(සමන් පාලිත නානායක්කාර)

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ උඩුවර හයේ කණුව අසල ප්‍රදේශයට අද 11 රාත්‍රියේ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය .

මීට පෙර නාය ගොස් මාර්ගය කැඩී ගොස් තිබීම හේතුවෙන් සංඥා ආලෝක ලාම්පු සවි කර තිබූ ස්ථානයේ මෙම තත්ත්වය පවතින බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය . විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවෙල ඇටම්පිටිය හරහා හාලිඇල බදුල්ල දක්වා මාර්ග භාවිතයට ගන්නා ලෙස බණ්ඩාරවෙලි ඇල්ල බදුල්ල පොලිසි රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර පවතින ධාරානිපාත වැසි සමඟ බදුලු ඔයේ ජල මට්ටම ඉහළ යාම සමග සුමන්තිස්සගම ඇතුළු පහත් බිම් වල සුළු ගංවතුර අවදානමක් මතුවී ඇති බැවින් පහත්බිම් ආශ්‍රිත ජනතාව විමසිලිමත්ව අවධානයෙන් ඉවත්ව යාමට සූදානමින් සිටින ලෙසද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

මේ වන විට නායයාමේ පලමු මට්ටම අනතුරු ඇඟවීම ඇල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කර තිබේ.