(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති  ලෙවන් එස්. ධාගරියන් (Levan S. Dzhagaryan) මහතා ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.

මෙහිදී රුසියානු සමූහාණ්ඩුවේ ෆෙඩරල් සභාවේ සම්මේලන මණ්ඩලයේ සභාපති  වැලන්ටිනා මැට්වියෙන්කෝ (Valentina Matviyenko) මහත්මිය විසින්  කථානායකවරයා වෙත යොමු කරන ලද නිල ආරාධනයක් තානාපතිවරයා විසින් භාර දෙන ලදී. ඒ අනුව, දෙපාර්ශ්වයටම පහසු දිනයකදී 2027 වසරේ රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත වන ලෙස  කථානායකවරයාට ආරාධනා කර තිබේ.

රුසියානු ෆෙඩරල් සභාවේ සම්මේලන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ආරාධනය විශේෂ වැදගත්කමක් වනු ඇති බව එහිදී අදහස් පළ විය. දෙරට අතර පාර්ලිමේන්තු සංවාදය ඉදිරියට ගෙන යාමටත්, පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමටත් යෝජිත සංචාරය වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇතැයිද එහි විශ්වාසය පළ කෙරිණි.

මෙම හමුවේදී දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු පිළිබඳව සුහද අදහස් හුවමාරුවක් සිදු වූ අතර, ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.