(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායල රජය විසින් ගනු ලැබූ නව ප්‍රතිපත්තිමය තීරණයක් අනුව, 2027 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකික ශ්‍රමිකයන් ඊශ්‍රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම රජයන් අතර ඇති කරගනු ලබන ගිවිසුම (Government-to-Government – G to G) යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වෙත දැනුම් දී ඇත.

ඒ අනුව, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හරහා දැනට ක්‍රියාත්මක වන ඊශ්‍රායල රැකියා බඳවා ගැනීමේ වැඩසටහන 2026 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වේ. 2027 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත නව බඳවා ගැනීමේ ක්‍රමවේදය, බඳවා ගැනීමේ සිමාවන් සහ තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ නිල තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.

මීට පෙර ඊශ්‍රායලයේ ඉදිකිරීම් (Construction), කාර්මික (Industrial) සහ වාණිජ හා සේවා (Commerce & Services) යන ක්ෂේත්‍රවල රැකියා සඳහා පෞද්ගලික අංශය (බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන) හරහා ශ්‍රමිකයන් බඳවා ගැනීමට අවසර ලබා දී තිබුණි. එසේම, ඉහත සඳහන් ක්ෂේත්‍රවල හෝ වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක ඊශ්‍රායලයේ නව රැකියා ලබා දෙන බවට කරනු ලබන පෞද්ගලික අංශයේ පොරොන්දු සම්බන්ධයෙන් රැකියා අපේක්ෂකයන් විමසිලිමත් විය යුතු බව කාර්යාංශය දන්වා සිටියි.

ඒ අනුව, ඊශ්‍රායල රැකියා අපේක්ෂකයන් පහත සඳහන් උපදෙස් පිළිපැදිය යුතු බව කාර්යාංශය සදහන් කරයි.

ඊශ්‍රායල රැකියා ලබා දෙන බව පවසමින් කිසිදු පුද්ගලයෙකුට හෝ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයකට මුදල් ගෙවීමෙන් වළකින ලෙසත්, කාර්යාංශය විසින් නිල වශයෙන් දැනුම් දෙන තුරු, පෞද්ගලික අංශය විසින් ඊශ්‍රායල් රැකියා සඳහා පවත්වනු ලබන කුසලතා පරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ හෝ වෙනත් තෝරා ගැනීමේ ක්‍රියාවලීන් සදහා සහභාගී වීමෙන් වළකින ලෙසද දන්වා සිටි. එසේම විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පමණක් කෙරෙහි අවධානය යොමු කරන ලෙසද මහජනතාවට දැනුම් දෙයි.

දැනටමත් ඊශ්‍රායල රැකියා සඳහා නීත්‍යානුකූලව මුදල් ගෙවා ඇති පුද්ගලයන් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන අතර, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ඉදිරියේදී නිල වශයෙන් කාර්යාංශය දැනුම් දෙනු ලැබේ. එලෙස නීත්‍යානුකූලව මුදල් ගෙවා ඇති පුද්ගලයන් පිළිබඳ තොරතුරු බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන වෙතින් කාර්යාංශය විසින් ඉල්ලා ඇති අතර, එම තොරතුරු මත පදනම්ව ඉදිරි කටයුතු සිදු කරනු ඇත. ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් දැනට වෙන වෙනම පෞද්ගලිකව ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව කාර්යාංශය දන්වා ඇත. කෙසේ වෙතත්, වංචාවක් හෝ වෙනත් විශේෂ ගැටළුවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අවශ්‍ය පුද්ගලයන්ට සාමාන්‍ය පැමිණිලි ක්‍රමවේදය අනුව කටයුතු කළ හැකිය.