(අංජුල මහික වීරරත්න)

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙහිදී විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා සෘජුවම නිරීක්ෂණය කළේය.

එම කටයුතුවලට සම්බන්ධව රසායනාගාරවල සේවය කරන නිලධාරීන්ගෙන් කරුණු විමසූ අමාත්‍යවරයා, වාර්තා කඩිනමින් නිකුත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ ඒ සඳහා පවතින පහසුකම් පිළිබඳවද සොයා බැලීය.

රස පරීක්ෂක වාර්තා පරිගණක ගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද සොයා බැලූ අමාත්‍යවරයා අවධාරණය කළේ, තමන්ට හැකි උපරිමයෙන් වගකීම් ඉටු කිරීම තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බවත්ය.

අධිකරණ කටයුතු කඩිනම් කිරීමේදී මෙන්ම බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ සංඛ්‍යාව අවම කිරීමේදීද රස පරීක්ෂක වාර්තා නියමිත කාලසීමාව තුළ ලබාදීම තීරණාත්මක සාධකයක් බවත් පසුගිය කාලයේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති තනතුරු පුරප්පාඩු සහ අවශ්‍ය පහසුකම්වල සීමාවන් හේතුවෙන් වාර්තා නිකුත් කිරීමේ බරපතල ප්‍රමාදයන් ඇති වී තිබූ බවත් අමාත්‍යවරයා කීය.