දකුණු පෙණහැල්ලේ ගැටිත්ත ඉවත් කිරීමේ සැත්කමකට ලක් වුණු ශුද්ධෝත්තම ලියෝ පාප්තුමා, තවමත් රෝහලේ සිටින බවත්, ඔහු රෝහලේ සිටඅන්තර් ජාලය ඔස්සේ සහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුපුරුදු රාජකාරිවල නියැලෙන බවත් වතිකානය නිවේදනය කළේය.

වතිකානයේ ප්‍රධාන කාර්ය මණ්ඩල ප්‍රධානී අගරදගුරු පාඕලෝ රුඩෙලි නිරන්තරයෙන් පාප්තුමා හමුවීමට පැමිණෙන අතර, රාජකාරි සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ද වාර්තා වේ.

පාප්තුමාගේ දකුණු පෙණහැල්ලේ ගැටිත්ත පිළිකා තත්ත්වයක් බව වෛද්‍යවරු බිය පළ කරති. ගැටිත්තේ පටක වැඩිදුර පරීක්ෂණ සඳහා යවා ඇති අතර එහි පරීක්ෂණ වාර්තා ඉදිරියේ දී ලැබීමට නියමිත බව ද පැවැසෙයි.

වෛද්‍යවරුන් ඉකුත් අඟහරුවාදා සිදු කළ සාර්ථක සැත්කමකින් එම ගැටිත්ත සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව ද වාර්තා වේ.

පාප්තුමා ප්‍රතිකාර ලබන්නේ, රෝමයේ ජෙමෙලි රෝහලේය. වෛද්‍යවරුන් පවසන්නේ පාප්තුමාට තව ටික දිනක් රෝහලේ සිටීමට සිදුවනු ඇති බවය. ඉවත් කළ එම පිළිකා ගැටිත්තේ ස්වභාවය අනුව, අදාළ ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් සූදානමින් සිටින බව ද පැවැසෙයි.