නත්තල හමාරයේ එළඹි දුරුත්ත සීතල වුවද මේ වසරේ ජනේරුව නම් උණුසුමෙන් අඩුවක් නොවීය. ඒ නිසාය. ජනාධිපතිවරණයේ තිබූ කුහුල වූයේ කවුරුන් ජය ලබයිද යන්න පිළිබඳවය.
ඡන්ද විමසීම හමාරවීමත් සමගම ජනතාව ලහිලහියේ නිවෙස් තුළම ගාල් වූයේ ප‍්‍රතිඵලය දැන ගැනීමටය. එදින මධ්‍යම රාත‍්‍රිය එළඹෙත්ම ඡන්ද ප‍්‍රතිඵල මන්දගාමී ස්වරූපයෙන් නිකුත් වෙමින් තිබිණි.
මැතිවරණයට ඉදිරිපත් වූ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ මූලස්ථානවලදී ඡන්ද ප‍්‍රතිඵල නිරීක්ෂණය කරමින් සිටි පිරිස් ද වූහ. ඒ අරලියගහ මන්දරයේ සහ සිරිකොතේය.
ජනවාරි 9 දින අරුණෝදයට හෝරා කීපයක් ඉතිරීවී තිබියදී විද්‍යුත් මාධ්‍ය හරහා හඹා ගිය අනපේක්‍ෂිත ප‍්‍රවෘත්තිය වූයේ රාජපක්‍ෂ ජනාධිපතිවරයා තම පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය. මෙය ජනතාවට අදහාගත නොහැකි වූයේ ඒ වනවිටත් සමස්ත ප‍්‍රතිඵලයෙන් බහුතරයක්වත් ප‍්‍රකාශයට පත් නොවී තිබීම නිසාය.
ඊළඟට නිකුත් වූ ප‍්‍රවෘත්තිය වූයේ මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් හිමිදිරියේ පිටව ගිය බවය.
හිටපු ජනාධිපතිවරයාගේ මේ අභිනිෂ්ක‍්‍රමණයන් සමගම නූතන මහා වංශයේ ලියැවී තිබූ අතිශය බල සම්පන්න චරිතයක් ඉතිහාසයට එක් කරමින් බොඳවී ගියේය.
දශක 3ක් තිස්සේ මෙරට පැවැති සාහසික ජන ඝාතක යුද්ධයත් අවසන් කිරීමේ ‘වීරයා’යයි විරුදාවලි ලැබූ මහින්ද රාජපක්‍ෂ රාජධානිය පෙරලා දැමිය හැකි ජගතෙකු තවත් මිහිපිට නැතැයි සිතූ බොහෝ දෙනෙකුට මේ ප‍්‍රවෘත්තිය විශ්වාස කළ නොහැකි විය. එහෙත් යුද ජයග‍්‍රහණයෙන් අඩුම වශයෙන් වසර 5 පිරෙන්ටත් කලින් මහින්දට කේතුමති රාජධානිය අහිමි වූයේ ඔහුගේම අවාසනාවටය.
මහින්දට මේ පාඩම ඉගැන්වූයේ මෙරට ඡන්දදායකයින්ගෙන් බහුතරයක්ය. ලොව භයානකම සහ කිසිදු පරාජයට පත්කළ නොහැකි ත‍්‍රස්තවාදීන් පරාජය කර තමන්ව පරාජය කිරීමට කිසිවෙකුත් නැතැයි යන අභිමානයක් ඇති කළ මහින්දව මේ රටේ ජනතාව විසින් පරාජයට පත් කළේ ඇයි?
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ මුල් අවදිය 2005x2010 වකවානුව ඔහුගේ ධුර කාලයේ ස්වර්ණමය යුගය විය. ඊට හේතුව වූයේ 30 වසරක යුද්ධය නිමා කිරීමේ මානුෂික මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමත් 2009 මැයි මස 19 දින එල්ටීටීඊ ත‍්‍රස්තවාදය සහමුලින් පරාජයට පත් කිරීමත් නිසාය. යුද්ධය වෙනුවෙන් අධික මිලක් ගෙවන්නට ජනතාවට සිදුවුවත් ජනතාව ඒවා විඳ දරා ගත්තේ ඒ අධික මිල සතුටින් ගෙවා දමමිනි.
යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 න් පසු ආරම්භ කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය විවේචනාත්මක විය. මේ කාලය තුළ යුද්ධයට අධික මිලක් ගෙවූ සාමාන්‍ය ජනතාවට සාමය වෙනුවෙනුත් අධික මිලක් ගෙවීමට සිදු වීම විඳ දරා ගැනීමට නොහැකි තරමටම අපහසු විය.
මේ අපහසුතාවයන් පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන විපක්‍ෂය රටේ ජනතාව දැනුවත්කළේ නාස්තිය දූෂණය හොර කම් වංචාවලින් රාජ්‍ය පාලනය යුක්ත වීම නිසා සිදුවන බවය.
කොළඹ නගරය ක‍්‍රමවත් ලෙස අලංකාර ලෙසත් සංවර්ධනය කිරීම ජනතාවගේ සතුට ඇති කළ නමුත් ඒවා සඳහා වැය වූ අධිත මිල ජනතාවගේ කර පිටින් ගොස් ඇති බව විපක්‍ෂය මනා ලෙස ජයග‍්‍රහණයට අනුගත කළේය.
මේ සියලූ කාර්යයන් ඉටු කළේ රාජපක්‍ෂ පවුලේ ප‍්‍රධාන පුරුක් 3ක් ඒකාබද්ධ වීම නිසා එය රටට මුලින් හඳුන්වා දුන්නේ රාජපක්‍ෂ සහෝදර සමාගම ලෙසිනි. පසුව එය රාජපක්‍ෂ රෙජිමය ලෙස හඳුන්වා දුන්නේය.
මේ රාජපක්‍ෂ රෙජිමය විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ආරක්‍ෂා කිරීම සඳහා මනා සැලැස්මකින් යුත් ආරක්‍ෂිත දැලක් නිර්මාණය වී තිබුණි. මේ ආරක්‍ෂිත දැල බැසිල් රාජපක්‍ෂ ගෝඨාභය රාජපක්‍ෂ මහින්ද රාජපක්ෂ යන තුන් බෑයන්ගෙන් සමන්විත විය.
මේ ආරක්‍ෂිත දැලෙන් මෙපිටට එන්නට කිසිවකුටවත් නුපුළුවන් වූ අතර මේ ආරක්‍ෂිත දැල ඉතා සූක්‍ෂම ලෙස කපා දමා ඉන් රිංගා ගියේ මහින්ද රාජපක්ෂ මහතා සභාපතිධුරය දැරු ශ්‍රීලනිප මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතාය. මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මේ ආරක්‍ෂිත දැල කපාගෙන රිංගා එළියට පැමිණීම පිටුපස සිටියේ බණ්ඩාරනායකවරුන්ය.
බණ්ඩාරනායක වරුන් නියෝජනය කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරලා දැමීමට ඉදිරිපත් වූයේ ඇයි.
මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියන විදියට 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු බණ්ඩාරනායකවරුන් අමතක කළ බවය. ශ්‍රීලනිප රැස්වීම් ආරම්භයේදී එහි නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සිහිකිරීම සඳහා පවත්වන නිශ්ශබ්දතාවය රකින අවස්ථාවේදී බණ්ඩාරනායක යන නම වෙනුවට පක්‍ෂයේ නිර්මාතෘවරුන් සිහිකිරීම යනුවෙන් වෙනස් කිරීම සහ පක්‍ෂයේ සභාපති ධුරය දැරු හිටපු ජනාධිපතිනිය එම තනතුරින් ඉවත් කිරීම සඳහා පක්‍ෂයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ ඇය ඉවත් කිරීමේ දිනය ඇයගේ උපන්දිනය දවසටම යොදා ගැනීම යන කරුණු මෛත‍්‍රිපාල සිරිසේන මහතා චෝදනාත්මකව පැවැසීය.
ජනාධිපතිවරණය පැවැත් වූ දිනය දෛවෝපගත බවත් එදින දිවංගත අගමැති බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනය යෙදී ඇති නිසා එදිනට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ මුළු රටතුලම බණ්ඩාරනායක දර්ශනය යළි උපදින බව ප‍්‍රකාශ කිරීමෙන්ම බණ්ඩාරනායකවරුන්ව රාජපක්‍ෂ පාලනය විසින් අමතක කර තිබූ ආකාරය මැනවින් පැහැදිලිය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පසුගිය දිනක රූපවාහිනි සංවාදයකදී කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව සුභ පැතීම සඳහා දුරකතනය ඔස්සේ කතා කළ අවස්ථාවේදී විනාඩි 19 ක් ඇයට කුණුහරුපයෙන් බැන වැදුණු බවය. තමන්ට හිරිහැර කළ බවත් ඇය කීවාය.
මේ ප‍්‍රකාශයන් එලෙස පැවැසෙද්දී මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු ජනාධිපතිනියට ලබා දුන් ආරක්‍ෂක භට සංඛ්‍යාව අඩුකළ බවක්ද වාර්තා වී තිබුණි. එමෙන්ම පසුගිය අයවැයෙන් හිටපු ජනාධිපතිනිය සඳහා වෙන්කරනු ලබන ප‍්‍රතිපාදනවල අඩු වීමක්ද දක්නට ලැබුණි.
චන්ද්‍රිකා මහින්ද හබය මහින්ද රජයේ ඇමැතිවරයෙකු වූ ඩලස් අලහප්පෙරුම මහතා විසින් ව්‍යංගයෙන් හඳුන්වා දී තිබුණේ ‘‘ඇගේ වෛරය’’ ලෙසය.
චන්ද්‍රිකා මහින්ද පරාජය කිරීමට දියත් කළ මෙහෙයුම බෙහෙවින්ම තීරණාත්මක එකක් විය. එමෙන්ම එය ඉතා අවදානම් සහගත ක‍්‍රියාවක්ද විය. ජනාධිපතිවරණ රැස්වීම් පවතින අතර තුර දී ඇමැති එස්.බී. දිසානායක මහතා කළ ප‍්‍රකාශයකින් චන්ද්‍රිකාට කල් ඇති බව අනතුරු ඇඟවෙන රතු එළිසංඥා නිකුත් වෙමින් තිබිණි. ප‍්‍රතිඵලය නිකුත් වූවාට පසුව චන්ද්‍රිකා නිරුවතින් පාරේ දිව යනු ඇති බව ඔහු ප‍්‍රසිද්ධියේම පැවැසීය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පොලොන්නරුවේදී ඔහු පිළිගැනීම සඳහා පැවැති රැස්වීමකදී කියා සිටියේ බැරිවෙලාවත් ජනාධිපතිවරණය පරාජය වූවානම් තමන්ට ඉන්න සිදුවන්නේ ‘‘මහ පොළොව යට’’ බව කීමෙන් ඔහු දැරූ අවදානම පැහැදිලි වේ.
මේ රැස්වීමේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා පක්‍ෂයෙන් එළියට ඇවිත් කළ අවදානම් සහගත පරිත්‍යාගයේදී ඔහුට තෝරා ගැනීමට තිබුණේ එක් අන්තයක් පමණක් බවත් ඒ රජගෙදරද නැත්නම් සිරගදෙරද යන්න බවත් කීමෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ භයානකකම මැනවින් පැහැදිලි විය.
ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා පරාජය වූවා නම් ඔහුට සිදුවිය යුතු දේවල් පිළිබඳව කල් ඇතිවම කරලියටද පැමිණ තිබිණි.
ඒ එක්තරා නිවසක තිබූ විදේශ මුදල් තොගයක් රහස් පොලිසිය විසින් කල් ඇතිවම සොයා ගැනීමය. එහි ස්විස්ප‍්‍රැන්ක් ලක්‍ෂ 10 ක් තිබූ බවත් එම මුදල් තොගයෙන් කොටසක් මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පුත‍්‍රයා විසින් රැගෙන ගොස් ඇති බවටත් අනාවරණය වූ බව ඒ දිනවල මහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූ කතාවකි.
මේ සියලූ කාරණාවලින් ගම්‍ය වන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග තරගයට ඉදිරිපත්වීම ජීවිතයත් මරණයත් අතර සටනක් බවට පරිවර්තනය වී තිබීම නිසාය. හොඳම නිදසුන වූයේ 2010 ජනාධිපතිවරණයේදී ප‍්‍රතිවාදී අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකාට සිදුවූ ඇබැද්දියයි. අවසානයේ ජෙනරාල් ෆොන්සේකා නැවතුනේ වැලිකඩ බන්ධනාගාරයේය. ඔහු එළියට පැමිණියේ කිසිදු හමුදා සේවයට නොගිය ප‍්‍රජා අයිතිය පවා අහිමි වූ පුද්ගලයෙකු ලෙසය.
මේ සියලූ අවදානම් තත්ත්වය මැද චන්ද්‍රිකා ඇයගේ මහින්ද පරාජය කිරීමේ මෙහෙයුමට මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අමතරව සම්බන්ධ කරගත්තේ රටේ ප‍්‍රදානතම විපක්‍ෂය වන එක්ස්ත් ජාතික පක්‍ෂයයි. මේ තාක්කල් එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග දෙකක් වූ ශ්‍රීලනිපය සහ එක්සත් ජාතික පක්‍ෂය එකට එක්වීම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමත් ශ්‍රීලනිප අපේක්‍ෂකයකුද එක්සත් ජාතික පාක්ෂියකන්ගේ ඡන්දවලින් බලය ලබා ගැනීමට සැරසීමත් මෙරට දේශපාලනයට අමුතු අත්දැකීමක් විය. මේ අමුතු අත්දැකීම මෙරට දේශපාලනයට චන්ද්‍රිකා විසින් එකතු කරනු ලැබුයේ මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමේ ඒකායන මාර්ගය වෙනුවෙනි.
මේ කාර්යය සඳහා තවත් සුවිශේෂි කාර්ය භාරයක් ඉටු කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන්ගේ ප‍්‍රධානතම සේවා පාඨය වූයේ ‘රාජපක්‍ෂ පලවා හැරීමය’’ 2005 ජනාධිපති වරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළේය. එකල ජනතා විමුක්ති පෙරමුණේ හඬ ජනතාව අතර සන්නිවේදනය වුණේ එහි ප‍්‍රචාරක ලේකම්ව සිටි විමල් වීරවංශ මහතා මගිනි. ඔහු ජනතා විමුක්ති පෙරමුණත් සමග එක්ව නැගූ හඬ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණයට ඉවහල්විය. ඔවුන් ඒ සඳහා ආකර්ශනීය සටන් පාඨයක්ද නිර්මාණය කර තිබිණි. ඒ ‘‘රට පෙරට’ යන්නයි.
සමස්ත ජනතා විමුක්ති පෙරමුණම මහින්ද රාජපක්‍ෂ සමග එකට රොද බැඳ තබා ගැනීමට මහින්දට නොහැකිවීම මහින්ද පරාජයේ මුලාරම්භය විය. මහින්ද රාජපක්ෂ මහතා කල්පනා කරන්නට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් ලබාගත යුතු සේවය ඔවුන් නැති වූවාට විමල් වීරවංශ මහතාගෙන් ලබාගත හැකි බවය. නමුත් වැරදුනේ එතැන බව 2015 ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ඉතා හොඳින් පෙන්නුම් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ධුර කාලය අතිශයින්ම ප‍්‍රශ්නකාරි විය. විශේෂයෙන්ම අධිකරණ පිළිබඳ කටයුතු කළ ආකාරය නිසා බුද්ධිමත් ප‍්‍රජාව මහින්ද අනහැර යෑමට පටන් ගත්හ.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට නිදිමරාගෙන ඇරඹූ ශීඝ‍්‍රගාමී මෙහෙයුමක් ඇය ධුරයෙන් ඉවත් කළ දිනයේම අනුකම්පා විරහිත ලෙස නිල නිවසින් පලවා හැරීමත් මේ බුද්ධිමතුන්ගේ දෝෂ දර්ශනයට ලක්විය.
ඊට අමතරව තමන්ට ඉතාම කිට්ටු අන්නේවාසියෙකු ලෙස ප‍්‍රකට සිටි මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීමෙන් නීතිඥ ප‍්‍රජාව සහමුලින්ම මහින්ද පාලනය අතහැර ගියහ. අධිකරණයට ඇඟිලි ගැසීම ඔහුගේ පාලනය තුළ කුප‍්‍රකට රහසක් ලෙස ජනතාව තේරුම් ගෙන සිටියහ.
2010 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව 17 වන සංශෝධනය අහෝසි කොට 18 වන සංශෝධනය හරහා තම ධුර කාලය ඉදිරියටත් ගෙන යෑමට හැකි වන ලෙස කරනු ලැබූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්ෂ මහතා පාරා වලල්ලක් විය. ජනාධිපති වරණයකට වසර දෙකක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරණය කැඳවනු ලබන බවට කල් ඇතිව ඉඟි පල වන විට මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි බලවේග සියල්ලම සන්නද්ධ විය.
2010 ජනාධිපතිවරණය ජයගත්තේ මහින්ද රාජපක්ෂ මහතා ලැබූ යුද ජයග‍්‍රහණයේ ආශ්වාදයත් සමගය. ඒ ආශ්වාදයත් සමග පැවැත්වූ මධ්‍යම වයඹ සමරගමු පළාත් සභා ඡුන්ද විපක්‍ෂය දැඩි පසුබැමකට ලක්කරමින් රාජපක්‍ෂ මහතා පහසු ජයක් ලැබීය. උතුරු මැද පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ යුද්ධය තීරණාත්මක අවස්ථාවකට එළඹෙමින් තිබියදී වුවත් එම පළාත් සභාවත් ජයගැනීමට රාජපක්‍ෂ මහතාට හැකි විය.
නමුත් පසුබැසීම ආරම්භ වන්නේ බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවල දීය. එම මැතිවරණ ප‍්‍රතිඵල වලින් පෙන්නුම් කළ යථාර්ථය වූයේ මහින්ද රාජපක්ෂ මහතා රජයට ඇති ප‍්‍රසාදය දිනෙන් දින අඩු වන බවය.
එම මැතිවරණවලදී එජාපය ජීවන වියදම් බර හොරකම නාස්තිය, දූෂණ චෝදනා රජයට ඉදිරිපත් කළ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ජනතාවට ඉදිරිපත් කළ මූලික කරුණු අතර ජීනීවා අර්බුදය සහ විදුලි පුටු ප‍්‍රශ්නයයි.
ජනාධිපතිවරණයට ආසන්නව පැවැති ඌව පළාත් සභා මැතිවරණයේදී එහෙත් 25% ක පමණ ඡන්ද ප‍්‍රතිශතයක් ලබා සිටි එක්සත් ජාතික පක්‍ෂය 43% ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින් ක‍්‍රමයෙන් ඉදිරියට පැමිණෙන බව පෙන්නුම් කළේය.
මේ තත්ත්වය තවත් උග‍්‍රකල ප‍්‍රශ්නයක් සමාජයේ දැඩි අවදානයට ලක්ව තිබුණි. රාජපක්‍ෂ මහතාගේ පුත‍්‍රයන් වූ නාමල් රාජපක්‍ෂ මහතා සහ යෝෂිත රාජපක්‍ෂ මහතාගේ දායකත්වයෙන් පැවැති රාත‍්‍රි මෝටර් රථ රේස්ය. මේවා සඳහා යන වියදම් පිළිබඳව දැඩි කථා බහක් එකල නිර්මාණය වී තිබූ අතර මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ දැඩි විරෝධතාව මධ්‍යයේ මහනුවර දළදා මාලිගාව වටරවුම රාත‍්‍රි මෝටර් රේස් සඳහා යොදා ගැනීම තදබල විවේචනයට ලක්විය.
මෙලෙසින් රජයට විරුද්ධව පාවිච්චි කළ හැකි සියලු තුරුම්පු රජය විසින් විපක්ෂයට ලබාදී තිබූ මොහොතේ ජනාධිපතිවරණය කැඳවිණි.
මේ ජනාධිපතිවරණය මුළුමනින්ම ජ්‍යොතිෂය මත ගොඩනැගුණු මැතිවරණයක් ලෙස අතිශය ප‍්‍රසිද්ධියක් ඉසිලීය.
මෙවර ජනාධිපතිවරණයේදී ජාතික බලවේග වලින් මහින්ද රාජපක්ෂ මහතාට වේදිකාව තුල ඉතිරිවී සිටි එකම කථිකයා වූයේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඞී ගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා එහි නායකයාවූ ඇමැති විමල් වීරවංශ මහතා පමණි. ඔහුට සහායට සිටියේ ඉතාම අඩු ඡන්ද ප‍්‍රතිශතයක් වාර්තා කළ සම සමාජ කොමියුනිස්ට් මහජන එක්සත් පෙරමුණු නායකයින් පමණි. ඔවුන්ගේ පක්ෂ අභ්‍යන්තරයේද මත ගැටුම් ඇතිවී ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඔවුන්ගෙන් වෙන්වී විපක්ෂයට එක්වූහ.
ජනාධිපතිවරණය ආරම්භ වීමටත් කලින් මහින්ද රාජපක්ෂ මහතා දැවැන්ත ප‍්‍රචාරණයක් දියත් කළ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
නවක ඡුන්ද හිමි තරුණ පරපුර මේ වන විට ඔවුන් අනුගත වි සිටින තාක්ෂණය ඔස්සේ සමාජජාල වෙබ් අඩවි ෆේස්බුක් හරහා මහින්ද රාජපක්ෂ මහතාගේ මේ දැවැන්ත ප‍්‍රචාරණය අවඥාවෙන් බැහැර කළ බව හොඳින් දැකගත හැකිවිය. ෆේස්බුක් ගිණුමක මෙසේ දිස්විය. ”නිවසක් විකිණීමට තිබේ.... මාර්ග අංක.... බස් රථයෙන් පැමිණ.. හන්දියෙන් බසින්න. එතැන් සිට ‘මහින්ද ලයිට් කණු‘ 10 ක් පසුකර වමට හැරෙන පාරෙ දිගේ දෙවැනියට ඇති නිවස” වශයෙනි.
තවත් ෆේස්බුක් ගිණුමක පාරේ යමින් සිටි පුද්ගලයෙකුට පාරේ වැටී තිබූ රුපියලක් හමුවූ මොහොතේ ඔහු එය තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ ”මහින්ද අපෙන් හොරකම් කරපු රුපියලක්” ලෙසය.
මුහුණු පොතේ මේ සටහන් දෙක කියාපෑවේ මැතිවරණ වේදිකාවේ විපක්ෂය මොරදුන් නාස්තිය හා සොරකම පිළිබඳ සංකේතාත්මක ප‍්‍රකාශයන්ය. විපක්ෂය එයින් ගොඩනැගූ මහින්දට එරෙහි හොරකම සහ නාස්තිය පිළිබඳ තේමා පාඨය තරුණ පරපුර නියෝජනය කළ ෆේස්බුක් සමාජ ජාලය කොතරම් තදින් වැළඳගෙන තිබුනාද යන්න පිළිබඳ තවත් සාක්ෂි අවශ්‍ය නැත.
හොරකම, නාස්තිය, දූෂණය, පවුල්වාදය මහින්ද රාජපක්ෂ මහතාගේ යුද ජයග‍්‍රහණය අභිබවා ඉදිරියට රැගෙන යෑමට විපක්ෂයට හැකිවිය.
2005 වකවානුවෙන් ඔහු ජනාධිපති වන්නට පෙර තරුණ මන්ත‍්‍රීවරයෙක්, ජනතා හිතවාදී උද්ඝෝෂකයෙක් විපක්ෂ නායකයෙක් ලෙස සිටි අවදියේදී මහින්ද රාජපක්ෂ මහතා මානව හිතවාදියෙකු මෙන්ම අතිශය සුන්දර මිනිසෙකු විය. එවන් සුන්දර මිනිසෙකුගේ වර්තමානය මෙලෙස හොරකම, නාස්තිය දූෂණය වංචාව යන ක්ෂේත‍්‍රයන්ට කොටුවීම තරම් ඛේදාන්තයක් තවත් ඇත්ද?
මේ සියල්ලේම අග‍්‍ර ඵලය ඔහු පරාජයට පත්වීමය. මේ ජනාධිපතිවරණයේදී ඔහුගේ නියත ජය සඳහා ප‍්‍රධාන බලකොටු 3 ක් ගොඩනගා තිබුණි.
ඒ හම්බන්තොට, ගම්පහ සහ කොළඹ වශයෙනි.
බළකොටු වලින් ගම්පහ සහ කොළඹ බළකොටු බාරව සිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂය. 2005/2010 ජනාධිපතිවරණවලදී මේ බළකොටු සියල්ලම හොඳින් රැකගැනීමට හැකිවිය. විශේෂයෙන්ම 2005 ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ ඡන්ද පාවිච්චි නොකළ අවස්ථාවේත් මහින්ද ජයගත්තේ මේ බලකොටු 3 න් ලබාගත් වැඩි ඡන්ද හේතු කොටගෙනය. එහෙත් 2015 ජනාධිපතිවරණයේදී මහින්දට රැකගත හැකිවූයේ හම්බන්තොට බලකොටුව පමණි.
2010 ජනාධිපතිවරණයේදී ගම්පහ බලකොටුව වැඩි ඡන්ද ලක්ෂ 380000 කින් ජයගත් අතර කොළඹ බලකොටුව වැඩි ඡන්ද ලක්ෂ 2 කට වැඩියෙන් රැකගත හැකිවිය.
නමුත් 2015 දී ගම්පහ බලකොටුව වැඩි ඡුන්ද 5000 කින් පරාජයට පත්විය. කොළඹ ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයකින් පරාජයට පත්විය.
මේ බලකොටු දෙකේම (කොළඹ ගම්පහ) සාපේක්ෂ වශයෙන් අඩුම වැඩි ඡන්ද ලක්ෂ 2 1/2 කින් රැකගත්තා නම්, උතුරේ ඡන්ද නොමැතිවත් මහින්දට ජයගැනීමේ හැකියාව තිබුණු බව 2005 ප‍්‍රතිඵලය සමග සැසඳීමේදී පෙනී යනු ඇත.
මහින්දගේ පරාජයට හේතුවූ ඉහත කරුණු වලට අමතරව තවත් ප‍්‍රධාන සාධකයක් වූයේ ජනාධිපතිවරණය අත ළඟට පැමිණෙමින් තිබියදී බේරුවලදී සිදුවූ මුස්ලිම් ප‍්‍රහාරයයි. මේ පිටුපස බොදුබල සේනාව සිටි බවට ඇඟිල්ල දික්වූ අතර බොදුබල සේනාව පිටුපස ගෝඨාභය සිටි බවට ප‍්‍රචලිත විය. මේ නිසා මුස්ලිම් ඡන්ද අති බහුතරයක් මහින්දට අහිමිවූ බව කොළඹ නගරය ආශ‍්‍රිත ඡන්ද ප‍්‍රතිඵල වලින් පෙනීයයි.
මේ අතර තවත් ප‍්‍රබල කරුණක් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට හේතුවිය. ශ්‍රී ලනිපයේ සැලකිය යුතු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මගහැර සිටීමය.
මේ පිරිස් බොහෝමයක් ඔවුන්ගේ යටි සිතින් රාජපක්ෂ මහතාගේ පරාජය ප‍්‍රාර්ථනා කළහ. එය ඉතා හොඳින් පැහැදිලි වූයේ මැතිවරණ පරාජයත් සමගම ශ්‍රීලනිපයේ ඇතිවූ ක්ෂණික බෙදීමය.
මේ බෙදීම පක්ෂය දෙකඩවී යෑමට පවා තුඩුදෙමින් සිටියදී පක්ෂයේ සභාපති ධූරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීම හැරෙන්නට වෙන විකල්පයක් හිටපු ජනාධිපතිවරයාට නොමැති විය.
එය එසේ වූවානම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ආණ්ඩු පිහිටුවීම වෙනුවට කළ හැති වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පමණය.
මේ කරුණු පිළිබඳ විමර්ශනය කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා ශාස්ත‍්‍රකරුවන්ගේ උපදෙස් මත තව වසර දෙකක් ඉතිරිව තිබියදීත් හදිසි ජනාධිපතිවරණයකට යෑම සියදිවි නසාගැනීමක් වැනි යයි ඔහුට නොසිතුනා නම් පුදුමය.
වර්තමාන තරුණ පරපුර නියෝජනය කරන සමාජ ජාල වෙබ් අඩවි සහ ෆේස්බුක් සමාජජාල මහින්දගේ අනාගතය උඩුයටිකුරු කළේය.
මේ ෆේස්බුක් සමාජ ජාලය බලසම්පන්නය. ලිබියාවේ ගඩාපි පාලනය පෙරලා දැමුවේ සන්නද්ධ විප්ලවයකිනි. ඒ එක්තරා තරුණයෙකු තම ෆේස්බුක් ගිණුමේ සටහන් කළ විප්ලවීය ආරාධනය ලැව් ගින්නක් සේ පැතිරයාමය. ඒ විප්ලවීය ආරාධනය වැළඳගත් ලිබියානු තරුණ පරපුර එය අවසන් කළේ අරාබි වසන්තය මැද පෙරදිගට කැඳවමින් බලසම්පන්න ගඩාපි මහ පොලොව යට සඟවමිනි. ඊජිප්තුවේත් සිරියාවේත් එසේමය. එහෙත් ඒ ෆේස්බුක් ජාලයම ශ්‍රී ලංකාවේදී කළේ වෙනත් අයුරකින්ය. එය බැලට් එන මාර්ගයෙනි.
තිස් අවුරුද්දක් තිස්සේ සාපලත් යුද්ධයකින් බැටකා ජනතාව ඉන් මුදා ගෙන ත‍්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කළ මහින්ද රාජපක්ෂ වැනි ඉතිහාසගත පුද්ගලයෙකු රටේ බහුතර ජනතාවකගේ විරෝධාකල්පයකට ගොදුරුවීම දෙස බලන විට මෙරට අනාගත දේශපාලනඥයින්ටද එය මහඟු පාඩමකි.
නිදහසින් පසු බලයට පත් සෑම දේශපාලනඥයකුම කළේ පොරොන්දු දේශපාලනය මගින් රටේ ජනතාව රැවටීමය.
සීතල දුරුත්තේ ජනවාරි 8 දින ඇතිවූ ඒ ගිනියම් උණුසුම කියා පාන්නේ මින් ඉදිරියට දේශපාලනඥයින්ට ජනතාව රැවටිය නොහැකි බවය. කොතරම් ජගතෙකු වුවත් ජනතාවගේ දඬුවම අනුකම්පා විරහිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස්බුක් එකෙන් ජනතාව දැනුවත් කරන්න අපිත් එකතුවුණා (නි)
කවීෂා ඉලගෙන කනවා කියන්නේ ඔකට...(අ)
මහින්ද ගෙදර යවල රැවටුන ෆේස් බූක් රැල්ල දැන් අනිත් පැත්තට පාරා වළල්ලක් වෙලා ඉවරයි ..දින 100න් ඉවරයි (අ)
මහින්ද රාජපක්ෂ මහත්තය පාරවල් ටික හදල ජනතාව ඉදිරියට ගෙන යන්න උත්සහ කලාට, ආකල්පමය පැත්තෙන් ජනතාව ආපස්සට රැගෙන ගියා. මේ තාක්ෂණික යුගයේ යල්පැනගිය ගල් යුග සංකල්ප හා ගෝත්‍රික ආකල්ප සමාජ ගතකර සමාජය නොමග යවන්න නිරන්තර උත්සාහයක යෙදුනා. කියන්න කණගාටුයි, එතුමා ශ්‍රී ලාංකික බුද්දිමත් සමාජය කෙරෙහි දැක්වුයේ අව තක්සේරුවක්. මෝඩයින්ට හා බුද්ධිමතුන්ව එකම තලයක තබන්න සහ එකම ආකාරයට කතා කරන්න විවිධ නුගත් පිරිස් හරහා එතුමා උත්සහ කළා. මනා දේශපාලන බුද්ධියකින් හෙබි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව නිවැරදිව තේරුම් අරගෙන නිවැරදි වෙලාවට ක්‍රියාත්මක වුණා.(අ)
කවීෂා රට යන්ඩ ඇත්තේ මහින්ද පාලනය කාලේ.ආණ්ඩුවේ පන්දම් කාරයන්ගේ දරුවෝ මෙහෙ බැරිනම් එහෙ දාල හරි උගන්වනවා. (අ)
කවීෂා, ලක්ෂ 57 ක මෝඩයන් පිරිසකට නම් දැන් කරපු මෝඩකම් ටික ටික තේරීගෙන එනවා. (අ)
ලංකාවේ ජනතාව ඉතා බුද්ධිමත් තීරණයක් ගත්ත. අනික මැතිවරණය වසර දෙකකටත් කලින් ඉල්ලුවේ මහින්ද මහතාමනෙ. ජනතාවට බොරු කියන ඕනෑම කෙනෙකුට මේවා ඉදිරියට පාඩම්.(අ)
කවුරු කොහම උඩු යටි කර ලීවත් තිස් අවුරුද්දක් තිස්සේ සිංහලුන්ට යන එනමන් නැතිව සිටි මොහතක ජාතියේ කොදු නාරටිය කඩා දමපු කොටි කල්ලිය නැති කරන්න නායකත්වය දුන්න මහින්ද මහත්තය තාමත් මගේ විරයා.ඒ තිස් අවුරුද්දට අපි ජනාධිපති වරුන් කීදෙනෙක් යටතේ ජිවත් වුනාද එහෙත් ඔවුන් කිසි කෙනෙකුට මෙය අවසන් කිරීමට උවමනාවක් තිබුනේ නැත .ඒ ඔවුන්ගේ ජිවිත වලට පිට රටවලින් එන තර්ජනවලට ඔවුන්ට මුහුණ පෑමට සිදුවන බව ඔවුන් දන්නා නිසාවෙනි .මෙයින් ප්‍රයෝජනය ගත් කොටි රැල අපේ ප්‍රබූ ඇතුළු සිංහල පවුල් හමුදා සෙබළුන් කීදෙනෙක් බිලි ගත්තේද .එවන් මුසල අවදියකින් අපව බේරගන්න නායකත්වය දුන්න මහින්ද මහත්තයා මගේ ජිවිතයේ සබැ නායකයාය .සබැ ජනයාගේ විරයාය..... (අ)
දැන් ඉන්න තරුණ පරපුර බුද්ධිමත් වුණත් අතීතය ගැන මතක නැහැ. 1988 / 89 වුණේ මොකක්ද කීවිත් අහනවා අැයි මොකද වුණේ කියලා. මහින්ද පැරදුනේ ඔහුගේ අනුගාමිකයන් නිසා. උදාහරණයක් හැටියට 2005 දිව්රුම් දීමයි 2010 දිව්ව්රුම් දීමි මතක් කරගන්න. වර්තමාන ආණ්ඩුවත් එය මතක් කරගන්න. නැත්තම් විනාශය අත ළඟයි. (අ)
කවීෂට තේරෙනවා අඩුයි වගේ. කරුණාකර කවීෂා බොහෝ දේවල් තේරුම් අරං කියවන්න. (අ)
සමහරු හිතන්නේ රට බේරා ගත්තේ එක පවුලක් විතරයි අනෙක් මිනිස්සු ඔක්කොම බුදියාගෙන හිටියේ කියලා. ඒකනේ ඒගොල්ල විතරක් හොඳ මිනිස්සු වෙලා තියෙන්නේ. අන්තිමේ අර දෙන්නා විතරයි යුද්දෙට ගිහින් තියෙන්නේ. (නදී)
මිනිසුන්ට ඇත්ත තේරුම් කරන්න සෑහෙන කාලයක් යනවනේ. (නදී)
මෙය ඉතා වටිනා ලෙසින් ලියු විවේචනයක්. අපේ රටේ තරුන පරපුර අද ජීවත්වන්නෙ නුතන තාක්ෂනයෙන් අනුන වු ලොවකයි. ඔවුන්ගේ අදහස් නිර්භයව කිසිදු අපහසුවක් නැතිව සිය පරිගනකය තුලින් මොහොතකින් මුලු රටටම බෙදාදෙන්නට පුලුවන්. මෙම තත්වය අද මුලු ලොව සෑම රටකම පැතිරිලා ගිහින්. අපේ රටේ නාගරික සමාජය තුල ජීවත්වන තරුන කොටස් පමනක් මුහුනු පොත නැතිනම් ෆේස්බුක් සංස්කෘතියට ඇබ්බැහිවී ඇතැයි කීවත් මා පසුගිය මැතිවරණය සමයේ ශ්‍රී ලංකාවේ සති 3 කට අධික කාලයක් ගතකලා. එහිදී මා දැනගත් කරුනු අනුව අද හද්දා පිටිසර ගම්මානවලත් තරුණයන් පරිඝණක යට යොමුවෙලා තියන බව පේනවා. ඔවුන් දේශපාලකයන් කරන කියන් දේ ගැන මහත් උනන්දුවෙන් බලා සිටිනවා. මේ නිසා අනාගත දේශපාලනය කරන්නට යන හැම මේ ගැන සිතා බලා කටයුතු නොකළහොත් ඔවුන් අතරමන් වනු නියතයි.(නදී)
කවිශ ඔයා බොහොම හරි. ලාබෙට කෑම බීම හා ලාබෙට ඩීසල් හා පැට්‍රොල් ලැබිලා වැඩක් නැහැ රටට අයහපතක් වෙනවා නම්. කවිශ විතරක් නොවේ පිට රට ඉන්න ගොඩක් අයට තේරිලා තියෙන්නේ රට දැන් කොහාටද යන්නේ කියා. හොදම් උදාහරණය තමා තහනම් කරපු ප්‍රන්ට් ලයින් සඟරාව ලංකාවට ඇවිත් රේගුවෙන් නැවතූ පසු, ඉහල උපදෙස් අනුව වහා නිදහස් උනා. ඒ පිළිබඳව පුවත් පත් වල පල කල නිසා කතෘ වරුනට ඉතාමත් පහත් භාෂාවෙන් බැන්නා. පුවත් පත් වල නිල නොවෙන වාරණයක් ලග ළඟ එනවා වගෙයි, හැබැයි ඒ වගේම තොරතුරු දැන ගැනීමට අයිතිය පිළිබඳව අලුත් පනතක් එන්නත් යනවා . පාට කන්නාඩි දාපු උදවිය හා පුද්ගලික තරහ මරහ ඇති උදවිය හැර මධ්‍යස්තව ඡන්දෙ දාපු උදවිය තව ටිකක් අවධානයෙන් වෙන දේවල් පිලිබදව කල්පනාවෙන් ඉන්න. (නදී)
කවීෂා, ඔය ලංකාවට ආවම තංගල්ලට ගිහින් නටඹුන් බලන්න (නදී).
කවිශ , ඉහත ලිපිය බුද්ධියෙන් කියවන්න. රජෙක් උනත් ඔහු හොරෙක් නම් රජ කමට නුසුදුසුය. ගෞතම බුදුරජාණන් වහන්සේ . (නදී)
මේවා මහින්දට අපට පමණක් නෙමෙයි මෛත්‍රීට සහ රනිල්ටත් හොඳ පාඩම්. කල්පනාවෙන් හොඳේ. නැත්නම් පස්සේ මොකුත් කියන්න එපා හොඳේ. ඔච්චර වැඩක් කල මහින්දව ඔහොම එලෙව්වානම් අනිත් අයව කොහොම එලවන්න බැරිද නේද ? පාලකයන් සෙල්ලම් දැම්මොත් මින් ඉදිරියට ලංකාවේ ජනතාවගෙන් බබා දොයි දොයි තමයි හොඳේ. (නදී)
ඇත්ත කතාවකි . (නදී)
ගොඩක් අය හිතුවේ මෛත්‍රී මහත්තයා දිනලා දින 100න් සියලු වෙනස්කම් කරලා ඔක්කොම අතහැරලා යයි කියලා. මධ්‍යස්ථ ජනතාව දැන් වුණ වරද තේරුම් අරගෙන ඉන්නේ.ඔවුනට නිවැරදි වෙන්න හැකි අවස්ථාව අවහිර කරන්නයි දැන් දතකන්නේ.මොන බාධක දැම්මත් ඉදිරි මැතිවරණය පවත්වන්න කට්ටියට සිද්ධවෙනවා. (නි)
මේ අය යන්නෙම පිදුරු ගොඩටමයි. තමන්ව ගොනාට අන්දවපු, තමන්ගෙ දුප්පත් පඩි පැකට් එකට විදපු තමන්ගෙ දරුවන්ගේ අනාගතේ ගිනි පොළියට චීනෙට උගස් කරපු අයට ට තාම කඩේ යන මිනිස්සු ඉන්නවනේ හැබෑට. මේ රට කවදාවත් හැදෙන්නේ නෑ (නදී)
සීතල දුරුත්තේ එහෙම වුනාට බක් මහේ එහෙම වෙන්නේ නෑ. දැන් මිනිස්සුන්ට තේරිලා කරපු මෝඩකම. (බ)
සීතල දුරුත්තේ එහෙම වුණාට බක් මහේ එහෙම වෙන්නේ නෑ. දැන් මිනිස්සුන්ට තේරිලා කරපු මෝඩකම.(දිල්)
ගොඩක් දේවල් නිවැරදියි. මෙවැනි සමබර ලිපියක් දැක්කේ විශාල කාලයකට පස්සේ. මහින්ද මහතා එක්තරා විදිහක වීරයෙක් බව සත්‍යයක්. නමුත් ඔහුගේ ක්‍රියාපටිපාටිය තුල යම් යම් වැරදි පිළිවෙත් තිබුනා. කෙසේ වෙතත් දැන් අපි පවතින රජයට උදව් කරන්න ඕනි. (බ)
තරුණ පරපුර බුද්ධිමත්. නමුත් අත්දැකීම් නැහැ. දැන් කුලප්පු වුණාට තව ටික දවසකින් කට්ටිය කියනදේත් බලන්නකෝ (නි)
රත්නපාල මහතාණෙනි , ඔබ ඉතා කදිමට, විවේචනාත්මකව ඉදිරිපත්කර ඇති කරුණු ප්‍රශංසනීයයි.මෙම ලිපිය කියවීම පිණිස පාර්ලිමේන්තුවේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශන කළහැකි නම් අපේ තරුණ,නවක මන්ත්‍රීවරුන්ටත් මේවා ආදර්ශයට ගෙන ඔවුන්ගේ දේශපාලන ජීවිත හැඩගස්වා ගතහැකිය (නි)
ඒත් හිරු එළිය නැතත් කළු කණ්ණාඩි පැළඳගෙන ඉන්න අපේ අයියාලට මේවා තේරුම්ගන්න බැහැ (නි)
ජනතාව මෝඩයන්ට අන්දන හැම දේශපාලකයින්ටම හොද පාඩමක් (බ)
අපේ රටේ උගත් මෝඩයෝ ටිකකුත් ඉන්නවා අවාසනාවට. මේ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ යුද්දය නිසා නැතිවෙන්න තිබුන ජිවිත ටික හැරුනම යුද්දෙට වියදම් කලාට වැඩි දුෂණනයක් නාස්තියක් කොමිස් ගැහිල්ලක් පසුගිය රජය යටතේ සිද්ද වෙලා තියෙනවා කියන එක. අපිට නම් හොඳටම වැටහෙනවා. මේකට ආසන්නම උදා හරණය ලංගමට වෙලා තියෙන නය රුපියල් මිලියන 192.5 ඡන්ද කෙරුවාවට සෙනග ඇදලා. මේ රටේ ජනතාවගේ සල්ලි, බුදු බනේ නම් කියල තියෙන්නේ මහා ජන දේපොළ කන අය මල පෙරේතයෝ වෙලා ඉපදෙනවා කියලා. ඉතින් බුදු දහම් සත්‍යක් කියල අපි පිළිගන්න නිසාම අපේ ඇස් ඉදිරිපිටම පන පිටින් මේ මිනිස්සු විඳවන විඳවිල්ල අපිට පේනවා නේද ? . (නදී)
මහින්දට විතරක් නොවෙයි, පොරොන්දු වූ විදියට හොරු ටික ඇල්ලුවේ නැත්නම් දැනට ඉන්න අයටත් ගෙදර යන්න වෙන්න පුළුවන් (නි)
හරි හරි... දින 100න් පස්සේ බලමුකෝ (නි)
කවීෂා නොහොත් බන්දුල පෙරේරාට ජයවේවා! (නි)
දැන් අපිටත් දෙමළ ඉගෙනගන්න කාලය හරි (නි)
අනේ මන්දා මේවා! (නි)
මහින්ද ගෙදර යැව්වේ දර්ගා නගරයට ගහපු නිසා. ලංකාවේ සියලුම මුස්ලිම් ජනතාව ඉතාමත් සතුටින් ගිහින් ඡන්දය දී මහින්දව ගෙදර යැව්වා, බොහොම සතුටුයි.(අ)
හොඳ ලිපියක් (නි)
රත්නපාල ගමගේට ස්තූතියි.(හේ)
ඔව් අප්පා අපේ යාලුවෙකුත් මෙහෙම එකක් හදාගත්තා “අවුලක් නෑ යුද්ධෙ ඉවරනේ“ කියලා. (නදී)
මේ බොහෝ සිදුවීම්වලට බලපෑව වැදගත්ම හේතුවක් තිබෙනවා. ඒ 2/3 බලයක් දීම. ඔහුට දිය යුතුව තිබුනේ ස්ථාවර ආණ්ඩුවක්. ඒ වගේම ඔහුට තිබුනා ඒ බලය දුන්න මිනිසුන්ට සාදාරනයක් කරන්න (නදී)
කවීෂා නියම අදහස (නදී)
කවීෂා,ඔයා ඕස්ට්‍රේලියාවේ ඉදන් හිතන හැටි වැරදිය. (හේ)
ප්‍රේමදාස නැති කෙරුවෙත් මහින්දව නැති කරන්නෙත් වටේ ඉන්න අය නොවේද (නදී)
2015 ජයග්රහණයට සමාජ ජාල සහ ඊමීඩියා බෙහෙවින් උපකාර වුණා . නමුත් හේතු පල අනුව කරුණු ගොනු කලේ අනුර කුමාර දිසානායක පමණයි.එවැනි කරුණු සාධාරණ මිනිසුන් විසින් පිළිගන්නා ලදී.(දිල්)
කවීෂ සමන් අඳුරේ අතපත ගානවා වගේ (දිල්)
දැන් තරුණ පරපුර ගොඩක් බුද්ධිමත්.(හේ)
ඉතා වැදගත් සමාලෝචනයක්.. මැතිවරණ සමයේ මෛත්‍රීපාල මහතා, ෆේස්බුක් ජනාධිපති ලෙස හැදින්වීමට විරුද්ධ මතධාරීන් කටයුතු කිරීම තුලින්ම මෙම මෙහෙයුම කොයිතරම් ප්‍රබලද කියල තේරුම් ගන්න පුළුවන්.. (නදී)
අප්‍රේල් වෙන කොට කරපු වැරදි වලට දඬුවම් විඳිමින් සිටීවි යැයි මගේ මතය.(හේ)
ඉතා හොද ලිපියක්...!!! ජනතා බලය සියල්ලටම වඩා ඉහළින් බව හැමෝම මතක තබා ගත යුතුයි. (හේ)
පාසල් වියේ සිටම දේශපාලන විද්‍යාව ඉගැන්වීම අනිවාර්ය කළ යුතුයි .නැත්නම් ඇත්ත - බොරුව වටහා ගැනීමට අනාගත පරපුරට නොහැකි වෙනවා ඇත .(හේ)
සමබර ලිපියක්, කොපියක් මහින්දට යැවීමට හැකිනම් විමල්ගේ බොරුවලෙන් මහින්දව ගලවා ගත හැක (නදී)
බලයෙන් මත් වෙන කාටත්- කියාදී ඇත හොඳ පාඩමක් (නදී)
කවීෂා ඔබ හරි,දින 100 ඉවර වෙන්නත් කලින් මිනිස්සුන්ට තේරිලා කරපු බොරු විගඩම් (නදී)
සීතල දුරුත්තේ එහෙම වුනාට බක් මහේ එහෙම වෙන්නේ නෑ. දැන් මිනිස්සුන්ට තේරිලා කරපු මෝඩකම. (නදී)
ඉතා හොඳ පසු විපරමක්.(නදී)
මෙහි ප්‍රධානම භූමිකාව බණ්ඩාරනායක වරුන් නොව අපට සමීපම රටක ඔත්තු සේවයකි.. (නදී)
දෙගොල්ලන්ටම හොඳට තේරිලා, එරිලා. . (නදී)
කොළඹ නගරය ක‍්‍රමවත් ලෙස අලංකාර ලෙසත් සංවර්ධනය කිරීම නිසා සතුටුවුනේ හම්බන්තොට මිනිස්සු.. (නදී)
මහින්ද හිටපු ජනාදිපති තුමා බලන්න හම්බන්තොටට දහස් ගණන් පෝලිමේ එන්නේත් ,,, ප්‍රේමදාස ජනාදිපතිතුමාගේ මළගෙදර අඩ අඩ මිනිය බලන්න ආපු අයගේ පරම්පරාවේ අයමයි ... කාලේ වෙනස් උනාට මිනිස්සු තාම වෙනස් වෙලා නෑ....(දිල්)
පසු විපරම හොඳයි. නමුත් මේ ප්‍රවේශයට මුල්වූ සෝභිත,රතන, හාමුදුරුවරුවරුන්ගේත් පාඨලි වැනි අයගේ නම් ගැන සඳහනක් වත් නොමැති කම ගැන මම දුක් වෙනවා.(දිල්)
කවීෂ සමන් හීනමානයද කොහෙද ? අනික කවිෂට ඔච්චර හොඳ නම් ලංකාවට ඇවිල්ලා ඉන්න පුළුවන්නේ . (නදී)
කවීෂා, ඔයා අපට අන් අයගේ මතයට ගරු කරන්න පුරුදු වෙන්න කිව්වට, අන් අයගේ මතයන් ගරු කරන්නේ නැතිව, විපක්ෂේ ජනාධිපති අපේක්ෂකයා හිරේ දාපු, විපක්ෂේ අපේක්ෂකයන්ගේ ඩමි හදාගෙන ඡන්ද පොලට අරන් ගියපු අන් මත දුටු තැන පහර දුන් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටින්නේ කොහොමද? ඉතින් කොහොමද අන් මත ගරු කරන සමාජයක් බලාපොරොත්තු වෙන්නේ ඔයා ? . (නදී)
කවීෂා නෝනේ ජනතා බලය ධන බලයට වඩා බලගතුයි . (නදී)
ජාතිවාදය තුලින් වසර 30 ක පමණ කාලයක් හොඳ හැටි බැට කා සිටි ජනතාවට, බොදුබල සේනාව හරහා නැවත ජාතිවාදය වැපිරවීම හා එම සංවිධානය හරහා බුදු සසුන අපකීර්තියට පත් කිරීම හා සංඝයා බේද කිරීම සඳහා කටයුතු සිදු නොකරන්න. සමහරවිට එතුමා අදටත් මේ රටේ ජනාධිපති. අඥානයින් ලංකර ගත්තම ජනාධිපතිට නෙමෙයි, කොයි කා හට අත්වෙන්නෙත් ඔය ඉරණම තමයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා, සරල, චාම්, නිරහංකාර,චරිතයක් මෙන්ම, ජයග්‍රහණයේදී පවා, මෝඩ උද්දච්ච චරිතයක් නොවන බවත් මේ රටේ බුද්ධිමත් ජනතාවට මෙන්ම, බාල පරම්පරාවටත් වැටහිලා ඉවරයි. . (නදී)
මහින්දගේ පරාජයට හේතුවූ ඉහත කරුණු වලට අමතරව තවත් ප‍්‍රධාන සාධකයක් වූයේ ජනාධිපතිවරණය අත ළඟට පැමිණෙමින් තිබියදී බේරුවලදී සිදුවූ මුස්ලිම් ප‍්‍රහාරයයි.(නදී)
පසු විපරම හොදයි. දැන තමයි මෙහෙමෙවත් ලියන්න ඒ අයට පුළුවන්කම තියෙන්නේ. කලින් ඔහොම කවුරුත් ලීවද . ඇතැම් අයට රටේ සිදුවූ වෙනස තාම වැටහිලා නැහැ. තාම මහින්ද හොදයි කියන අය ලිපිය හොදට කියවලා නැහැ . (නදී)
සදුන් ඔබට වැරදීමක්, 2/3 බලයක් ජනතාව දුන්නේ නැහැ. ජරා ජීර්ණ දේශපාලනයෙන් එ්ක සල්ලි වලට ගත්තා. ඒවම තමයි ඔහුට පාරා වළල්ලක් උනේ. (නදී)
මෝඩ වී එත්තේ මහින්දට කඩේ යන අයයි. ජනවාරි 8 නව රජයක් පත් වුයේ පොරොන්දු පත්‍රයකට වඩා ජනතා කැමැත්ත වැරදි විදියට හැසිරුනු මහින්ද ජනතාව අන්දවා කල දූෂිත පාලනය නිම කිරීමටය. දැන් ජනතාව ඔවුන්ගේ මැදිහත් වීමෙන් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගත යුතුය. (නදී)
කවීෂා හීන දකිනවා.(නදී)
දේශපාලන විද්‍යාව නොව ගරිල්ලා මාකටින් පෙන්විය යුතුයි (දිල්)
මම කීවේ මගේ අදහස.මම අනිකුත් අයව විවේචනය කරලා නැහැනේ ,මම එහෙම කරන්නෙත් නැහැ .ඇගිලි 5 ම එක සමාන නැහැ .කරුණාකර අන් අයගේ මතයට ගරු කරන්න පුරුදු වෙන්න. (දිල්)
ඉතා හොඳ පසු විපරමක් (නදී)