(ගයාන් සූරියආරච්චි)

මෙම 30 වැනිදා වන විට රජය වෛද්‍යවරුන්ගේ ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වුවහොත්, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට පසුබට නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නංගර මහතා පැවසීය.

ඔහු ඒ බව පැවැසූවේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිව වෙමිනි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෛද්‍ය වෘත්තිකයන්ට 2027 අයවැය මගින් අසාධාරණයක් සිදුව ඇති අතර වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් තවදුරටත් නොසලකා හරින්නේ නම් විරෝධතාවල සිට වැඩ වර්ජන දක්වා සියලු වෘත්තීය සමිති එක්ව කටයුතු කරන බවට වෛද්‍ය කන්නන්ගර මහතා රජයට අනතුරු ඇඟවීය.

වෛද්‍යවරුන් මුහුණ දෙන දිගුකාලීන අසාධාරණයන් ඉස්මතු කිරීම සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සතියක දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇත.

දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව මහජන දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ද අද (25) ආරම්භ කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එමෙන්ම සියලු ශ්‍රේණිවල වෛද්‍යවරුන්ට පනවා ඇති රුපියල් 150,000 ඉක්මවන මාසික වැටුප් කප්පාදු පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමට කටයුතු කළ බවද වෛද්‍ය යසිත කන්නංගර මහතා කියා සිටියේය.

කිසිදු වැඩ වර්ජනයකින් තොරව ලංකාව පුරා විසිරී සිටින වෛද්‍යවරුන් 3000 ක් පමණ ඉකුත් 10 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටට ගෙන්වූ බව කී ලසිත කන්නංගර මහතා කියා සිටියේ වසර 2 කට වැඩි කාලයක් තිස්සේ වෛද්‍යවරුන්ට නොගෙවූ දීමනා රජය ප්‍රකෘතිමත් මට්ටමකට පැමිණ ඇති මොහොතේ ලබාදිය යුතු බවය.