ඉරාන යුද්ධය හේතුවෙන් බිඳවැටුණු ගෝලීය තෙල් සැපයුම යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව, ‘ඔපෙක්’ හෙවත් ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය පවසයි.

‘ඔපෙක්’ සංවිධානය නිකුත් කළ නවතම මාසික වාර්තාවට අනුව, ලොව විශාලතම තෙල් අපනයනකරු වන සෞදි අරාබිය, සිය බොරතෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 10.563ක් දක්වා ඉහළ නංවා ඇත.

එය ඉකුත් සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දිනකට බැරල් මිලියන දෙකකට අධික වර්ධනයක් වන අතර, පසුගිය පෙබරවාරි මාසයේ ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම නිෂ්පාදන මට්ටම ද වන බව පැවැසෙයි.

යුද්ධයට පෙර පෙබරවාරි මාසයේදී සෞදි අරාබිය දිනකට බොරතෙල් බැරල් මිලියන 10.882 ක් නිෂ්පාදනය කර තිබුණි. සෞදි අරාබිය සහ රුසියාව සිය නිෂ්පාදනය ඉහළ නැංවීමත් සමග ‘ඔපෙක් ප්ලස්’ රටවල සමස්ත තෙල් නිෂ්පාදනය ද ඔක්තෝබර් මාසයේදී දිනකට බැරල් මිලියන 41.23ක් දක්වා වර්ධනය වී තිබේ. එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දිනකට බැරල් මිලියන 2.04ක වැඩිවීමක් බව පැවැසෙයි.

‘ඔපෙක්’ වාර්තාවට අනුව, මෙම නිෂ්පාදන මට්ටම ඉරාන යුද්ධයට පෙර ‘ඔපෙක් ප්ලස්’රටවල් නිෂ්පාදනය කළ තෙල් ප්‍රමාණයෙන් සියයට 97කට ආසන්න වන බව ද පැවැසෙයි.

මේ අතර, රුසියා බලශක්ති ක්ෂේත්‍රයට පනවා තිබූ සම්බාධක ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කිරීම සහ රුසියාව සහ යුක්රේනය අතර බලශක්ති සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම ද රුසියානු තෙල් නිෂ්පාදනය ඉහළ යාමට බලපා ඇති බව වාර්තා වෙයි.

ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් පමණ ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රවාහන කටයුතු දැඩි ලෙස අඩාල වූ අතර, එමගින් ජාත්‍යන්තර තෙල් මිල සහ උද්ධමනය ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් විකල්ප නළ මාර්ග සහ ප්‍රවාහන ක්‍රම භාවිත කරමින් සිය තෙල් අපනයනය යළි ස්ථාවර කරමින් සිටින බව ‘ඔපෙක්’ සංවිධානය නිකුත් කළ වාර්තාව පෙන්වා දෙයි.