(යොහාන් භාසුර)

සිරදඬුවම් විදිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා කරන ඉල්ලීම ඉටුකිරීමට නොහැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අද (16) පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (16) පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා එසේ පැවසීය.

පාගමනින් වැඩිය ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම ඇත්තවශයෙන්ම ඉෂ්ඨ කිරීමට නොහැකි බවත් ඒක ඉෂ්ඨ කළොත් ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ජනවරමට පිටුපෑවා බවට පත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම ඉල්ලීම ඉෂ්ඨ කිරීමට නොහැකි ඉල්ලීමක් යැයි අපේ හාමදුරුවන් වහන්සේලාට තේරුම් ගතයුතු බව ද ඔහු කීය.

පසුගිය පාලන කාලය මෙන් නොව වර්තමානයේ නීතියේ අධිපත්‍ය තහවුරු කර ඇති බැවින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ජන වරමට පිටුපාමින් කටයුතු නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කනුයේ තමන් ඇතුළු කණ්ඩායමට ලැබී ඇති ජනවරමට අනුව බවත් ඒ මහතා කීය.

අදාළ ඉල්ලීම ඉටුකිරීමෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනවරමට පිටුපෑ බවට සැළකීමට සිදුවනු ඇති බව කී අමාත්‍ය ලාල් කාන්ත මහතා ආණ්ඩුවට ලැබුණු ජනවරම මත පදනම්ව පමණක් තීරණ ගන්නා බව බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් අපේ හාමුදුරුවන් වහන්සේලාටත්, පොදු ජනතාවටත්, සෑම සියලු දෙනාටමත් දැනගැනීම සඳහා ස්ථිරව එය ප්‍රකාශ කරන බවත් නීතියේ ආධිපත්‍ය ඉල්ලලා තියෙන ජනවරමක් තියෙන නිසා ඒ දිසාවට රට හරවලා තියෙන බවත් ඔහු පැවසීය.