(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජන මාධ්‍යවේදීන්ට වැඩ කරන්න උපරිම දේශපාලන නිදහස ලබා දෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාවේ යහපත් ජනමාධ්‍ය කර්මාන්තයක් සහ සමබර තොරතුරු සමාජයක් යන ප්‍රතිපත්තිමය දැක්ම මත අප වැඩ කරගෙන යනවා.මාධ්‍ය සම්බන්ධයෙන් අපගේ ප්‍රතිපත්තිමය දැක්ම වන්නේ නිදහස් මාධ්‍ය පරිසරය සහ දේශපාලන නිදහස, මාධ්‍ය සහ නියාමනය,තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමයි.

එමෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන ගෝලීය වර්ධනය සමඟ ඩිජිටල්කරණය සඳහා අප යන ගමන වේගවත් කිරීමට අප කටයුතු කරනවා. එමෙන්ම වෘත්තීය ආචාර ධර්ම සහ මාධ්‍ය කර්මාන්තයක් ලෙස ජනමාධ්‍යවේදීන් සහ එම ක්ෂේත්‍රයේ වැඩ කරන අයගේ රැකියා සුරක්ෂිත කිරීම ,කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් අපි වැඩ කරනවා.එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙනවිත් ඒවා ස්වාධීනව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ අභියෝගය තිබෙනවා.

අපේ සමස්ත කාර්යභාරය පෙළ ගැසුනේ මේ කාරණා සමඟයි.

ජනමාධ්‍ය ශිෂ්‍යත්ව දීමේ වැඩසටහන අප මේ වසරේ දී පුළුල් කර ආචාර්ය උපාධි සඳහාත් ශිෂ්‍යත්ව ලබා දුන්නා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරිය කීවාය.