් කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නරඹා දිවා ආහාරය සදහා යළි පිටතට පැමිණීමේදී තංගල්ලේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බස් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

දුම්රිය හරස් මාර්ගයේ රතු පැහැති විදුලි සංඥා ක්‍රියාත්මක වී තිබියදී එය තැකීමක් නොකොට අපරීක්ෂාකාරී ලෙස බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කර ඇතැයි පොලිසිය කියයි.

පසුව අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් දහතුන් දෙනකු උණවටුන සහ කරාපිටිය රෝහල් වෙත ඇතුළත් කර අතර ඉන් එක් සිසුවකගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

සිද්ධිය වාර්තා වීමත් සමග විමර්ශනයක් ආරම්භ කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට කරුණු අනාවරණය වී ඇත්තේ එම බස් රථය රුක්මල්ගම පිටකොටුව (138) මාර්ගයේ මගීන් ප්‍රවාහනය කරන බස් රථයක් බවයි.