(අංජුල මහික වීරරත්න)

තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර සේවා පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 3090ක පිරිවැයකින් තට්ටු නවයකින් සමන්විත ශල්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මෙම වසර අවසානයේ ඉදිකිරීම් ආරම්භ කර අදියර හතරක් යටතේ ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂා කරන අතර, මේ පිළිබඳව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ විශේෂ අවධානය යොමු විය.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා තංගල්ල මූලික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති විශේෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී රෝහලේ පවතින ගැටලු සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන ලදී.

ඇඳන් 339ක ධාරිතාවකින් යුත් තංගල්ල මූලික රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අමතරව දිස්ත්‍රික්කයේ ජනතාවට රෝහල්ගත ප්‍රතිකාර ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ප්‍රධාන රාජ්‍ය සෞඛ්‍ය ආයතනයකි.

රෝහල් භූමියේ පවතින ඉඩකඩ සීමාවන් හේතුවෙන් ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමේදී මතුවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, යෝජිත ශල්‍ය වාට්ටු සංකීර්ණයට අමතරව තට්ටු පහකින් සමන්විත වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙම සංවර්ධන සැලසුම් මඟින් රෝහලේ භෞතික පහසුකම් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.