(ගයාන් සූරියආරච්චි)

රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමකින් යුත් රත්‍රං ග්‍රෑම් 790 ක් ඉතා සූක්ෂම ලෙස ගුද මාර්ගයේ සගවාගෙන මෙරටට පැමිණ සිටි ඉන්දියානු ජාතිකයන් 3 දෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව ආමර්වීදිය පොලිසිය පවසයි.

කටුනායක ගුවන්තොටුපොළේ ස්කෑන් යන්ත්‍රවලට හසුනොවන පරිදි සැකකරුවන් එම රත්‍රංවල රසායනික ද්‍රව්‍යක් ආලේප කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි 28 ත් 36 අතර පසුවන ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකි.

සැකකරුවන් මැලේසියාවේ සිට එම රත්‍රං ඉතා සූක්ෂම ලෙස ගුද මාර්ගයේ සගවාගෙන කටුනායක ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණ ඇත.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගේ තොරතුරක් මත ආමර් වීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ.එස්. නිශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවෝ තිදෙනා ආමර්වීදිය හෝටලයක සිටියදී අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඩුබායි සිටින පුද්ගලයකු දුරකතනයට එවනු ලබන ස්ථානයක් වෙත එම රත්‍රං රැගෙන ගොස් අලෙවි කිරීමට සූදානමින් සිට ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ.එස්. නිශාන්ත මහතගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (4010) සේනාධීර, (102607) පැතුම්, (103848) අභිලාෂ් යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.