(අංජුල මහික වීරරත්න)

වෘත්තීය පුහුණු හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කම්කරු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය, වෘත්තීය පුහුණු හා ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ජන රජයේ වැංෂින් විශ්ව විද්‍යාලය සමඟ 2023 වර්ෂයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇති අතර, එම ගිවිසුමෙහි ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු හේතුවෙන් මෙතෙක් එකී අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට හැකි වී නොමැත. එබැවින්, පාර්ශ්වයන් අතර විධිමත් සම්බන්ධතාවක් ඇති කර ගැනීම සඳහා ප්‍රධාන පාර්ශ්ව 05 ක් සම්බන්ධ කර ගනිමින් නව අවබෝධතා ගිවිසුමක් සහ මෙහෙයුම් රාමුවක් සකස් කරනු ලැබ ඇත. 

ඒ අනුව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය හරහා තෝරා ගනු ලබන ශ්‍රී ලාංකික සිසුන්ට කොරියානු ජන රජයේ වැංෂින් විශ්ව විද්‍යාලයෙහි උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සැලසීමත්, අනතුරුව Gyeongsangnam-do පළාතේ පිහිටි කර්මාන්ත තුළ රැකියා අවස්ථා සහ එම පළාත තුළ දිගුකාලීනව පදිංචි වීමේ අවස්ථා ලබා දීමත් අරමුණු කර ගනිමින් යෝජිත අවබෝධතා ගිවිසුම සකස් කර තිබේ. ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය, කොරියානු ජන රජයේ Gyeongsangnam-do පළාත, Sacheon වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ටැංෂින් (Changshin) විශ්ව විද්‍යාලය යන පාර්ශ්වයන් අතර එකී අවබෝධතා ගිවිසුමට සහ මෙහෙයුම් රාමුවට එළඹීම පිණිස කම්කරු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.