(අංජුල මහික වීරරත්න)

සුවිශේෂී තත්ත්වයක් සේ සලකා ඉදිරි සති දෙක තුළ කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් සුද්ධ පවිත්‍ර කරන්නැයි  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

ඉදිරි කාලයේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින්, වැසි ජලය බැසයාම විධිමත් කිරීම සඳහා කඩිනමින් ඇළ මාර්ග සහ කාණු පද්ධති සුද්ධ පවිත්‍ර කළ යුතු බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය එම පවිත්‍ර කිරීමේ කටයුතු අවසන් කර ඉදිරියටද අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි කීවාය.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම කමිටු රැස්වීම පැවැත්විණි.

මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කානු පද්ධති සහ ඇළමාර්ග පවිත්‍ර කිරීමේදී පවතින ගැටලු ඉදිරිපත් කළ අතර, තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය මෙන්ම සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කිරීම සම්බන්ධයෙන් මුහුණ පා ඇති අභියෝග පිළිබඳවද නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.

කොළඹ දිස්ත්‍රික්කයේ 2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් ද  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය මෙහිදී යොමු කෙරිණි. ඒ යටතේ  ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ප්‍රජා සවිබල ගැන්වීම, ආපදා කළමනාකරණය සහ ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීම යන ප්‍රධාන අංශ යටතේ ව්‍යාපෘති පිලිබඳ නිලධාරීන් මෙහිදී පැහැදිළි ක⁣ළේය.