IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?

බටහිර ආසියාතික රටකදී අද (11) සුවිශේෂී නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව තිබිණ.මෙම නඩු විභාගයෙන් හෙළිවන්නට නියමිත තොරතුරු ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයක් ඇතිකරනු බව නම් නිසැකය.

නඩු විභාගය පැවැත්වෙන්නේ එරට බැංකුවක තැන්පත් කර ඇති ඩොලර් කෝටි 50 කට (රුපියල් කෝටි 7000 කට) ආසන්න මුදල් ප්‍රමාණයක් හා ඈදී ඇති සිද්ධීන් සම්බන්ධයෙන්ය.මෙම ගිණුමේ හිමිකරු ලෙස සදහන්වන්නේ මෙරට හිටපු අති සුවිශේෂී පුද්ගලයෙකුගේ තරුණ පුත්‍රයාය.මොහු අද දිනයේ දේශපාලඥයෙක් ලෙස කටයුතුද කරන්නෙකි.දැනට අනාවරණයව තිබෙන ආකාරයට මෙම ගිණුමේ ඩොලර් කෝටි 100 ක් පමණ (රුපියල් කෝටි 14000 ක්) තිබී ඇති අතර ඉන් හරි අඩක් පමණ නැගෙනහිරදිග යුරෝපා රටකට යැවීමට මෙම අති සුවිශේෂී පුද්ගලයා කටයුතු කර තිබේ.මේ සඳහා ඔහුට උපකාරීවී ඇති බවට වාර්තා වන්නේ ඔහුගේ ළඟම ඥාතියෙකි.

‘මේ වැඩේ හරිගියේ නැතිනම් අපට ගන්න තවත් ක්‍රියාමාර්ග තියෙනවා‘ යැයි නිලලත් ආරංචි මාර්ගයක් සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වීය.නඩු විභාගය පැවැත්වෙන රට පාරිබෝගිකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දැඩි මූල්‍ය නීති සම්බන්ධයෙන් ප්‍රකට රටකි.නමුත් පැහැදිලි සාක්ෂි,විශේෂයෙන් බැංකුවක තැන්පත් කර ඇත්තේ අයථා ක්‍රම වලින් උපයා ඇති මුදල් බවට පැහැදිලි වන සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකිනම්,වහාම ක්‍රියාත්මක වීමටද ඔවුන් සූදානම්ය.ශ්‍රීලංකාව වෙනුවෙන් මෙකී සාක්ෂි ඉදිරිපත් කිරීමට නීතිඥවරු පිරිසක් සූදානමින් සිටින්නෝය.

මෙම නඩුව පළමුවරට කැඳැවුනේ පසුගිය බ්‍රහස්පතින්දාය.ප්‍රධාන විනිසුරුතැන එහිදී රටේ නීතිපතිවරයාද කැඳවා තොරතුරු විමසීය.අවසන නැවත වරක් නඩුව කැඳවීමට ඔහු නියෝග කළේ ඊයේ දිනටය.ඉස්ලාමික රටක් වන එරට මෙම නඩුව දිගින් දිගටම විභාගයට ගැනුනහොත් එය වංචාවට හා දූෂණයට එරෙහිව වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලේ මහත් ජයග්‍රහණයක් වනු ඇත.ඊට අමරතව පසුගිය රජයේ සුළුතරයක් රටේ ධනය ඔවුන්ට වුවමනා පරිදි භාවිතයට ගෙන ඇති බව පැහැදිලිව පෙන්වා දීමටද රජයට හැකිවනු ඇත.නඩුවේ ශ්‍රීලංකා පාර්ශවය නියෝජනය කරනි නීතිඥ පිරිසට අවශ්‍ය සියලු තොරතුරු ලබාදී තිබෙන බවද සඳහන්ය.ගිණුම අක්‍රිය කිරීමට දැනට ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ප්‍රමාණවත් බව රජයේ විශ්වාසයයි.රජයේ නිලධරයෝ සිටින්නේ ගිණුමෙන් සිදුව ඇති තවත් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමේ අපේක්ෂාවෙන්ය.

‘අපි මේ දක්වා කරලා තියෙන දේවල් වලින් අනාවරණය කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ බොහොම පොඩි දේවල් ටිකක්.හිතාගන්නවත් බැරි තරමක් දේවල් තියෙන්නේ හැංගිලා.පසුගිය රජයේ නමින් පෙනී ඉදිමින් නිරපරාදෙයේ මහජන මුදල් නාස්ති කරපු පුද්ගලයින් ගැන තොරතුරු අපි අතේ තියෙනවා.පරීක්ෂණ කටයුතු සිදුවෙනවා කියනවා ඇරෙන්න වැඩි දෙයක් කියන්න දැන් හැකියාවක් නැහැ‘ මෙම නඩු විභාගය ගැන තොරතුරු දන්නා එක්තරා ආරංචි මාර්ගයක් සන්ඩේ ටයිම්ස් හා පැවසීය.

ඇමරිකාවේ සම්පූර්ණ සහය

සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිව තිබෙන ආකාරයට මෙම බැකු ගිණුම පිළිඹදව තොරතුරු ලබාදී ඇත්තේ මේ අති සුවිශේෂී පුද්ගලයාගේ ළඟම ඥාතියෙකි.මෙම පුද්ගලයාට එරෙහිවද වංචා හා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ගිණුම පිළිඹදව තවත් තොරතුරු ලබාදී ඇති බවට සඳහන් වන්නේ ඇමරිකා බුද්ධි බියුරෝව (එෆ්.බී.අයි) සහ එරට නීති කටයුතු පිළිඹද දෙපාර්තමන්තුවයි.බටහිර ආසියාතික රටවල මුදල් ගනුදෙනු,ඉතාම සූක්ෂමව විමර්ෂණය කිරීමේ යෙදී සිටින බව සඳහන් මෙම ආයතනයන් මාර්ගයෙන් වැදගත් තොරතුරු ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රීලංකා රජයට හැකිව ඇතැයි පැවසේ.

මීට පෙර අවස්ථාවකදීද දූෂිත ගනුදෙනුවක් පිළිඹද තොරතුරු ශ්‍රීලංකා රජයට ලබාදීමට ඇමරිකා නීති කටයුතු පිළිඹඳ දෙපාර්තමෙන්තුව කටයුතු කළේය.ගනුදෙනුව පදනම්වී තිබූයේ අංක 2148,වයෝමින්ගේ ඇවිනියු,වොෂින්ග්ටන් හි පිහිටා තිබූ නව ශ්‍රීලංකා තානාපති කාර්යාලය හා වයිට්හේවන් වීදියේ අංක 3025 යන ස්ථානයේ තිබෙන ගොඩනැගිල්ලකි.තානාපති කාර්යාලය වයිට්හේවන් වීදියේ පිහිටි ගොඩනැගිල්ලට ගෙනයාමට සැළසුම් කර තිබී ඇත.එක්තරා ප්‍රබල ශ්‍රීලංකා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙම ගනුදෙනුවෙන් සැළකිය යුතු වාසියක් තමන් කෙරේ සළසාගෙන තිබෙන බව ඇමරිකා නීති කටයුතු පිළිඹද දෙපාර්තමෙන්තුව හෙළි කළේය.වයිට්හෝල් වීදියේ ගොඩනැගිල්ලේ වටිනාකම ඩොලර් ලක්ෂ 600 (රුපියල් ලක්ෂ 8421) ඉක්මවන්නකි.මිලදී ගැනීමෙන්ද නොනැවතී එහි තිබූ නිදන කාමර 8 ක් කාර්යාල කාමර බවට පත්කිරීමට තවත් ඩොලර් ලක්ෂ 16 (රුපියල් ලක්ෂ 225 ක් පමණ)  ක මුදලක් වැය කර තිබේ.ඇමරිකා ඉතිහාසයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙවන් මුදල් ප්‍රමාණයක අයථා මුදල් ගනුදෙනුවක නිරතවී ඇති පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.හෙළිදරව්වෙන් පසු අදාළ රාජ්‍ය තාන්ත්‍රිකයා මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ තානාපති කාර්යාලයේ සේවය කළ ගණකාධිකාරීවරයාටය.ගණකාධිකාරිවරයා හැරෙන තැපෑලෙන් තමන්ට නැගුනු චෝදනා එම රාජ්‍ය තාන්ත්‍රිකයාටම එල්ල කළේය.පසුගිය මැයි මාසයේ ශ්‍රීලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය රජයේ ප්‍රබලයින් සතු ඇමරිකාවේ තිබෙන දේපළ සම්බන්ධයෙන් තොරතුරු සියල්ලක්ම ශ්‍රීලංකා රජයට ලබාදීමට ඇමරිකා රජය කටයුතු කරනු ඇති බව කීය.ඔහුගේ සංචාරයට පසු නොයෙක් අවස්ථාවන්හිදී ඇමරිකා රාජ්‍ය නිලධරයෝ මෙරටට පැමිණ පරීක්ෂණ කටයුතු වලට සහයවූහ.පසුගියදා ඇමරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල හමුවේදී ඇමරිකාව ශ්‍රීලංකාවට ලබාදෙන සහය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන තම ස්තූතියද පුදකර සිටියේය.

ජනපතිවරයාගේ ඇමරිකා සංචාරයේදී ඇමරිකාව ඔහුගේ සහයට ඉදිරිපත්ව සිටින බව එරටදී සිදුවූ සිදුවීම් දෙකකිය් පැහැදිලි විය.පළමුවැන්න වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට පැමිණ සිටි රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකා ජනපති බැරක් ඔබාමා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අවස්ථාවේ ඔහුට දකුණු පසින්වූ දෙවැනි ආසනය ජනපති සිරිසේන වෙනුවෙන් වෙන්ව තිබීමයි.පළමු ආසනයේ සිටියේ යුක්රේන ජනපති පෙට්රෝ ප්‍රොශෙන්කෝය.රුසියාව,ප්‍රංශය,චීනය ආදී රටවල රාජ්‍ය නායකයයෝද මේ භෝජන සංග්‍රහයට සහභාගීව සිටියහ.දෙවැන්න වූයේ ලෝක ප්‍රජාව අතර සාමය ගොඩනැගීම සඳහා ඇමරිකාව දියත් කර ඇති විශේෂ වැඩසටහනේ සාමාජිකයින් අමතමින් කළ දේශනය අවසානයේ වේදිකාවෙන් බැස කෙළින්ම ජනපති සිරිසේන වෙත ආ ඔබාමා ඔහුට අතට අතදී ආචාර කිරීමයි.මෙය ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමරිකාව,ශ්‍රීලංකාවේ සහයට ඉදිරිපත්ව සිටින බව පෙන්වා දුන් ප්‍රබල අවස්ථාවක් විය.

මෙම වැඩසටහන ඇමරිකා රජයේ ආධාර මත එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව ක්‍රියාත්මක වන්නකි.එහි ප්‍රධාන අරමුණ වන්නේ විදෙස් රටවල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය වඩා විධිමත් හා ඵලදායී කිරීමය.සාමසාධක කටයුතු වලටද මෙම වැඩටහනින් ඉඩ වෙන්ව තිබේ.ශ්‍රීලංකාවද මෙහි සාමාජිකයෙකි.

ඇමරිකා ගැති,නමුත් ශ්‍රීලංකාව හා සමීපව කටයුතු නොකරන ඇතැම් රටවල් හා සමග පවා ඇමරිකාව - ශ්‍රීලංකාව අතර ඇතිව තිබෙන නව සම්බන්ධතාවයේ පිහිටෙන් කටයුතු කිරීමට හැකිව තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසන්නකි.

මෙය තවදුරටත් පැහැදිලි කර ගත හැකි සිදුවීමක් වන්නේ පසුගිය රජය සමයේ යුක්රේනයෙන් මිලදී ගත් මිග් 27 ප්‍රහාරක යානා සම්බන්ධ ගනුදෙනුව අරබයා මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය දියත් කර තිබෙන පරීක්ෂණ කටයුතු වල වත්මන් තත්ත්වයයි.මේ පිළිඹද සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි ශ්‍රීලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියාවේ යුක්රේන තානාපති ඔලෙක්සැන්ඩර් ෂිව්චෙන්කෝට ආරාධනා කළේ පසුගිය අප්‍රේල් මාසයේය.ශ්‍රීලංකාවේ විශේෂ දූත පිරිසකට යුක්රේනයේ සංචාරයක නිතරවීමට පවා අවස්ථාව ලබාදෙන බවද එරට බළධරයෝ කීහ.නමුත් කාලය ගතවත්ම පැහැදිලි වන්නට ගත්තේ ඒ සියල්ල වචන වලට පමණක් සීමාවී තිබෙන බවයි.අගමැතිවරයා හා සිදුකළ ඉන්දියා සංචාරය අතරතුරදී විදේශ අමාත්‍ය මංගල සමරවීරට එරට යුක්රේන තානාපති කාර්යාලයේ ‘දෙවැනියා‘ හා සංවාදයක නිරත වීමට අවස්ථාව ලැබී තිබෙන අතර එහිදී යුක්රේන සංචාරය සම්බන්ධයෙන් විමසූ විට ඒ පිළිඹදව යුක්රේන රජය තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි ඔහු පිළිතුරු දී ඇත.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධරයෙක්ට අනුව මෙම පරීක්ෂණ කටයුතු දැන් සිදුවන්නේ ඇමරිකා ආයතන කිහිපයක සහයෝගය ඇතිවය. මුදල් ගනුදෙනුවට හවුල් වී ඇති බව කියන කොළඹ පිහිටි බැංකුවක තතු අනාවරණය කරගැනීමට මේ වන විට හැකිව තිබෙන බව සඳහන්ය.

විදේශ දූතයින් ප්‍රශ්න කිරීම් වලට

ශ්‍රීලංකාවේ තත්ත්වය මෙසේ වෙද්දී මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ප්‍රධානී පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර මහතා ඇතුළු දූත පිරිසක් සිටියේ ලන්ඩනයේය.බරපතල ගණයේ දූෂණ,වංචා විමර්ෂණය කිරීමේ කාර්යාලයක් එනුවර ක්‍රියාත්මක අතර එය ක්‍රියාත්මක වන ආකාරය ඔවුහු අධ්‍යනය කරමින් සිටියහ.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මෙවන් ඒකකයක තත්ත්වයට පත්කිරීම රජයේ අපේක්ෂාවයි.මෙම ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුව දැනුම්වත් කිරීම හා අවශ්‍ය නීතිමය අවසරය ලබාගැනීම මෙම වසර අවසානයට පෙර සිදුවනු ඇත.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට අවශ්‍යව ඇත්තේ තානාපතිවරුන්,මහා කොමසාරිස්වරුන්ද ඉලක්ක කර වඩා පුළුල් පරාසයකින් වංචා හා දූෂණ කටයුතු සම්බන්ධ පරීක්ෂණ දියත් කිරීමටය.විශේෂයෙන් පසුගිය රජය සමයේ පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රිකයන් කෙරේ මෙම ඒකකයේ නිලධරයින්ගේ අවධානය යොමුව තිබේ.ජනපතිවරණ සමයේ මෙවන් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් දිවයිනට පැමිණ ඇති බවටත් ඔවුන්ගෙන් වැඩිදෙනා හිටපු ජනපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට දායකත්වය ලබාදී ඇති බවටත් තොරතුරු මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධරයින් සතුව ඇත.දිවයිනට පැමිණ තමන්ගේම නිවාස වල නවාතැන්ගෙන ඇත්තේද ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසක් බවටද මේ වන විට හෙළිව තිබේ.

මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධරයින්ගේ විශේෂ අවධානය යොමුව ඇත්තේ මෙකී රාජ්‍ය තාන්ත්‍රිකයින් ශ්‍රීලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් වලට මුදල් ලබාදී ඇත්තේ කවුරුන්ද යන්න සොයාබැලීමටයි.පෙර සඳහන් කළ පරිදි දිවයිනට පැමිණි පසු තමන්ගේම නිවෙස් වල නවාතැන් ගෙන ඇත්තේද මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ඉතා සුළු පිරිසකි.කොටසක් හෝටලවලද,තවත් කොටසත් අති සුඛෝපභෝගී හෝටලවලද නවාතැන් ගෙන තිබේ.වාර්තා වන පරිදි මින් එක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තමන්ට නවාතැන් ගැනීමට කොළඹ තරුපහේ හෝටලයක්ම අවැසියැයි අවධාරණය කර ඇත.මොවුන්ට වෙනම රථවාහන හා රියැදුරන් ලබාදීමද සිදුව තිබේ.මූල්‍ය අපරාධ ඒකකයේ නිලධරයින්ට අවශ්‍යව ඇත්තේ මෙයාකාරයෙන් කොපමණ මහජන මුදල් ප්‍රමාදයක් වැයව ඇත්ද යන්න සොයාගැනීමටයි.මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් හා විගණන කටයුතු පිළිඹද නිලධාරිනිය ලෙස සේවය කළ දැනට තායිලන්තයේ ශ්‍රීලංකා තානාපතිනිය වන ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.ශ්‍රීලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළේ කාගේ උපදෙස් පරිදිදැයි

ඇයගෙන් විමසීමටද මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධරයෝ අපේක්ෂා කරති.හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතාගෙන්ද මේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

සෙනෙවිරත්න මහත්මියගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත්තේ අනෙක් සියලු තානාපතිවරුන්ගෙන් හා මහ කොමසාරිස්වරුන්ගෙන් ප්‍රශ්න කර අවසානයේය.එළැඹෙන මස 3 වැනිදා ජනපතිවරයා තායිලන්තයේ සංචාරයක නිරතවීමට සූදානමින් සිටීම මෙයට හේතුවයි.තායිලන්ත සංචාරයෙන් පසු පැරිසියේ පැවැත්වෙන අන්තර්ජාතික මට්ටමේ හමුවකටත්,අනතුරුව මෝල්ටාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ හමුවටත් ජනපතිවරයා සහභාගීවීමට නියමිතය.පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතීධූරය හිමිද ඔහුටය.

අවන්ගාඩ් - තවත් ගැටලු

ගාලු වරායට ඇතුල්වීමට තැත් කළ අවස්ථාවේ නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වූ අවන්ගාඩ් සමාගම යටතේ සේවයේ යොදවා තිබුණු නෞකාවක් සම්බන්ධයෙන් පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී විවිධ අදහස් පළවිය.පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරු අවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් චෝදනා මුඛයෙන් අදහස් දැක්වූහ.නෞකාවේ අවි නොතිබූ බව මුලින් පැවසුනද පසුව කළ පරීක්ෂාවේදී  අවි රාශියක් සොයාගැනීමට හැකිව තිබෙන බවට තොරතුරු තමන් සතු බවද ඔවුහු කීහ.රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මණ්ඩලයේම සිටිනා ඇතැම් පුද්ගලයින් මෙම සමාගමට පාක්ෂිකව අදහස් පළකරන බව කීය.මෙනිසාවෙන්ම තමන්ට නිදහසේ අදහස් පළකිරීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇතැයි කී අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ සිදුවන ඇතැම් සාකච්ඡා වල තොරතුරු කිසිවෙකුට නොදැනීම කොළඹ අති සුපිරි පැලැන්තියේ ඇතැම් පුද්ගලයින්ගේ කණට යන බැව් දන්නේයැයි පැවසීය.

අවන්ගාඩ් අවි නැව පිළිඹද සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුවූයේ සිකුරාදා පැවති ජාතික ආරක්ෂක කවුන්සිල හමුවේදීය.එහිදී අදහස් දැක්වූ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වත්මන් තත්ත්වය සම්බන්ධව පූර්ණ විග්‍රහයක් සිදුකළේය.ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ දෙපළද මෙම හමුවට එක්ව සිටියහ.

 

වයිස් අද්මිරාල්වරයාගේ පැහැදිලි කිරීමට අනුව අවන්ගාඩ් නෞකාව සැප්තැම්බර් මස 28 වැනිදා දාතමින් යුතු ලිපියකින් තමන් ශ්‍රීලංකාවට පැමිණෙන බවට ආරක්ෂක අමාත්‍යංශයට දැනුම්ද තිබේ.නැවේ අවි කොපමණ පවතින්නේද යන්නත්,නැව ශ්‍රීලංකා රජය යටතේ ලියාපදිංචි කර ඇතැයි යන්නත් එම ලිපියේ සඳහන්ව තිබී ඇත.නමුත් කුමන හෝ කරුණක් නිසා හෝ මෙම ලිපිය ආරක්ෂක අමාත්‍යංශයේ අවධානයට ලක්ව නොමැත.වයිස් අද්මිරාල්වරයා පවසා සිටි ආකාරයට නාවික හමුදාව නැවට ගොඩවී කළ පරීක්ෂාවේදී ලියාපදිංචි නොකළ අවි පවා එහි තිබී සොයාගැනීමට හැකිව තිබේ.දැනට අවන්ගාඩ් නෞකාව තිබෙනුයේ නාවික හමුදා අත්අඩංගුවේය.තත්ත්වය තවත් ව්‍යාකූලව ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා සහ සිවිල් ආරක්ෂ කටයුතු පිළිඹද වගකිවයුතු නිලධරයා වන ඩී.එම්.එස්.බස්නායක මහතා ඔක්තෝබර් මස 6 වැනිදා දාතමින් යුතු ලිපියකින් නෞකාව මුදා හරින ලෙස නාවික හමුදාවට දැනුම්දී තිබීම හමුවේය.අවන්ගාඩ් සැප්තැම්බර් මස 28 වැනිදා එවූ ලිවුම හදිසියේ අවධානයට ලක්වීම නිසා ආරක්ෂක ලේකම්වරයා මෙසේ නාවික හමුදාව වෙත ලිපියක් එවන්නට ඇතැයි  සිතිය හැකිය.නමුත් ලියාපදිංචි නොකළ අවි නෞකාවේ තිබී හමුවීම නිසාවෙන් නාවික හමුදාව එම ඉල්ලීම ප්‍රකාරව කටයුතු කර නොමැත.දිසානායක මහතාට පෙර සිවිල් ආරක්ෂ කටයුතු පිළිඹද නිලධරයාගේ ධූරයේ කටයුතු කළේ දමයන්ති ජයරත්නය.ඇය මේ වන විට සිටින්නේ ස්ථාන මාරුවක් ලබාය.

නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාවේ අධීක්ෂණය යටතේම සිදුවිය යුතුයැයි ආරක්ෂක කවුන්සිල හමුවේදී අදහස් පළවිය.නමුත් ඉතාම ආචාරශීලීව එම යෝජනාව ප්‍රතික්ෂේප කළ වයිස් අද්මිරාල් විජේගුණරත්න අධිකරණ කටයුතු හා සම්බන්ධවීමට නාවික හමුදාවට අවසරයක් නොමැති බව පෙන්වා දුන්නේය.ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුවිය යුත්තේ පොලිසිය යටතේ බව ඔහු කීවේය.මේ අනුව නෞකාව නාවික හමුදා භාරයේ රදවා තැබෙනු ඇති අතර පොලිසිය ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

මෙය නාවික හමුදාවේ නිල මාධ්‍ය පුකාශක කොමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතාද සනාථ කළේය.

‘මේ නැව තාම නිදහස් කරලා නැහැ.නාවික හමුදාපතිවරයා නියෝග කරලා තියෙනවා සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකරන්න.පරීක්ෂණ වාර්තාව සකස් කළායින් පස්සේ නාවික හමුදාපතිවරයා ඒක ආරක්ෂක අමාත්‍යංශයට භාරදේවි.එතැනින් පස්සේ ඉදිරි කටයුතු සිදුවේවි‘. ඔහු සන්ඩේ ටයිම්ස් හා පැවසීය.

ඉදිරි සතියේ ජනපති සිරිසේන ප්‍රමුඛ අමාත්‍ය මඩුල්ලක් පසුගිය රජය සමයේ සිදුවූ මහා පරිමාන දූෂණ වංචා සිදුවීම් 10 ක් හඳුනාගැනීමට හා තොරතුරු අනාවරණය කරගැනීමට සූදානමින් සිටී.අවන්ගාඩ් හා ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන අධිකාරිය,මෙසේ ජනපතිවයාගේ හා එම අමාත්‍ය මඩුල්ලේ විමර්ෂණයට ලක්වීමට නියමිත ආයතනයන් දෙකකි.

අවන්ගාඩ් සිදුවීම කරළියට පැමිණියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදීය.

‘ජනපතිවරයා නියෝග කර තිබෙනවා සියලුම ආකාරයේ නීතිමය පියවරයන් ගන්නා ලෙසට.මේ කට්ටිය මුලින් කියලා තියෙන්නේ නැවේ අවි නැහැ කියලා.පස්සේ හොයලා බලද්දී මෙන්න අවි තියෙනවා.‘ අමාත්‍යවරයා කීය.

 

මෙවන් සිදුවීමක් වාර්තා වන්නේ ජනපතිවරණ හා මැතිවරණ සමයේදී වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම මැඩලන බවටත්,දූෂිතයින් නීතිය හමුවට ගෙනඑන බවටත් පොරොන්දු පිට පොරොන්දු දුන් වත්මන් රජය එම පොරොන්දු අමතක කර දමා ඇතැයි ප්‍රබල ජනමතයක් ගොඩනැගී තිබියදීය.දූෂිතයින්ට එරෙහිව පරීක්ෂණ කටයුතු දියත් කිරීම පැවරී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයටද ජනතාවගේ චෝදනා වලින් ගැලවී ගත නොහැකිව තිබේ.දේශපාලන වුවමනාකම් මත පරීක්ෂණ කටයුතු යට ගැසීමට කටයුතු කරමින් සිටින්නේය යන්න මෙම ආයතනයන්ට නැගී තිබෙන චෝදනාවයි.රජයේම සාමාජිකයින් අතරද වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩි පැහැදීමක් නොමැත.පොරොන්දු ඉටුකිරීම ප්‍රමාද හෙයින් දැන් තමන්ගේ ඡන්ද කොට්ඨාශවල ඡන්ද දායකයින්ට මුහුණදීගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන්නේයැයි ඔවුහු කියති.ඉහළ ගොස් ඇති ජීවන වියදම නිසාද ජනතාව හමුවේ ඔවුන් තවදුරටත් ප්‍රතික්ෂේපව ගොස් ඇත.

‘තත්ත්වය හොඳ නැහැ.අපිව දිගටම ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙමින් තියෙන්නේ.දැනට තියෙන්නේ අපේ ප්‍රතිවාදීන්ට වාසි තත්ත්වයක්.ඒ අය අපිට හොදට පහර දෙනවා.‘ නම සඳහන් කිරීමට අකමැති වූ එවන් එක් සාමාජිකයෙක් කීය.

ජනපතිවරයාට අන්තර්ජාතික තලය ජයගැනීමට හැකිව තිබෙන බව සැබෑය.නමුත් එම සාර්ථකත්වය ශ්‍රීලංකාවේ ජනතාවට දැනවීමට යාන්ත්‍රණයක් ඔහුට හෝ ඔහු සම්බන්ධ මාධ්‍ය කටයුතු වල යෙදෙන්නන්ට නොමැතිවීම කණගාටුදායකය.මේ දිනවල රටේ මාධ්‍යයන්ගේ ප්‍රචාරණය වන්නේ ජනපතිවරයාගේ  සහ රටේ ජයග්‍රහණ ගැන නොව දිවයින පුරා සිදුවන ළමා අපචාර,ලිංගික හිංසන,සොරකම් කිරීම්,කොල්ලකෑම් හා ඝාතනයන් ගැන තොරතුරුය.මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක් සිදුකරමින් සිටින එක්තරා සමාජ විද්‍යාඥයෙක් සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වීය.

‘මේ දවස්වල හැමදාම රෑට අපේ ජනතාවට බලන්න වෙලා තියෙන්නේ පිළිකුල් සහගත,බිහිසුණු,මිනිහෙක්ට තරම් නොවන සිදුවීම්.මාධ්‍යත් ඒවා රස කර කර ජනතාවට දෙනවා.නමුත් පසුගිය රජය සමයේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්.ඔවුන් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගන්න දේවල් කළා තමයි.නමුත් ඒ කාලයේ රූපවාහිනියේ වැඩි ඉඩක් වෙන්වෙලා තිබුණේ ඒ කාලයේ නායකත්වය යටතේ රට ඉදිරියට යන හැටි,සංවර්ධනය වෙන හැටි,අනාගතය සකස්වෙන හැටි, කොටින්ම කිව්වොත් ධනාත්මක දේවල් ජනතාවට පෙන්වන්න.‘

සේයා සදෙව්මි දැරියගේ සිදුවීම සම්බන්ධයෙන්ද හෙතෙම අදහස් පළකළේය.

‘පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එක එක වෙලාවට එක එක පුද්ගලයින්ට චෝදනා කරනවා.පස්සේ ඔහුම ඒ චෝදනා ඉවත් කරගන්නවා.ඒ කියන්නේ රටේ තියෙන තත්ත්වය තමයි ඉස්සෙල්ලාව සැකකරුවෙක් වැරදිකරුවෙක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.පස්සේ තමයි පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් මේක ඇත්තද නැත්තද කියලා හොයාගන්නේ.‘

මේ තත්ත්වයට පිළියමක් හඳුන්වාදීමට රජය තවමත් අපොහොසත්වී ඇති බව පෙන්වා දුන් ඔහු මෙය දිගින් දිගටම පැවතුනහොත් අතීතයේ මෙන් භීෂණකාරී සමයක් රටේ ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇතැයි අනතුරු ඇගවීය.

ජනපති නිල නිවසේ වියදම

පොරොන්දු කඩ කරන්නේ යැයි නැගෙන චෝදනා වලට අමතරව තම නිල නිවසේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් නැගුනු චෝදනා වලටද මුහුණදීමට ජනපති සිරිසේනට පසුගිය සතියේ සිදුවිය.පැජට් පාරේ පිහිටි ඔහුගේ වත්මන් නිල නිවස මේ වන විට පවතිනුයේ යාබද නිවාස දෙකක් එකට එක් කර විශාල කෙරෙමින්ය.ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 7800 කට අධිකය.මෙයින් රුපියල් ලක්ෂ 2000 කට අධික මුදලක් මේ වන වට නිවසේ නවීකරණ කටයුතු වලට වැයකර අවසන් බව පාර්ලිමෙන්තුවේදී පැවසිණ.

 

ජනපති නිල නිවස ලෙස වෙන්වී ඇති කොළඹ 05 පැජට් පාරේ පිහිටි සී 61 සහ සී 62  ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීම සදහා ගෙවුණු මැයි මාසයේ රුපියල් ලක්ෂ 963 කට අධික මුදලක් වෙන් කර තිබේ.අනතුරුව වෙනත් ඉදිකිරීම් කටයුතු මැයෙන් තවත් රුපියල් ලක්ෂ 842 ක මුදලක්ද එම මසදීම වෙන් කර ඇත.

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය තම නිල නිවස ලෙස ජනපති සිරිසේන තෝරාගත්තේ නම් වියදම මීට වඩා බොහෝ සෙයින් අවම කරගත හැකිව තිබිණ.එම ගොඩනැගිල්ල ජනපතිවරයාට සුදුසු පරිදි සකස් කර ගැනීමට වැඩි මුදලක් වැය කිරීමටද අවශ්‍ය නොවේ.නමුත් ජනපති නිල නිවසේ වියදම් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනපති කාර්යාලයට අනුව මේසා මුදලක් වැයව ඇත්තේ ජනපතිවරයාගේ කටයුතු වෙනුවෙන් සුදුසු නිවසක් සකස් කිරීමට නිවාස දෙකක් යා කිරීමට සිදුවීම නිසාවෙන්ය.කොටුවේ ජනාධිපති මන්දිරයේ පදිංචියට යෑම යනු තවත් මුදල් වැයවන්නක් බවත් එම නිවසේ ජල හා වෙනත් පහසුකම් වෙනුවෙන් වැයකළ යුතු මුදල මසකට රුපියල් ලක්ෂ 150 ක් ඉක්මන බවත් ජනපති කාර්යාලය පවසයි.මේ අතර රුපියල් ලක්ෂ 706 ක අතිරේක මුදලක්ද ජනපති ආරක්ෂක අංශයට බී.එම්.ඩබ්ලියු වර්ගයේ ලිමොසින් රථයක් සහ බී.එම්.ඩබ්ලියු 1200 වර්ගයේ යතුරුපැදි 12 ක් මිලයට ගැනීමට ලබාදී තිබේ.මේ මුදල ගැන අදහස් දක්වන ජනපති කාර්යාලයට අනුව මෙසේ සම්පූර්ණ කර ඇත්තේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුකළ ඇනවුමකි.නමුත් පසුගිය අගොස්තු මාසයේදී තවත් රුපියල් ලක්ෂ 520 ක මුදලක් ගෙවා රුපියල් ලක්ෂ 260 බැගින් වූ ඩමී,එසේත් නැතිනම් ජනපතිවරයා ගමන් කරන බවට ව්‍යාජ ලෙස ඇගවෙන මෝටර් රථ දෙකක් මිලයට ගැනීමටද කටයුතු කෙරී තිබේ.

ජනපතිවරණ සමයේ නිල නිවෙස් හා රාජපක්ෂ රජයේ සුඛවිහරණය ගැන ජනපති සිරිසේන පළකළේ මෙවන් අදහස්ය.

‘මම දන්නවා අරලිය ගහ මන්දිරයේ සීතල කාමර ඇතුලේ වෙන්නේ මොනවාද කියලා.රනිල් වික්‍රමසිංහ කාලයක් එතැන රටේ අගමැතිවරයා හැටියටත් හිටියා.ඒත් අද තියෙන්නේ එදා තත්ත්වය නෙවෙයි.හාත්පසින්ම වෙනස් අරලිය ගහ මන්දිරයක් තමයි අද තියෙන්නේ.පසුගිය අවුරුදු 5 -6 දී කෝටි ගාණක මුදලක් අරලියගහ මන්දිරයේ සංවර්ධන කටයුතු වලට වැයකරලා තිබෙනවා.ඒක දැන් මන්දිරයක් නෙවෙයි.මාළිගාවක්.‘

‘නුවර තියෙන ජනපති නිවස්නයත් ඒ වගේ.ලක්ෂ ගණන් වියදම් කරලා ගොඩනැගිලි හදන්න.ඒකත් මාළිගාවක් වගේ.නුවරඑළියේ තියෙන නිවස්නයත් එහෙමයි.ඇඹිලිපිටියේ තවත් එකක් තියෙනවා.රජෙක්ට ඉන්න වගේ හදලා තියෙන්නේ.මේවා හදන්න වැය කරලා තියෙන්නේ රටේ සල්ලි.ජනතාවගේ සල්ලි නේද මේවා?‘

මෙවන් නිවස්නයන් රාජ්‍ය තාන්ත්‍රිකමය කටයුතු වලට හැර තම පෞද්ගලික පරිහරණයට යොදානොගන්නා බවද ජනපති සිරිසේන අවධාරණය කර තිබෙන්නකි.

සත්‍ය ගවේෂණ හා සංහිදියා කොමිසම

ජනපතිවරයා හා අගමැතිවරයා හමුවේ මේ දිනවල ඇති අභියෝග දෙකකි.ඉන් එකක් වන්නේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවූ ශ්‍රීලංකාවේ සිදුව ඇති බව කියන යුධ අපරාධ පිළිඹද වාර්තාවයි.අනෙක වන්නේ රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමයි.

‘අපි වහාම කළ යුතු දේ තමයි අන්තර්ජාතික ප්‍රජාව හමුවේ අපි පොරොන්දුවූ දේවල් ක්‍රියාත්මක කරන එක.උපදේශන වැඩකටයුතු ආරම්භ කළ යුතුයි.මේ සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ,සිවිල් සමාජ ක්‍රියාධරයින්ගේ සහ යුද්ධයෙන් අවතැන්වූවන්ගේ සහය ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා‘ සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කීය.ඉදිරි වැඩකටයුතු ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි දළ සැළැස්මක් ඇතිව ඔවුන් හමුවට යෑමටත්,ඔවුන් ඉදිරිපත් කරන අදහස් යොදාගෙන ස්ථාවර සහ ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.මෙම කටයුතු එළැඹෙන වසරේ ජනවාරි මස වන විට අවසාන කිරීම රජයේ අපේක්ෂාව බවද ඔහු කීය.

දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන සත්‍ය ගවේෂණ හා සංහිදියාව පිළිඹද වන කොමිසමේ වැඩකටයුතු පිළිඹදව අධ්‍යනය කිරීමට විශේෂ නියෝජිත පිරිසක් එළැඹෙන සතියේදී එරට බලා යන බව අමාත්‍යවරයා පැවසීය.එවන් කොමිසමක් මෙරටද පිහිටුවීම රජයේ සැළැස්මයි.මෙය කොමිසම පිහිටවෙනු ඇත්තේ දිවයිනේ පිළිගත් ආගමික නායකයින් යටතේ ක්‍රියාත්මක වන විශේෂ සානුකම්පිත කොමිසමට සහ අතුරුදන්වූවන් සම්බන්ධව සොයාබැලීමට පිහිටුවීමට යන නිල කාර්යාලයට අමතරවය.මෙම කාර්යාලයට පත්කළ යුත්තේ කවුදැයි සම්බන්ධයෙන් රජය හා අන්තර්ජාතික රතු කුරුස සංගමය අධ්‍යනය කරමින් සිටී.නොවැම්බර් මස 20 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් පැවැත්වෙන පාර්ලිමෙන්තු සැසිවාරයකදී මෙම කාර්යාලය නිල වශයෙන් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡාවට ගැනෙනු ඇති  බව සමරවීර කීය.

යුධ අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට ක්‍රියාත්මක කිරීමට යන දේශීය යාන්ත්‍රණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වීය.එය දේශීය යාන්ත්‍රණයක් බවත්,පිළිගත් විදෙස් නීති විශාරදයින්ගේ සහයද ඇතිව ක්‍රියාත්මක වන්නක් බවත් ඔහු පැවසීය.මෙමගින් යාන්ත්‍රණයේ විශ්වසනීයත්වය තවත් තහවුරු වන බව ඔහුගේ අදහසයි.විදෙස් සාමාජිකයින්ගේ සහය ලබාගෙන මෙරට පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන පළමු අවස්ථාව මෙය නොවන බවද ඔහු කීය.එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරණායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණ කටයුතු විදෙස් විනිසුරුවරුන් පිරිසකගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරුණු ආකාරයත්,ප්‍රේමදාස පාලන සමයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය විමර්ෂණය කිරීමට ස්කොට්ලන්ඩ්යාඩ්හි රහස් පරීක්ෂකයින් කැඳවුනු ආකාරයත් ඔහු සිහිපත් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශ්‍රීලංකාවේ සිදුවී ඇතැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන වාර්තාව එළැඹෙන 21 හා 22 යන දෙදින පාර්ලිමෙන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.මේ අතර විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින් වත්මන් රජය මෙම වාර්තාව පිළිගැනීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.මහජන එක්සත් පෙරමුණ,කොමියුනිස්ට් පක්ෂය,ලංකා සමසමාජ පක්ෂය,ජාතික නිදහස් පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ,ශ්‍රීලංකා මහජන පක්ෂය,දේශ විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ සහ එම පක්ෂවල නායකයින් මේ වෙනුවෙන් එක්ව සිටී.

වාර්තාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් විශේෂ සමුළුවක් මෙම මස 19 වැනිදා කොළඹදී පැවැත්වෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතා කීය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙනස්කිරීම්

ජනපතිවරයා සහ අගමැතිවරයාගේ උපදේශනය යටතේ විදේශ කටයුතු අමාතශයේ තනතුරු වල වෙනසක් සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මංගල සමරවීර මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසීය.මෙම තනතුරු හොබවන ඇතැම් පුද්ගලයින් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ වැඩි කැමැත්තක් නොමැති බව සඳහන්ය.විශේෂ කොට ජීනිවාහි ශ්‍රීලංකා නිත්‍ය නියෝජිතවරයා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධරයින් කණ්ඩායමක් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත.රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සඳහා සක්‍රීයව දායකත්වය ලබාදිය හැකි රාජ්‍ය තාන්ත්‍රිකයින් විදේශ කටයුතු අමාත්‍යංශයේ තනතුරුවලට පත්කිරීම අගමැතිවරයාගේ අපේක්ෂාවයි.පසුගියදා ජපානයේ සිදුකළ නිල සංචාරයේදී ඔහුගේ මෙම අදහස තවත් තහවුරුවී ඇති බවට ලකුණු ඇත.සාර්ථකව නිමාව දුටු එම සංචාරයේදී රටට වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹීමට ඔහුට හැකිවිය.මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වත්මන් රජයේ පළමු අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ කරුණු දක්වනු ඇති බව සඳහන්ය.අයැවයේ ජනතාවට සහන ලබාදීම වෙනුවෙන්ද සැළකිය යුතු ඉඩක් වෙන්ව තිබෙන බව රජයේ ආරංචි මාර්ගයක් පැවසීය.

බටහිර ආසියා රටේ අගනුවර පැවැත්වෙන නඩු විභාගයේදී ශ්‍රීලංකාවට වාසි සහගත තීන්දුවක් ප්‍රකාශයට පත්වීම යනු වත්මන් රජයට සුභ ලකුණකි.එය ඔවුන් මැතිවරණ සමයේ දුන් පොරොන්දුවක් ඉටුකිරීමකි.නමුත් රටේ දැවෙන ගැටලු ඇතිවෙමින් තිබෙන බව රජය කිසිසේත්ම අමතක කළ යුතු නැත.විශේෂ කොට කඩවුණු පොරොන්දු,ප්‍රමාදවන දඩුවම්,ඉහළ යන අපරාධ හමුවේ ජනතාව අතරින් වියැකී යමින් තිබෙන විශ්වාසය නැවත දිනාගැනීමට රජය වහාම කටයුතු කළ යුතුව ඇත.

 

 

 



අදහස් (0)

ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?

නිශාන්ත Monday, 12 October 2015 06:46 PM

ඔන්න පේනවානේ ප්‍රභූ වැඩ? (නි)

:       0       0

ටිරෝන් Sunday, 11 October 2015 10:48 AM

හිතාගන්නත් බැරි දේවල් ලංකාදීපයට ස්තුතියි මහජන මුදල් මෙසේ කොල්ලකාළා මේගොල්ල කොහේ යන්නද බැලුවොත් මල්වට්ටියක් උස්සාගෙන (බ)

:       0       0

උදය Sunday, 11 October 2015 10:53 AM

මේ කියන්නේ ලොකු පුතා ගැන. දෙවෙනි පුතා ගැනත් ආරංචියක් ගියේ ඩුබායි වලින් සල්ලි කොටි ගානක් ට්‍රාන්ස්ෆෙර් කළා කියල වෙස්ට් ඒසියන් රටකට. මේ පවුලේ සල්ලි ටික ලංකාවට ගේනවා නම් අය වැය පරතරය නැති කර ගන්න පුළුවන්. ඒවා ඉතින් හීන තමා. ලොක්කෝ සෙට් වෙලා ඩීල් එකක් දැම්මම ඔක්කොම ඉවරයි (බ)

:       0       0

බණ්ඩා Sunday, 11 October 2015 11:06 AM

ජනතාවගෙන් හොරාකාපු දේවල් නැවත ජනතාවට ලබාදීම නව රජයේ වගකීමක් .....(බ)

:       0       0

පනික්කියගේ Sunday, 11 October 2015 11:15 AM

මොනප්-පිස්සුද මල්ලි! තව දවස් දෙක තුනකින් අපේ ගමරාල කියයි "සහෝදර සහෝදරියනි, ගිය දේ ගියා, අද ඉඳන් කාටවත් හෝල් සේල් ගහන්න මගේ පන තියෙනකන් එකෙකුටවත් ඉඩ දෙන්නේ නෑ!!" කියල. රට හුරලා මාටියා ගහපු පින්වත් පුත් රුවන තවත් ටික දවසක් පප්පගේ පරණ කින්ඩම් එකේ ජිල්බෝල ගහල "අපි ඒනං ගිහින් එන්නන්" කියල විසිල් එකකුත් ගහගෙන රූන් ගාල දිරාමාරු වෙයි. ගමරාලත් "අඩෝ, උගේ එකාට පුළුවන්නන් මගේ එකාට බැරි ඇයි" කියල ගහයි "දහන් ගැටයක්" (දහම් ගැටයක්?) අපේ ඉනේ ඉතුරු වෙලා තියෙන රෙද්දත් ගලවලා ඩුබායි බැංකුවේ වල දාන්ට. අනේ අම්මේ මෙහෙම රටකද අපිත් වසන්නේ? (බ)

:       0       0

රණවක Monday, 12 October 2015 02:32 AM

මේ සල්ලි වගේ තව සල්ලි කොච්චර නම් ඇද්ද? (නි)

:       0       0

නිර්මල Monday, 12 October 2015 02:33 AM

මේ ප්‍රභූ පුතුන් ගැන කතාකිරීමත් වෙලාව අපතේ හැරීමක් (නි)

:       0       0

සුසන්ත Monday, 12 October 2015 02:48 AM

මට නම් මේ කාවවත් විශ්වාස නැහැ. ඔක්කොම තමන්ගේ බඩ ගැන විතරයි හිතන්නේ (නි)

:       0       0

ප්‍රසන්න Monday, 12 October 2015 03:02 AM

පිවිතුරු යහපාල මහත්තයෝ මෙලිපිය හරිද කියන්න දන්නේ නෑ.. හැබැයි ඔබතුමාගේ ගණනය කිරීම් වැරදි බව දන්නවා... 1%-5% කොමිස් වලට වැඩකලා කියන්නේ මහවැලිය හදන කාලේ... මෙයාල ගත්තේ 50% - 200% වෙනකන් කොමිස්... සමහර ව්‍යාපෘති වල වටිනාකමට වඩා කොමිස් මුදල වැඩිලු.... (ස)

:       0       0

කළ්‍යාණි Monday, 12 October 2015 03:10 AM

හැබැයි අර මහ බැංකු වංචාව එහෙමත් අපිට තාම අමතකවෙලා නැහැ (නි)

:       0       0

ගම්ම Monday, 12 October 2015 03:43 AM

තව තවදුරටත් කතා කර කර ඉන්නේ නැතුව වහාම අවශ්‍ය දේ කර උවමනා කරන යට වහාම දඬුවම් දෙන්න. නිදොස් නම් මින් එහාට ඒගැන කතා කරන්න එපා. (ම)

:       0       0

අසාඩ් Monday, 12 October 2015 03:46 AM

දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න තමයි අපිට තියෙන්නේ. (ස)

:       0       0

චන්දා Sunday, 11 October 2015 11:58 AM

ලංකාවේ වර්තමාන ප්‍රජාව තම අක්මුල් සිඳ ගන්නා අයුරු සංවේගයෙන් බලා සිටිම්... (ර)

:       0       0

සොපි Monday, 12 October 2015 03:55 AM

කොහොම වෙතත් පසුගිය රජයේ පමණක් නොව කොයි කාගේත් වංචා හෙළිවනු දැක්ම ජනතා පැතුමයි .(ම)

:       0       0

දිලිප් Monday, 12 October 2015 04:26 AM

රට තුල මුල්‍ය විනයක් තිබුණේ නැත. පාර්ලිමේන්තුවට වාර්තා කළේද නැත. මේ සියල්ල මහජන මුදල්ය. රට වෙනුවෙන් ඉහළ පොලියට ගත ණය මුදල් වලට පොලිය ගෙවන්නේ අපිය. එම නිසා අප වෙනුවෙන් පත් කළ කවර හෝ නියෝජිතයකු විශ්වාසය පලුදු වෙන ආකාරයට කටයුතු කර ඇත්නම් නීතියට අනුව කටයුතු කළ යුතුය. මෙසේ වසා ගත් ගනුදෙනු සියල්ල එක රැයකින් එළි කිරීම පහසු නොවේ. ඒ සදහා කාලයක් ගතව ඇති බව මෙම ලිපියෙන්ම තහවරු වේ. (ම)

:       0       0

මහානාම - කඳාන Monday, 12 October 2015 04:35 AM

අපේ මුදල් ඇමතිතුමා කීවා , ලංකාවේ තියෙන පරණ වාහන දකුණු අප්‍රිකාවට යවනවා කියලා , මෙතුමා දකුණ අප්‍රිකාව ගැන හෝ ජපානේ ගැන දන්නේ නැද්ද , නැතිනම් මේ රටේ ජනතාව ද මෙහෙම රවටන්නේ ඇයි . දැන් පරණ වාහන හිමි කරුවෝ බලා ගෙන ඉන්නවා පරණ වාහනේ රට යවලා අලුත් එකක් ගන්න . මුදල් ඇමතිතුමා මේ ප්‍රකශ කරන්නේ ජපානේ ගිහින් ඇවිත් . එතුමා දැක්කේ නැද්ද දන්නේ නැහැ , ජන්ක් යාඩ් වල ( පාවිච්චි කළ වාහන , අනතුරු වුන වාහන කඩන තැන ) , ට වාහන දාන්න අයිතිකාරයෝ ජපන් යෙන් 20,000 ක් දෙන්න ඕනේ , ජපානේ හිටපු හා ඉන්න මහත්වරු දන්නවා . ඒ වගේම දකුණු අප්‍රිකාවේ ඉන්න කට්ටිය දන්නවා එහෙ තත්වය . අපේ මුදල් ඇමති තුමා මේ රටේ ජනතාව පමණක් නොවේ බුද්දිමත් පාලකයන්වත් රවටන්න යනවා . ඇයි මේ ප්‍රබුද්ධ පාඨකයෝ මේ තත්වය තේරුම් නොගන්නේ ? බලන්න සතොසට වෙන දේ , අපේ ගේ ළග සතොසක් තියෙනවා වැහෙන්න නියමිතයි ඉතා ළගදි. ලබන මාසේ බජට් එකෙන් තව ගොඩාක් බදු එකතු කරාවි , මේ සියලුම බදු අය කරන්නේ අපේ රටේ ජනතාව ගෙන් මහා බැංකු පාඩුව වහ ගන්න , අවම කරන්න , මේ තත්වය තේරුම් ගන්න පක්ෂ බේදයකින් තොරව , කතා කරන්න මහින්ද, මයිත්‍රී , රනිල් ගැන නොවේ , රට ගැන , තම ජාතිය , තම ආගම ගැන හිතන්න , රට බෙර ගත් රණවිරුවෝ හිරේ දාද්දි , සිංහල හෝ දෙමල තස්තවාදීන්ව මරා දාපු රණ විරුවන් ව හිරේ දාද්දි , අපි කොහොමද සැනසිල්ලේ ඉන්නේ , සැනසිල්ලේ කෑමකන්නේ , අපිට රටක් ලබා දුන්න වීර රණවිරුවෝ හිර ගෙවල් වල නොකා නොබී දුක් විදිනකොට . හිතන්න හදවතින් ම (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 04:52 AM

රටේ සිදු වුනු සියලුම ගසා කෑම සොයන්න ජෙනරල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ විස්වාසනීය නීති මඩුල්ලක් පත් කරන්න.මේ අම්මගේ අප්පාගේ බුදලයෙන් හරි හම්බු කරපු මුදල් නෙමෙයි.මේ රටේම අසරණ ජනතාවට බදු පිට බදු ගහල ගසා කාපු මුදල් සහ 70% කොමිස් ගහල රටම ණය කරලා ගත්තු ණය මුදල්.ඒ නිසා දෙන්න පුළුවන් උපරිම දඩුවම් දෙන්න.(බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 04:52 AM

තවමත් බත් කන හරක්ට සත්‍ය තේරුම් ගන්න ,කරුණාකරලා මේ ලිපිය උඩින්ම තියන්න. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 04:53 AM

අපිනම් මුල ඉදලම කිව්වා ඒකාධිපති ගසා කෑම ගැන.මේ හැටියට ටියුනිසියාවේ ඒකාධිපතියාගේ ගසා කෑම මොකක්ද?(බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 04:56 AM

සමස්තයක් වසයෙන් රුපියල් කෝටි 14,000 ක් කියන්නේ ගසා කාල පිට රටවල දාල තිබෙන මුළු දනස්කන්දයෙන් 0.01 ක් පමණයි.ශිෂෙල්ස් රටේ තිබෙන ධනස්කන්දය ගැනත් සොයන්න. (බ)

:       0       0

ලයනල් මාරසිංහ Monday, 12 October 2015 04:56 AM

දයාබර පාඨකයිනි, අපට මෑත ඉතිහාසයේ මෙවැනි පුවත් සම්බන්ධයෙන් පසුව ලැබුණු අත්දැකීම් නිසා, මේවා තහවුරු වෙනතෙක් විශ්වාශ කරන්න ඉක්මන් වෙන්න එපා. (බ)

:       0       0

සේන Monday, 12 October 2015 04:58 AM

හිතාගන්න අමාරුයි බලමු මොකද වෙන්නේ කියලා (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 04:59 AM

මේ රුපියල් කෝටි 14000 රාජ සන්තක කරලා රටේ මිනිසුන්ට තව අවරුදු ගානක් යනකම් උපරිම සහන දෙන්න.ඒ දෙන ගමන් කියන්න මේ දෙන්නේ අහවල්ලු විසින් ගසා කාපු ධනස්කන්දය වියදම් කරමින් කියල. (බ)

:       0       0

ශෂී Monday, 12 October 2015 04:58 AM

ඔය සල්ලි ටික ආපහු ගෙනාවනම් බඩුමිල අඩුකරන්න පුළුවනි (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 05:01 AM

රජවරු,බෝසොවරු,කුමාරවරු,රජවරුන්ගේ සහෝදරවරු . කොහොම කෑමක් කාල තිබෙනවද?දැන්වත් එල්ලුම් ගහ ගෙනත් ලෝකෙටම ආදර්ශයක් දෙන්න. (බ)

:       0       0

කමනි Monday, 12 October 2015 05:03 AM

කොයි බේබිගෙ සල්ලිද මේවා? (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 05:04 AM

"රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාව සතු ධනය විදෙස් ගිණුම් වල සඟවා ඇති බව සත්‍යයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ කණ්ඩායමක්ද, ඇමරිකානු පරීක්ෂණ කන්ඩායමක්ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කණ්ඩායමක් ද විශේෂ පරීක්ෂන මෙහෙයවමින් සිටිති. ඔවුන් රටවල් 6 ක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන නමුත් ඒ කිසිදු රටකනඩුවක් විභාගයට ගැණෙන්නේ නැත".අන්තර්ජාලයෙන් (බ)

:       0       0

ගිහාන් Monday, 12 October 2015 05:05 AM

තමන්ගේ හත් මුතු පරම්පරාවකට නොතිබුන ප්‍රභූ කමක් දේශපාලනයේ පිහිටෙන් හදා ගන්න ගිහින් වරිගේ නහ ගත්තු කට්ටියත් අපේ රටේ ඉන්නවා. (බ)

:       0       0

දුමින්ද Monday, 12 October 2015 05:13 AM

තවම එක ඩොලරයක්වත් සොයා ගත්තද්ද.....කාලයක් යුද ජයග්‍රහණ විකුණුව....දැන් දූෂණ වංචා කතා විකුනනවා .....රට එක තැන (බ)

:       0       0

අනුර Sunday, 11 October 2015 12:56 PM

මේව අහනකොට මුන් ගැන මාර වෛරයක් ඇතිවෙනව. අපි පහුගිය ඡන්ද දෙකේම මුන්ට ඡන්දෙ දුන්න. ලොක්කා කුරුණෑගලට ආ නිසා එයාටම දුන්න. ජනාධිපතිවරනයෙන් පස්සෙ අපේ ගමේ අය මැදමුලනට බස් එකකින් ගියා. අපේ අම්ම දුක් වුනා යන්න බැරි වුනා කියල. ගිය එවුන් අහිංසකයො. මේව දන්නෙ නෑ. ඇත්තටම මැදමුලනට ගිය එවුන්ට නම් මඩුවලිගෙන් ගහලත් මදි (බ)

:       0       0

මොහාන් Sunday, 11 October 2015 01:02 PM

කොළඹ ඉන්ඩ හිටින්ඩ ගෙයක් දොරක්වත් නැතී අසරණයින් ට කරන චෝදනා උඩ ඉන්න දෙයියෝම බලාගන්ඩ ඕනේ (බ)

:       0       0

ඉන්දික Monday, 12 October 2015 05:16 AM

වැරදි කරලා තියෙනවනම් දඬුවම් කරන්න. කිය කියා ඉන්නේ නැතුව. හැබැයි මේවානම් අර ජිනිවා වාර්තාව මිනිස්සුන්න්ට අමතක කරන්න ගෙනාපු එකක්. (ම)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 11 October 2015 01:11 PM

කිරිකැටි පුතා මෙහෙම ගැහුවනම් තාත්තාගෙයි බාප්පලාගෙයි ගැහිලි ගැන හිතා ගන්න පුළුවන්. අනේ අහිංසකයෝ ටික. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 05:20 AM

"මල් වට්ටියට" "පිරිත් නුලට"පින් සිද්ද වෙන්න තමයි මේ තරම් ධනස්කන්දයක් දුක් මහන්සියෙන් එක් රැස් කරන්න පුළුවන් වුනේ. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 11 October 2015 01:34 PM

ඉතින් කාටද කියන්නේ? (බ)

:       0       0

පුරගේ Monday, 12 October 2015 05:20 AM

මේවා දාන්නේ ලොකුවටම වාසි ගන්න මහා බැංකු කොල්ලය වහගන්න වගේම හෙට අනිද්දට අය වැය එනවනේ (බ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 11 October 2015 01:34 PM

එම් එස් ප්‍රනාන්දුගේ බයිලා වගේ....කයිවාරු අවශ්‍ය නැහැ ..කරුණු කාරනා ඔප්පු කරලා වරදකරුවන්නම් දඩුවම් දීල මුදල් ලබාගන්න කටයුතු කරන්න.මොකද රටවත් බැංකුවවත් හෙළි කරන්න බැරි පුද්ගලයා හෙළි කරන්න බැරි වුනත්.කොටි 14000ක් හම්බ කරන්න ඒක 5%කොමිස් එක හැටියට ගත්තත් ලංකාවේ කොටි 280000 ක ව්‍යාපෘති බාරව හිටපු කෙනෙක් වෙන්න එපයි..තව කට්ටියටත් මේ කොමිස් එක බෙදිලා ගියානම් මේ ව්‍යාපෘති වල වටිනාකම් මෙයිට වඩා ගොඩක් වැඩි වෙන්න එපයි..කොහෙන්ද අප්පා මේ සල්ලි.යහපාලනෙන් ගෙනල්ල දිපුවද? .ගිය ආණ්ඩුවේ ඉදල අපිට යහපාලනෙන් පෙන්නන ටෙලියේ තව පිටපතක් කට්ටිය දිග අරිනවා..අනුර මහත්තය වගේ අය අපි ඕන තරම් දැකල තියෙනවා..රන්ජන් ගොයියා කොටදෙනියාවේ කොණ්ඩය ගැන කිව්වා වගේ තමයි..හරියට ඇහෙන් දැක්ක වගේ..අපි නොදන්නා ලයිව්..(බ)

:       0       0

සේන Monday, 12 October 2015 05:23 AM

අඩුතරමින් රටේ නමවත් තිබුනානම් විශ්වාස කළ හැකිව තිබුනා (බ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 12 October 2015 05:22 AM

කවුද ප්‍රසන්න මහත්තයෝ ඒ වගේ කොමිස් එකක් දීල කොන්ත්‍රාත් ගන්නේ.පිස්සෙක් වෙන්න ඕන..මේ ගණන් ගැන සලකල බලන්න..එක්කෝ ප්‍රොජෙක්ට් කරපු එව්වෝ නිකම් අතේ වියදමින් ප්‍රොජෙක්ට් කරලා..නැත්නම් ප්‍රොජෙක්ට් නොකර ප්‍රබු පුතාල ඒවා ට යන මුදල් පිට රට බැංකුවේ දාල....ව්‍යාපෘති වලට ගත් ණය විස්තර තියෙනවා..ව්‍යාපෘති සදහා වැයවුණු මුදල තියෙනවා.ව්‍යාපෘතිය කෙරිලත් තියෙනවා.ඒ වගේම අස්තුමේන්තු මුදල් වල ලොකු වෙනසක් නැහැ කියල මේ රජය කරන්න යන ව්‍යාපෘති වලට යන වියදම් සංසන්දනය කළාමත් පැහැදිල්යි.එහෙමනම් කෝටි14000 ක් එක්කෙනෙක්ගේ ගිණුමකට යන්න කොහෙද මේ මුදල් තිබුනේ..පුතා ගාව මෙච්චරයිලු ..තාත්ත ගාව බිලියන දාසයක්ලු.මල්ලි පාලනය කල අමාත්‍යංශවල හැටියට එයාගේ එහෙමනම් එයිටත් වැඩි වෙන්න ඕන..අම්මප මන් කල්පනා කළේ යුද්දෙත් ඉවර කරලා උතුරත් දියුණු කරලා වරායකුත් හදල ගුවන් තොටුපලකුත් හදල අධිවේගී මාර්ග පද්ධතියකුත් හදල රටපුරා මාර්ගත් කාපට් කරවල ක්‍රීඩාංගන හදවල මේ තරම් ගානක් කොමිස් ගහන්න මේ රට පහු ගිය කාලේ කොච්චර මුදල් එන්න ඇතිද කියල..ඇලඩින්ගේ පුදුම පහන තියෙන්න ඇති එහෙනම් මහින්ද මහත්තය ගාව සල්ලි මවන්න..අපි කියන්නේ නැහැ කොමිස් නොගැහුව කියල..මොකා හිටියත් කොමිස් ගහනවා. මං හිටියත් ගහනවා...පුදුමේ මේ කියන ගණන්..(බ)

:       0       0

ඉන්දු Tuesday, 13 October 2015 04:05 AM

මෙහෙම අයටත් ඉර හඳ පායනවනේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 05:23 AM

පට්ට කැලේ ගහපු මත්තලට පණට ආදරේ කරන මෙලෝ සතෙක් යන්නේ නැහැ.ඒ නිසා ගුවන් සමාගම් වලට සහන දීල අඩු මුදලට ගුවන් පතක් දීල අපිව දන් ගෙඩියට දක්කනවා.මේ කියන මමත් ජීවිතය පරදුවට තියල මත්තල කියන පට්ට කැලෑවට ගිය/දැකපු කෙනෙක්.අපි දන් ගෙඩියට දක්කන ගමන් කොමිස් ගහපු එවුන් කටුනායකින් යනවා. (බ)

:       0       0

රත්නායක Tuesday, 13 October 2015 04:07 AM

අම්මෝ! බලන්න එපැයි සමහරු උඩ පැනගෙන දාන අදහස් (නි)

:       0       0

යසපාල පෙරේරා Sunday, 11 October 2015 02:07 PM

මහින්ද රාජපක්ෂ පැරදුන දවසෙ ඉඳල අද වෙන කං, අලුත් ආණ්ඩුවෙනුයි පත්තර වලිනුයි ඇඟ හිරි වැටෙන දූෂණ ගැන නොකඩවා කතා කළා නේද? ආංඩුවෙ සල්ලි වලින් කැලැන්ඩර ගැහුවය සතොසෙ සල්ලි වාගයක් දීල නැත කියන කතා ඇර අද වෙනකං මොනමහා පරිමාණ දූෂණ කීයක් ඔප්පු කරනව තියල චෝදනා ඉදිරිපත් කරලවත් තියනවද? එෆ් බී අයි එක ජෝන් කෙරී ඔක්කොම පස්සෙන් එලවනලු. කට කතා ඇර මොනවද අද වෙනකං හොයා ගෙන තියෙන්නෙ? මට නං මේව කියවෙන කොට හරියට ඈනුං යනව. (බ)

:       0       0

චන්දන Sunday, 11 October 2015 02:09 PM

කෝ මේ පිවිතුරු යහපාල. පිවිතුරු යහපාල මේවට කමෙන්ට් දන්නේ නැහැ නේ (බ)

:       0       0

මුතුබණ්ඩා Sunday, 11 October 2015 02:22 PM

දෙයියනේ කෝටි 14000 ක්? වැහි නැති හෙන වැදියන්. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 05:36 AM

පිවිතුරු යහපාල."අපි කියන්නේ නැහැ කොමිස් නොගැහුව කියල..මොකා හිටියත් කොමිස් ගහනවා. මං හිටියත් ගහනවා...පුදුමේ මේ කියන ගණන්."...... කොමිස් ගහනවා කියල 70% ගසා කන එවුන් ඉන්නවද? (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 05:35 AM

පිවිතුරු යහපාල."අපි කියන්නේ නැහැ කොමිස් නොගැහුව කියල..මොකා හිටියත් කොමිස් ගහනවා. මං හිටියත් ගහනවා...පුදුමේ මේ කියන ගණන්"...... නාමල් කුලුනෙන් විතරක් ගසා කාපු මුදල රුපියල් ලක්ෂ 66500ක්. (බ)

:       0       0

නිහාල් Sunday, 11 October 2015 02:40 PM

කලින් ප්‍රබන්ධ මීට හපන් (බ)

:       0       0

ගලබඩ Sunday, 11 October 2015 02:40 PM

යාපනයේ රත්තරන් කොළඹට ගෙන ආ හෙලිකොප්ටරයේ නියමුවා පසු කලෙක මිය ගියා නේද? මෙම සිදුවීම සහ මෙම මුදල් සම්භාරය අතර සම්බන්ධයක් තිබේද? නොදන්නා නිසයි අහන්නේ?(බ)

:       0       0

ලසන්ත අලහකෝන් Sunday, 11 October 2015 03:06 PM

අපිත් බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා..බලමු යහපාලනේ වැඩත් (බ)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 11 October 2015 03:15 PM

මේ යන සුක්ෂම රටාවනම් අපිට හොදට පැහැදිලියි ..එකට දීග කෑවට බොක්ක වෙනස්..රනිල් මහත්තයට හොර ලකුණුත් දාන ගමන් මෛත්‍රී මහත්තයගේ ලකුණු ඇගට නොදැනි කපනවා..අපි ලම්බෝ ගිනි දැක්ක ..රත්තරන් අශ්වයෝ දැක්ක..කොටින්ගෙන් ආල්ලපු රත්තරන් ටොන් ගානක් පිටරට බැංකුවලට දානවා දැක්ක..ඩුබායි රටේ හෝටල් දැක්ක.මළමිනී නැගිට්ටවනවා දැක්ක.. ජනවාරි අටෙන් පස්සේ නොදැක්කේ යහපාලනේ විතරයි..ජාත්‍යන්තරය හමුවේ කළ නින්දිත පාවාදීම වහන්න, විරෝධය යටපත් කරන්න හෙට අනිද්දා පෙන්නන්න හදන ටෙලියට ඔන්න පිටපත ලියල.. දැන් අපි ඔක්කොම අමතක කරලා ඒක බලමු.. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 01:46 PM

වැඩි දෙනෙකුගේ දැන ගැනීම පිණිස මේ ලිපිය ඉදිරියට ගෙන්න. තවත් රටේ හොරුන්ට ඉඩ තියන්න එපා. රට වෙනුවෙන් ඒ යුතුකම කරන්න. (ර)

:       0       0

පාර්තිපන් Sunday, 11 October 2015 03:21 PM

කව්ද මේ ලිපිය ලිව්වේ .ඔබ කව්රු උනට් රටේ ජාතියෙ පිනට උපන් කෙනෙක්. ඔබට හිසනමා ආචාරකරමි.ලංකාදීප කොන්දක් ඇති මිනිසුන්ගෙන් ගොඩනැගුනු ඔබට අපේ ප්‍රණාමය.දේශපාලනේ මුන් ඔක්කොම හොරු.රටේ වකුගඩු ලෙඩ ,ගොවියෝ හිටෝපුදේ විකුණගන්න බරුව ණය ගෙවා ගන්න බැරුව වහබොනවා,මිනිස්සු බඩගින්නේ කන්න නැතුව දරුවොත් එක්ක ගගට පනිනවා,දරුපැටව් ඉගෙන ගන්න පොත්ගන්න හොරකමේ යනවා, ලෙඩෙකුට ජනාධිපති අරමුදලින් සල්ලි දෙනවා කිව්වට ලෙඩා මැරුණත් සල්ලි නෑ,රණවිරුවෝ වීරයෝ ජාතියෙ දෙවිවරු කිව්වට හරියට ගෙයක් නෑ, ඔව්න්ගේ දරුවන්ට හොද පාසලක් නැ,ගෙදර බුදුන් අම්මා අරාබිකරේ මරලදනවා,,මොනවද රටේ නායකයෝ කියන උන් රටට කරන්නේ රටයි අපිටයි කෙලොල උන් හැදෙනවා,අපේ උනුත් ඡන්දයක් අාපුගමන් බත්පැකට් එකට අරක්කු ටිකට රට පාවදෙනවා අපි නායකයෝ පත්කළේ අපිව රකින්න උන් කරන්නේ උන්ගේ පවුල් රැක ගන්න එක, හෙන ගහනවා (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 01:48 PM

ඔය පටන් ගත්තා විතරයි. (ර)

:       0       0

කමල් Sunday, 11 October 2015 04:13 PM

මහජතාවගේ මුදල් හොරා කාපු එවුන් බල්ලෝ, කපුටෝ වෙන්නේ ඊළඟ ආත්මෙයෙනේ.මුන්ට වැහි නැති හෙන ගහන්න ඕන මේ කරලා තියන අපරාධවලට. (බ)

:       0       0

සංක Monday, 12 October 2015 05:53 AM

පිවිතුරු යහපලටනම් ගෙවනවා වගේ හොඳට! කඩේ යනවට, (ස)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 01:54 PM

අපි මැදපෙරදිග දුක් විදලා ලංකාවට අරගෙන එන පෙට්ටිය බඩු ටික එකක් නෑර පැදුරට ඇදල පුළුවන් තරම් බලන්නේ බදු ගහන්නයි. ඒ නිසයි කියන්නේ හොරුන්ට දැඩි දඩුවම් දෙන්න කියලා. (ර)

:       0       0

රූපවතී Monday, 12 October 2015 05:59 AM

මේ රටේ මිනිසුන්ව දුප්පතුන් කලේ රටේ ලොකු ලොකු මිනිසුන් කියල දැන් අපි ඔබ හැමට තේරෙනවද ..? ඔව් එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද ශ්‍රී ලාංකිකයෝ වශයෙන් සැවොම එකට එක්වී ඡන්දය වර්ජනය කිරීමයි කළයුතුව ඇත්තේ ...? (ස)

:       0       0

ඉන්දික Monday, 12 October 2015 06:02 AM

තිලක්-ඩුබායි, ඔය නාමල් කුලුන කොහෙද තියෙන්නේ? අනිත් එක ඔච්චර ගසා කෑවනම්, ඔය හදල තියෙන්නේ තිලක්-ඩුබායිගේ සල්ලි වලින්ද? (ස)

:       0       0

පෙරේරා Sunday, 11 October 2015 05:32 PM

හරි හරි ඉතින්, තවම කිසිකෙනෙකුට කිසිම දඬුවමක් ලැබිලා තියෙනවද? (නි)

:       0       0

ලංකා Sunday, 11 October 2015 05:38 PM

මේ සල්ලි වලින් දුප්පත් අපිට සහනයක් දෙන්න පුලුවන් නම්.... (නි)

:       0       0

ප්‍රසන්න Monday, 12 October 2015 06:03 AM

පිවිතුරු යහපාල මහත්තයෝ හිතාගන්න බැරි කොමිස් තමයි අරන් තියෙන්නේ. ව්‍යාපෘති වාර්තාව අරගෙන ගියාම එයාලගේ ගණන් කියල ඒක එක්ක ආපහු වාර්තාව ඉල්ලනවලු.... සිද්දියට මුහුණ දීපු කෙනෙක් තමයි කියන්නේ.... " මං හිටියත් ගහනවා" කියන කතාවෙන්ම තේරෙනවා ඔයා ගැන.... මොකද මෙචර මහන්සි වෙන්නේ එයාලට සුදු හුණු ගාන්න කියල.... රටට සල්ලි අවා නෙවයි රට ණය කළා... ඔයා කියන ඔක්කොම හැදුව ලෝකෙට ණය වෙලා.... මේ නගන චෝදනා වැරදිනම් එයාල ඔප්පු කරන්න ඕනේ එයාල නිවැරදි බව... කිසිම ටෙන්ඩර් නැතුව හිතුමතේට අරයට මෙයට දෙන්න මේවා එයාල ගෙදරින් ගෙනාපු සල්ලිද? ඔය ටීවී චැනල් එකෙත් ආයෝජන ආපු විදිය ගැලපෙන්නේ නෑ කියන්නේ. (ස)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 11 October 2015 05:42 PM

හිටපු පරම්පරාවට රුපියල් කෝටි 14000 ක් කියන්නේ "කජු ඇට කොස් ඇට" වගේ.තවමත් ඉන්නවනේ සම-හරක් මෙහෙම අයට අනේ අපොයි කියන්න. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 11 October 2015 05:46 PM

අසරණ මිනිස්සු දරුවන්ට කන්න අඳින්න දෙන්න නැතුව ගඟට මුහුදට පැනලා මැරෙන රටේ මේතරම් ධනස්කන්දයක් මෙයාලා තියාගෙන හිටියනේ හැබෑට? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 11 October 2015 05:50 PM

සෞදි රජු රුපියල් කෝටි 66,500 ට වත්කම් කියමින් ලෝකයේ ධන කුවේරයන් අතර 7 වෙනියා වුණේ ලෝකෙටම තෙල් සපයලයි.අපේ අය ඊටත් එහාට ගිහින් රුපියල් කෝටි ලක්ෂ 120ක් හම්බකළේ කොහොමද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 11 October 2015 05:51 PM

අයුතුලෙස ගසාකෑ ධනස්කන්දය රාජසන්තක කරලා රටේ අසරණ මිනිසුන්ට සහන දෙන්න.පින්සිද්ද වෙනවා. (නි)

:       0       0

නිශේන් Sunday, 11 October 2015 05:52 PM

මගේ හිතට නම් පුදුම තරහක් එන්නේ (නි)

:       0       0

බුද්ධි Sunday, 11 October 2015 05:55 PM

බලනකොට අපි දුප්පත් රටක් නෙමෙයිනේ! (නි)

:       0       0

කවින්ද Sunday, 11 October 2015 05:55 PM

දැන්වත් මිනිසුන්ගේ ඇස් ඇරේවා! (නි)

:       0       0

චන්න බුවනක Sunday, 11 October 2015 05:55 PM

මේවා ගැන අහලා, දැකලාවත් මේ ක්‍රමය වෙනස් කරන්න හිතමු. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 11 October 2015 05:56 PM

රටේ මිනිස්සු මොනතරම් දුක් විඳිනවද දරුවන්ට කන්න අඳින්න දෙන්න.එහෙම කරලත් දරුවන්ගේ බඩ කට පිරෙන්න කන්න දෙන්න බැහැ.බදු පිට බදු ගහලා රටේම කන බොන දේවල් වල මිල ඉහළ නැග්ගුවා.රටේම දරුවන් බඩගින්නේ තියලා එයාලා කෝටි ප්‍රකෝටි ගණනින් ගසාකාලා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 11 October 2015 06:00 PM

තවත් අවුරුදු 2 කක රට පාලනය කළා නම් අපිට ඉතිරි වෙන්නේ සෝමාලියාවක්,ඉතියෝපියාවක්, බංගලිදේශයක්,ස්වාසිලන්තයක්, මියන්මාරයක්,කෙන්යාවක්,උගන්ඩාවක් කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.රටේ වාසනාවට,උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට රට නිදහස් කරගන්න ලැබුනා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 11 October 2015 06:03 PM

කොහොම හම්බකෙරිල්ලක් හම්බකරලා තියෙනවද? (නි)

:       0       0

දේව් Sunday, 11 October 2015 06:10 PM

අනේ මන්දා මේ සමහරු තාමත් කඩේ යන්නේ මේවා දැක දැකනේ! (නි)

:       0       0

නයන Sunday, 11 October 2015 06:30 PM

කිසිම ආකාරයකින් කරුණාකරලා මේ මහා මුදල් වංචා ගනුදෙනුව සම්බන්ධව පටන්ගත් පරීක්ෂණ මෙතනින් අවසන් නොකරන්න.යහපාලනයේ වැදගත්කමේ ශ්‍රේෂ්ඨත්වය මුළු ලෝකෙටම දැනෙන්න සත්‍ය සොයා රටේ මුදල් ගිණුම නැවත තරකර රටේ දෙයටම යොමුකර හොඳ දෙයක් කරන්න.අපි විමසිල්ලෙන්! මෛත්‍රී ආණ්ඩුවේ උසස් වැඩක් බලාපොරොත්තුවෙන් සිටිමු (නි)

:       0       0

ඉරංග Sunday, 11 October 2015 06:31 PM

බලනකොට අපේ රටේනේ ලොකුම සල්ලිකාරයෝ ඉඳලා තියෙන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 11 October 2015 06:33 PM

ලංකාවට එල්ලුම් ගහ ගෙනෙනවා නම් මුලින්ම මේ කියන හොරු එල්ලලා ලෝකෙටම ආදර්ශයක් දෙන්න. (නි)

:       0       0

නන්දන Sunday, 11 October 2015 06:36 PM

යහපාලනයේ විශිෂ්ටත්වය දකින්න නම් අදින් නතර නොකර සත්‍ය ලෙසම සොයාබලා රජයට මුදල් නැවත බාරකරගන්න දිගටම කටුතු කරන්න. අපේ ආශිර්වාදය! (නි)

:       0       0

අජිත් Sunday, 11 October 2015 06:34 PM

පාර්තීපන් කියපුවා සියල්ලම ඇත්ත.කටට මසුරන් දාන්න ඕනෑ (නි)

:       0       0

රණවක Sunday, 11 October 2015 06:36 PM

මොවුන්ට ප්‍රභූන් කියන්න නොවෙයි තියෙන්නේ.කවුරු වුණත් ලංකාවේ කෙනෙක් කොහොමද මෙතරම් මුදලක් බැංකුවේ දැම්මේ? (නි)

:       0       0

තිලාන් Sunday, 11 October 2015 06:40 PM

අනේ!! දුප්පත් අපිට කාගේ පිහිටද? (නි)

:       0       0

තිළිණ Sunday, 11 October 2015 06:52 PM

ඔන්න ඉතින් පේනවා නේද? අපි මොනතරම් නම් රැවටිලාද ඉන්න ඇත්තේ? (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 11 October 2015 06:58 PM

ප්‍රභූ කියන වචනයේ යථාර්ථය අපේ මිනිසුන්ට තවමත් තේරුම් ගන්න බැරිද? (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 11 October 2015 07:11 PM

ජනවාරි මාසයේ සිට මේ වනතෙක් හරියට සාක්ෂි ඇතුව කිසිම වංචාවක් ඔප්පු කිරීමට නොහැකිවිම මත මේවා කෙසේ විශ්වාස කරන්නද? (නි)

:       0       0

ප්‍රදීප් Monday, 12 October 2015 03:37 PM

අහිංසක අපේ සල්ලි හොරකම් කරන අයට ආත්මයක් නෑ මේ අය හොරකම් කරන්නේ අපි දුක්විඳල අපේ දරුවන්ට කන්න දෙන්න තියෙන සල්ලි අයි මේවා දෙවියන්ට නොපෙනෙන්නේ (අ)

:       0       0

සලාම් Sunday, 11 October 2015 08:19 PM

කාගේ සල්ලිද මේවා. මේවා කලින් හෙළිකරද්දී ඒ මිනිසුන්ට පිස්සු කියලා බැන්නා (නි)

:       0       0

උපසේන Sunday, 11 October 2015 09:07 PM

ඕවා ඔක්කොම විස‍ඳෙයි මහත්තයෝ. (නි)

:       0       0

වසන්ත Monday, 12 October 2015 06:59 AM

මේ ළමයා හරි දක්ෂයෙක්, මුදල් ඉතුරු කරන්න වගේම ඒවා සුරකින්නත් දන්නවා. දේශප්‍රේමී පවුලක අනාගත ජනාදිපතිවරයෙක්. අපේ රටට අනගත පරපුරට ,දැන් ජීවත්වන අපට දෙව් පිහිටයි. (ස)

:       0       0

කුමාර Sunday, 11 October 2015 09:32 PM

මට නම් පිළිගන්නත් අමාරුයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 12 October 2015 07:10 AM

ප්‍රසන්න මහත්තයෝ..චෝදනා ඔප්පු කරවන්න ඕන චෝදනා නගන අය..චුදිතය නිවරදිකම පෙන්නන්න ඕන ඊට පස්සේ.කවුරුත් කලින් වැට පැනල කකුල් කඩා ගන්නේ නැහැ. කරන්නේ චෝදනා ඔප්පු කරනවා නෙමෙයිනේ..මාධ්‍ය සංදර්ශන පාන එකනේ..කවුරුන් හෝ වැරදිනම් ඒ කියන්නේ මහින්ද මහත්තය වුනත් සුද්ද කරන්න අපිට අවශ්‍ය නැහැ. අපි කියන්නේ ඔප්පු කරලා නිතිය මගින් දඩුවම් කරන්න..නැතුව අර කොටදෙනියාවේ වගේ මිනිස්සුන්ගේ ආත්මය විනාශ කරන්නේ නැතුව..වගකිවයුතු මාධ්‍යයක යුතුකම ඒක..එක අතකට දැන් කොහෙද එහෙම ජන මාධ්‍ය. තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් අමු අමුවේ කඩේ යන ජඩ මාධ්‍ය මිසක. (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 11 October 2015 09:41 PM

ඇත්තෝ කති බොති!! (නි)

:       0       0

ගුණපාල Sunday, 11 October 2015 09:46 PM

හරිම විහිළු තමයි! මුලින්ම ඔප්පුකරලා පෙන්නන්න තියන්නේ. ඔක්කොම වැඩිවෙන ජීවන වියදම වහගන්න කියන කතා. හයිබ්‍රිඩ් කාර් අඩුවට දෙනවා කිවුවා. දුන්නද? (නි)

:       0       0

අවන්ත Sunday, 11 October 2015 10:40 PM

ලංකාදීපය නැත්නම් අපිට මේවා මෙහෙමවත් දැනගන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

විපුල Sunday, 11 October 2015 10:38 PM

කවුද මේ? (නි)

:       0       0

අතුල Sunday, 11 October 2015 10:40 PM

යුද්ධයට මුවාවී සමහරු ගහපු ගැහිල්ල කොහොමද? මෝඩ සංවේදී මිනිසුන් ඉන්න රටවල දේශපාලකයින්ට රජ මඟුල්. (නි)

:       0       0

වින්සන්ට් Sunday, 11 October 2015 10:46 PM

කමල්, වැඩිය තරහ ගන්න එපා. පිවිතුරු යහපාල මහතා කියනදේත් යම් ඇත්තක් තිබෙන නිසා අපි හදිසි නොවී පව් පුරවානොගෙන අපේ වාරය එනකම් බලාසිටිමු. (නි)

:       0       0

කිත්සිරි Sunday, 11 October 2015 11:33 PM

හොඳ හෙළිදරවුවක් (නි)

:       0       0

ඉනෝකා Monday, 12 October 2015 07:46 AM

මේ කියන ඒවා සියල්ල සත්‍යක් නම් වහාම කළයුතු වන්නේ නිසි විමර්ශනය කර නැවත, මේසා විශාල මුදල් සම්හාරය රටට ගෙන්වාගෙන රට සංවර්ධනය කිරීමයි. ජනතාවගේ දුප්පත්කම නැතිකර බඩු මිල පහත හෙලීමයි. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 12 October 2015 08:03 AM

ඔය කියන රුපියල් කෝටි 14000 කියන්නේ රාජපක්ෂවරු ගසා කාපු මුළු ධනස්කන්දයෙන් 0.001 වගේ ප්‍රමාණයක්.රටේ දරුවන්ට කන්න අදින්න දෙන්න නැතිව අම්මල දරුවන් සමග ගගට මුහුදට පැනල මැරෙන රටේ,පාසල් යන දරුවන් උදේට කහට කෝප්පයක් බිල සෙරෙප්පු දෙකක් නැතිව හරි හමන් වැසිකිලියක් නැතිව තිබෙන පාසල් යන රටේ මෙහෙම කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාපු මුන්ට මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ. (බ)

:       0       0

ඩයස් Monday, 12 October 2015 08:06 AM

පිවිතුරු යහපාල මහ්තයා පිළිගන්නවාද ආයෝජජනය කළ මුදල් අපතේ යාමක් සිදු වී ඇති බව?. ඔය ගොඩකරන දුපත් මෙන්ම ගුවන් තොටුපොල සහ හම්බන්තොට වරායට කොහෙන් හෝ ආයෝජකයින් ගෙන්විය යුතුයි. නැති නම් රට කොට උඩ යනවා. ගහපුවා බල්ලන්ට කන්ඩ දුන්න කියා හිතමු. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 08:06 AM

මාධ්‍යය මගින් හෙළිකරන සමහර පුවත් පසුව සංසෝධනය කිරීමකට හෝ නිවැරදි නොවන බවට හෙළිකරන්න පිළිවන්. මේ පුවත ශ්‍රී ලංකා සමාජය මොහොතකට ගල් පිළිමයක් සේ නිසලව තබන්නට සමත්. කෙසේවුවත් දේශපාලනයේ ජරාජිර්නවූ පසුබිමක මෙම පුවත සහ එයට අදාළ ජනතාවගේ මුදල් මංකොල්ලය ගැන තොරතුරු දැනගැනීම අපේ අයිතියක් . එයට සම්බන්ධ දේශපාලකයින්ගේ බලපුළුවන්කාරකම ගැන අප උනන්දුවිය යුතු නැහැ. නියම තොරතුරු හෙළිවන තෙක් යමෙක් අපහසු තත්වයකට පත්කළ යුතුත් නැහැ, රටේ ජාතික ධනය විදේශීය බැංකුවල තැන්පත් කළා නම් අනිවාර්යෙන්ම දඩුවම් කළ යුතුය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 0 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 114 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 242 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 273 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 606 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 457 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14599 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 192 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site