(රෝෂන් තුෂාර)

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය බදු දීමේ ක්‍රිෂ් ගනුදෙනුවේ දී සිදු වූයේ යැයි කියන මහාපරිමාණ මුල්‍ය වංචා අනාවරණය කර ගැනීමට පොලිසිය සිදුකරන විමර්ශනයන්ට ඕනෑම අවස්ථාවක සහාය ලබාදෙන බව අදාල මුදල් හුවමාරු කළ බැංකු ගිණුමක හිමිකාර ව්‍යාපාරිකයකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් සිය නීතිඥවරයා මාර්ගයෙන් ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා සතුව තිබි රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ලැප්ටොප්, ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ යළි ලබා දෙන ලෙසට ඉල්ලා ගොනුකරන ලද පැමිණිල්ල කැදවු අවස්ථාවේදී ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ මහතා එසේ පැවසීය.

නීතිඥ පසන් කරුණාරත්න, නීතිඥ මනුජය ද සිල්වා සමග පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් නිමල් පෙරේරා යන අය විසින් ලබාදෙන ලද සාක්ෂි වලින් පසුව තම සේවා දායකයා අවස්ථා තුනකදී පොලිසියට ප්‍රකාශ ලබා දී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කර සිටියේ ව්‍යාපාරිකයා සතුව තිබී අත්අඩංගුවට ගත් විද්‍යුත් උපකරණ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර ඇති බැවින් අදාළ උපකරණ හිමිකරුවන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණය රජයේ රස පරීක්ෂක වාර්තාවලට ලැබුණු පසුව දැනුම් දෙන බවය.

ක්‍රිෂ් ගනුදෙනුවේදී ජර්මන් බැංකුවකින් යුරෝ 1200 000ක් සහ ඕස්ට්‍රේලියානු බැංකුවකින් යුරෝ 1497446 ක් මෙරට බැංකු ගිණුම් වෙත සම්ප්‍රේෂණය වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වීම අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.