
නවසීලන්ත මහමැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. එම ප්‍රතිඵල අනුව, කිසිදු ප්‍රධාන පක්ෂයකට රජයක් පිහිටුවීමට අවශ්‍ය පැහැදිලි බහුතර බලය හිමිවී නැත. ඒ අනුව, ඉදිරියේ දී, සන්ධානගත වී නව රජයක් පිහිටුවීම සඳහා ප්‍රධාන පක්ෂ අතරේ සාකච්ඡා පැවැත්වෙනු ඇත.
මෙවර මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ප්‍රධාන අවධානය යොමුවූයේ වේගයෙන් ඉහළ යන ජීවන බර, රැකියා විරහිතභාවය සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු කෙරෙහිය.
ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී, වත්මන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන්ගේ මධ්‍ය දක්ෂිණාංශික මතධාරී ජාතික පක්ෂය ආසන 42 ක් දිනා ගනිමින් ඉදිරියට පැමිණියේය. නවසීලන්ත පාර්ලිමේන්තුව ආසන 120 කින් සමන්විත වෙයි. බහුතරය සඳහා අවශ්‍ය වන ආසන ගණන 61 කි. ඒ අනුව, ලක්සන්ගේ මධ්‍ය දක්ෂිණාංශික මතධාරී ජාතික පක්ෂයට ආසන 19 ක අඩුවක් පවතී.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන බලවේගය වන ක්‍රිස් හිප්කින්ස් මෙහෙයවන මධ්‍ය වාමාංශික මතධාරී කම්කරු පක්ෂය ආසන 36 ක් දිනා ගැනීමට සමත් විය. ඊට අමතරව හරිත පක්ෂය ආසන 16 ක්ද, ඇක්ට් පක්ෂය ආසන 13 ක්ද, නිව්සීලන්ඩ් ෆස්ට් (නවසීලන්තය පෙරට) පක්ෂය ආසන 12 ක්ද දිනා ගැනීමට සමත් වී සිටී.
මෙවර මැතිවරණයේ විශේෂත්වයක් වන්නේ, 'ඔපර්චුනිටි' නමැති පක්ෂය ප්‍රථම වතාවට ආසන 7 ක් දිනා ගැනීම යැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. නවසීලන්තයේ ස්වදේශීය මවුරි ජනතාව නියෝජනය කරන 'ටේ පාටි මාඕරි' පක්ෂය ආසන 5 ක් දිනා ගත්තේය.
'ඔපර්චුනිටි' පක්ෂයේ නායිකා කියුලේ වොං පවසා ඇත්තේ රටේ අනාගතය වෙනුවෙන් ඕනෑම ප්‍රධාන පක්ෂයක් සමඟ එකඟතාවයකට පැමිණීමට තම පක්ෂය සූදානම් බවය. කෙසේ වෙතත් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත්, මේ වනවිට බලයේ සිටින ජාතික පක්ෂය සමග ප්‍රථමයෙන් සාකච්ඡා කරන බව ඇය මාධ්‍ය හමුවේ පවසා ඇත.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අගමැති ක්‍රිස්ටෝෆර් ලක්සන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ ඡන්ද ප්‍රතිඵල තහවුරු වන තෙක් තමන් භාරකාර ආණ්ඩුවක් මෙහෙයවන බවත්, ඉන් අනතුරුව නව රජයක් සෑදීම සඳහා සාර්ථක සාකච්ඡා පවත්වන බවත්ය.
මේ අතර, විපක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස් අවධාරණය කළේ ඡන්දදායකයින් ලබා දුන් මෙම තීරණය අනුව සියලු දෙනාටම නම්‍යශීලී වී එකට එකතු වී වැඩ කිරීමට සිදුවනු ඇති බවය. නවසීලන්ත මහ මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවනු ඇත්තේ එලැඹෙන 27 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd