(අංජුල මහික වීරරත්න)

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දීමේදී වූ වරද අදාළ ලේඛන  බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය නොගැනීම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අමාත්‍යංශය අනුමැතිය නොගෙන තම අත්සන පමණක් ලබාගෙන අදාල ලේඛන සකසා ඇතැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය.

ගලගොඩ අත්තේ ඥාණසාර හිමි නැවත බන්ධනාගාර ගත කිරීමේදී එම නඩු තීන්දුව දුන්  අධිකරණයේ තීන්දු ප්‍රකාශයේ සටහන් වී ඇත්තේ උන්වහන්සේ නිදහස් කිරීමට අධිකරණයට සිදු වූ කරුණු අතර ජනාධිපති කාර්යාලයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලිපි ලේඛන වල තාක්ෂණික දෝෂයක් සිදුවී ඇති බවයි.

අධිකරණයේ තීරණය නිවරදි අතර එම තීන්දුවට මා ගරු කරමි.

මෙම වූදිත ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව නඩු දෙකක් තිබී ඇත. එහි අංක සඳහන් කරන්නේ නම්,

01 - හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ

87417/10 නඩුව අනුව අධිකරණයට බාධා කිරීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම.

02 - හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ 40042 නඩුව

ඉහත නඩු දෙකම  ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට සමාව දීම සඳහා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා අනුමැතිය ගත යුතු බව  ජනාධිපති කාර්යාලයේ සේවය කළ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මා වෙත දන්වා සිටියද අදාළ එම ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයට යවා නැත. ඒ අනුව ඉහත කී අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව මාගේ අත්සන පමණක් ලබාගෙන ඇත. එය මා නොමග යැවීමකි.

ඉහත හේතු මත පාක්‍යසෝති සරවනමුත්තු මහතාගේ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැමිණිල්ලක් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති නඩුවක් මගින් මෙම තීරණය ලැබී ඇත. මම ජනාධිපති ධූරය දරණ කාලයේ මාගේ නීති අංශය භාර අතිරේක ජ්‍යෙෂ්ඨ ලේකම්වරිය මගින් සිදුවී ඇති වරද අනුව ගලගොඩ අත්තේ ඥාණසාර හිමිට නැවත වරක් සිරගත වීමට සිදුවී ඇත.

මෙම සිද්ධිය මාගේ නිලධාරීන් එවකට සිදු කළත් ගෞරවනීය මහා සංඝ රත්නයගෙන් සිදුවී ඇති වරදට මා සමාව ඉල්ලා සිටිමි.

මෙම තොරතුරු ගත්තේ  මා විසින් අන්තර්ජාලයෙන් ලබාගත් අධිකරණ තීන්දුවේ පිටපතක් අධ්‍යයනය කිරීමෙන් පසු බව කාරුණිකව දන්වා සිටිමි.

රටේ ගෞරවනීය මහා සංඝරත්නය, මාධ්‍යවේදීන් සහ බොහෝ පිරිස් මාගෙන් මෙම නඩුවේ තාක්ෂණික දෝෂය කුමක්ද යන්න මාගෙන් විමසන බැවින් මෙම නිවේදනය නිකුත් කිරීමට සිදුවූ බව කෘතඥතා පූර්වකව දන්වා සිටිමි.