(ජේ ඒ එල් ජයසිංහ, ඩබ්ලිව්.ඒ. අසේල සහ ෂේන් සෙනෙවිරත්න) 

පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සියලු පරිපාලන කටයුතු    සහකාර පලාත් පාලන කොමසාරිස් ඒ.ඩබ්ලිව්.ජි.එල්. අත්තනායක යටතට පත් කිරීමටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු විසින් කටයුතු කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වන අංක 2511/09 දරණ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ දින නිකුත් කර ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මෙම සභාවට සභිකයින් හතලිස් තුන්දෙනෙකු තේරී පත්වූ අතර කිසිම පක්ෂයකට බහුතර බලයක් නොලැබීම නිසා සභිකයන් අතර ඡන්දයක් පවත්වා සභාපති හා උපසභාපති තෝරා ගැනීමට කටයුතු කරන ලදි.

එහිදී සමගි ජන බලවේගය හා තවත් පක්ෂ කිහිපයක් එක්ව සභාපති ධුරය සඳහා සමඟි ජන බලවේගය පක්ෂයේ කේ.එස්.බී රාජනායක සභාපති ධූරයට පත් කරගත් අතර ඔහු එම තනතුරින් පසුගිය ජූලි මස පළමු දින සිට ඉල්ලා අස්වීම නිසා මෙහි සභාපති ධුරය පුරප්පාඩු විය. ඔහු මේ වන විට අල්ලස් චෝදනා යටතේ සිර දඩුවමකට ලක්ව ඇත.

පුරප්පාඩුව පවතින පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට සුදුස්සකු පත් කිරීම සදහා අවස්ථා තුනකදී මධ්‍යම පළාත් පාලන කොමසාරිස් විසින් සභාව කැදෙවූව ද ඝණ පූර්ණය නොමැති වීම මත ජන්දය පැවැත්වීමට නොහැකි විය. ඒ පිළිබදව පළාත් පාලන කොමසාරිස් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දී ඇත.