
(විමුක්ති එස්. රුද්රිගු)
ශ්රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගෙන ජාත්යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි එය ප්රතිසංස්කරණය කරන ලෙස ජාත්යන්තර ක්ෂමා සංවිධානය ශ්රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ඇත.
යෝජිත පනත් කෙටුම්පත මගින් පුද්ගලයකුට එරෙහිව චෝදනා ගොනු නොකර වසරක් දක්වා රඳවා තැබීමටත්, නඩු විභාගය ආරම්භ කිරීමට පෙර තවත් වසරක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඉඩ සැලසෙන බැවින් නඩු විභාගයක් ආරම්භ වීමට පෙර වසර දෙකක් දක්වා නිදහස අහිමි කිරීමේ අවදානමක් පවතින බව එම සංවිධානය පෙන්වා දී තිබේ.
නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිදුකළ නීතිමය විශ්ලේෂණයක් පදනම් කරගෙන ඉකුත් 21 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් ජාත්යන්තර ක්ෂමා සංවිධානය මෙම අනතුරු ඇඟවීම කර ඇත.
දැනට ක්රියාත්මක ත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වාදීමට යෝජිත මෙම පනත් කෙටුම්පතේ 2025 වසරේ කෙටුම්පතට සාපේක්ෂව යම් යහපත් සංශෝධන ඇතුළත් වුවද, ත්රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම තවදුරටත් පුළුල් සහ අපැහැදිලි බව එම සංවිධානය සඳහන් කර තිබේ.
ඒ හේතුවෙන් සාමකාමී විරෝධතා, රජය විවේචනය කිරීම, විරුද්ධ මත ප්රකාශ කිරීම සහ සිවිල් සමාජ සංවිධානවල නීත්යනුකූල ක්රියාකාරකම් ත්රස්තවාදී ක්රියා ලෙස අර්ථකථනය කිරීමේ ඉඩකඩක් පවතින බවද එම සංවිධානය පෙන්වා දී ඇත.
විශේෂයෙන් පනත් කෙටුම්පතේ 3(4) වගන්තිය මගින් විරෝධතා, වෘත්තීය ක්රියාමාර්ග, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ මානුෂීය හෝ වෛද්ය ආධාර සැපයීම ත්රස්තවාදී වැරදිවලින් පැහැදිලිව බැහැර කර නොමැති බව එම සංවිධානයේ නීතිමය විශ්ලේෂණයේ සඳහන් වේ.
එම ක්රියාකාරකම් පමණක් ත්රස්තවාදී වරදක් තහවුරු කිරීමට ප්රමාණවත් නොවන බව සඳහන් කිරීමෙන් ඒවාට පූර්ණ නීතිමය ආරක්ෂාවක් නොලැබෙන බවත්, එමගින් නීතිය පුළුල් ලෙස අර්ථකථනය කිරීමට අවස්ථාව සැලසෙන බවත් ජාත්යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී ඇත.
එසේම සැලකිය යුතු ආර්ථික හානියක් සිදුවීමේ හැකියාව පවා ත්රස්තවාදී වරදක් නිර්වචනය කිරීමේදී සැලකිල්ලට ගැනීම ජාත්යන්තර නීතිය යටතේ ත්රස්තවාදී වරදක් සඳහා අවශ්ය බරපතළකමේ මට්ටමට නොගැළපෙන බව එම සංවිධානයේ ස්ථාවරය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd