IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහින්දගේ මැයි අභියෝගයට ජනපති මුහුණ දෙයි

නව බදු කි‍්‍රයාත්මක වීම අත්හිටුවීමට කිසිත් නොකළද සියයට 15 ක වැට් බදු වැඩිවීම සම්බන්ධයෙන් ජනතාවට යම්තාක් දුරට සහන ලබාදීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේනට හැකිවිය. වැට් බද්ද වැඩිවීම කි‍්‍රයාත්මක වීමට නියමිතව ඇත්තේ මැයි මස 15 වැනිදා සිටය.අනෙක් බදු අපේ‍්‍රල් මස පළමුවැනිදා සිටම බලාත්මක කර ඇත.

මැයි මස දෙවැනිදාට සුවිශේෂී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය.ඇමරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාකච්ඡා වල ප‍්‍රගතිය මත මෙම ගැසට් නිවේදනය අදාළ දිනටම නිකුත් කිරීම හෝ ප‍්‍රමාද වීම සිදුවිය හැකිය. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශී‍්‍රලංකාව වෙත ලබාදීමට සිටි ඩොලර් බිලියන 1.2 ක ණය මුදල, බිලියන තුනක් දක්වා ඉහළ නංවන්නැයි රජය ඉල්ලා ඇත. වොෂින්ටනයෙන් ලැබෙන වාර්තා වලට අනුව රුපියල් බිලියන 1.2 කට වැඩි නමුත් බිලියන තුනකට අඩු මුදලක් ශී‍්‍රලංකාව වෙත ලැබෙන තත්ත්වයක් පවතී. ශී‍්‍රලංකාව වෙනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලට කරුණු ඉදිරිපත් කිරීමට ඇමරිකාවට ගොස් සිටින දූත පිරිසේ නායකත්වය දරන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාය.

පොළොන්නරුවේ පුලතිසිපුරයේ අලූත් අවුරුදු සැමරීමට එක්වෙමින් ජනපති සිරිසේන ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකළේය.ජනතාව මත බර පැටවෙන බදු කි‍්‍රයාත්මක නොවන තැනට තමන් වගබලාගන්නා බව හෙතෙම අවධාරණය කළේය.වැට් බදු වැඩිවීමක් ගැන පුවත්පත් වලින් කියැවූ බව පවසා සිටි ජනපතිවරයා එවන් බදු වැඩිවීමක් යෝජනා කළ විශේෂඥයින් ගෙදර යැවිය යුතුව ඇතැයි කියා සිටියේය. රජයක වගකීම වන්නේ ජනතාවට සහන සැළසීම මිස ඔවුන්ව තලාපෙලා දැමීම නොවන බවද ජනපතිවරයා පැවසුවේය. ඔහුගේ මෙම දැඩි ප‍්‍රකාශය කොළඹ රාජ්‍ය තාන්ති‍්‍රක ප‍්‍රජාව අතර මෙන්ම වොෂින්ටනයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ බලධරයින් අතරද මහත් කලබලයක් ඇති කළේය. කරුණානායක උත්සාහ කරමින් සිටියේ එක් එක් ආකාරයේ බදු කි‍්‍රයාත්මක කරන බවට රජය පොරොන්දු වන බව පවසා සිටිමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ශී‍්‍රලංකාව වෙත ලබාදෙන ණය මුදල ඉහළ නංවා ගැනීමටය. නමුත් ඊට පිළිතුරු ලෙස ඔහුට ලැබුණේ හරස් ප‍්‍රශ්න තොගයකි. ආර්ථිකය විධිමත් අයුරින් පවත්වාගෙන යන බවට කැපවන්නේ යැයි කියමින් රජය දුන් පොරොන්දු වලට කුමක් සිදුවීද? වැට් බදු ඉහළ නොදමන්නේ නම් ආදායම් හිගයක් ඇතිවූ අවස්ථාවක රජයට ඊට පිළියම් යෙදීමට බලාපෙරොත්තු වන්නේ කෙසේද? ආදී ලෙස ගැටලු රාශියක් ඔහු හමුවට ඉදිරිපත් කැරිණ. වොෂින්ටනයේ සිටි ශී‍්‍ර ලාංකිකයෙක් ජනපති සිරිසේනගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් කරුණානායකව දැනුම්වත් කළේය. ජනපතිවරයා හෝ ජනපති ලේකම් කාර්යාලය එවැන්නක් සම්බන්ධයෙන් තමන්ව දැනුම්වත් නොකළ බවත් ශී‍්‍රලංකාවේ සිදුවන්නේ කුමක්දැයි තමන් ඇත්ත වශයෙන්ම නොදන්නා බවත් කරුණානායක පැවසුවේය.

 

ජනපතිවරයා අදුරේ තබලා?

අගහරුවාදා පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී ද වැඩි අවධානයක් යොමුවූයේ මේ සම්බන්ධයෙන්ය. ජනපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ශී‍්‍රලංකාවේ පැවති සාකච්ඡා වලට සහභාගීව සිට ඇති ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නිලධරයකු සහ ආර්ථික විශේෂඥයකු බව පැවසෙන පුද්ගලයෙකු අරබයා ජනපතිවරයා අතිශයින් කෝප සහගතව අදහස් දක්වා ඇත.මෙම පුද්ගලයින් දෙපළ විදෙස් රටවල අවුරුදු ගණනාවක් පදිංචිව සිට පසුගිය වසරේ නව රජයක් බලයට පත්වීමත් සමග රැකියා ලබාගෙන නැවත දිවයිනට පැමිණ තිබෙන බව සදහන්ය.දෙදෙන ඔවුන්ගේ සීමා ඉක්මවා යමින් සාකච්ඡා වලදී කටයුතු කර ඇති බවද පැවසේ. කුමන කොන්දේසි වලට එකගවූයේ දැයි ජනපතිවරයා දැනුම්වත් කිරීමක්ද සිදුව නොමැත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔහු ඉදිරියේදී රටේ ආර්ථිකය පිළිබඳ ගන්නා සියලු තීන්දු හා තීරණ ගැන තමන්වත්, අගමැතිවරයාවත්, මුදල් ඇමැතිවරයාවත් දැනුම්වත් කළ යුතුව ඇතැයි අවධාරණය කර තිබේ.

දෙදෙනගේ කි‍්‍රයාකාරකම් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් වැඩි මුදල් ඉල්ලා සිටීමට මුදල් අමාත්‍යවරයා ගන්නා උත්සාහය ඵල රහිත කරවීමේ ඉඩක් ඇති බව සදහන් වාර්තා ලැබී තිබීම තත්ත්වය තවත් බරපතල කර ඇත. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගන්නා තීරණ වලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ අදහස් විමසීමද සිදුවිය යුතු යැයි ජනපතිවරයා පවසා ඇත. රජයේ හවුල්කාර පක්ෂ දෙක අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගැනීම ඔහුගේ අරමුණ බව පැහැදිලිය.

ජනතාව මත බර පැටවෙන බදු කි‍්‍රයාත්මක නොකරන බවට අවධාරණය කර සිටි ජනපති සිරිසේනම ගෙවුණු මාර්තු මස දෙවැනිදා රවී කරුණානායක කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවලියක පිටපත් කාර්යාල සහයකයකු ලවා එකතු කරගැනීමට කටයුතු කළේය. එම යෝජනාවලියේ සඳහන් වූයේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් වැඩි ණය මුදලක් ලබාගැනීමට බදු වටිනාකම් ඉහළ දැමීමට සහ වෙනත් සංශෝධනයන් සිදුකිරීමට ඇති අවශ්‍යතාවයය. එම යෝජනාවලියේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගැන සඳහන්ව තිබීම ජනපති සිරිසේනව නොසතුටට පත්කිරීමට හේතුවිය. මේ හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනත් යෝජනාවලියක් ඉදිරිපත් කළේය. මාර්තු හතර වැනිදා විශේෂ කැබිනට් මණ්ඩල හමුවක් කැදවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය විය.

පිටු 10 කින් සමන්විත වූ එම යෝජනාවලියේ ශී‍්‍ර ලංකා ආර්ථිකය නගා සිටුවීමට හා රාජ්‍ය ආයතන වල අධික ණය බර සැහැල්ලූ කිරීමට ගත යුතුව ඇති නිර්දේශයන් දක්වා තිබිණ. සමාගම් මත ආදායම් බද්ද සියයට 17.5 ක් දක්වා ඉහළ දැමීම, 2016 අයවැයෙන් නිර්දේශ කෙරුණු සියයට 4 ක ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2 ක් දක්වා පහත දැමීම, සියයට 15 ක තනි වැට් බද්දක් හදුන්වාදීම, ආදී නිර්දේශයන් එහි සඳහන් විය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ගැන කිසිත් සදහනක් නොතිබුණු අගමැතිවරයාගේ යෝජනාවලිය කැබිනට් මණ්ඩලය හමුවේ සම්මත විය. අනතුරුව අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු වන ආර්ථික කටයුතු පිළිබද කලමණාකරන කමිටුවේ අවධානයට එම යෝජනාවලිය යොමුකෙරිණ.

‘බදු වැඩි කිරීමට සිදුවූයේ ඇයි ද කියා අපි ජනතාවට පැහැදිලි කරනවා. පසුගිය රජයේ ණය ගෙවන්න සිදුවෙලා තියෙන්නේ අපට වික‍්‍රමසිංහ සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය. රට ගොඩනැගීමට මිස වෙනත් කිසිදු අරමුණක් පෙරදැරිව බදු වැඩි කර නොමැති බව ඔහු අවධාරණ කළේය. ජූනි මස අවසානයේ හරි ජූලි මසදී හරි රටේ ආර්ථික තත්ත්වය නගා සිටුවන්නට සමත් යාන්ත‍්‍රණයක් කි‍්‍රයාවට නංවන්න අපට සිදුවේවි.’ ඔහු වැඩිදුරටත් පැවසුවේය. එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ වැඩි අවධානයක් යොමුවනු ඇත්තේ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් බව දැනගන්නටද ඇත.

 

සේවා වලින් වැට් බදු ඉවතට

අගහරුවාදා කැබිනට් රැස්වීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසූයේ වැට් බදු ඉහළ දැමිමට සිදුව ඇත්තේ රජයේ ආදායම සැළකිය යුතු පහළ ගොස් තිබෙන නිසා බවය. ආදායම පහත ගියේ යැයි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම, සුභසාධන සේවා පවත්වාගෙනයාම, රජය අතපසු නොකළ බවද ඔහු පෙන්වා දුන්නේය.

‘වැට් බදු ගෙවන්න 77000 ක් පමණ ලියාපදිංචි වෙලා සිටිනවා.එයින් 35000 ක් පමණයි සක්‍රීය තත්ත්වයේ සිටින්නේ. එයිනුත් 15000 ක් පමණ ප‍්‍රමාණයක් තමයි වැට් බදු ගෙවන්නේ. ගෙවුණු අවුරුදු කිහිපය සැළකීමේදී වැට් බදු අය කරගත් සීමාව ක‍්‍රමයෙන් පහළට ගෙනගොස් තිබෙනවා. 2013 දී වැට් බදු ගෙවන්න නියම වුනේ මාස තුනක කාලයක් ඇතුළත ආදායම රුපියල් ලක්ෂ 5000 ක මට්ටමේ පවත්වාගත් අයට. 2014 දී ඒක රුපියල් ලක්ෂ 2500 ක මට්ටමක් දක්වා පහතට ගෙන ආවා.2015 දී නැවත සැරයක් පහතට ගෙන ආවා, රුපියල් ලක්ෂ 1000 ක් දක්වා.2016 එක් කාර්තුවකට වැට් බදු සීමාව පහතට ගෙන ආවා රුපියල් ලක්ෂ 30 ක් වගේ අඩු අගයක් දක්වාම.’

‘විදුලිය හා පානීය ජල සැපයුමට වැට් බදු නියම නොකරන ලෙස ජනපතිවරයා නියෝග කර තිබෙනවා.වැට් බදු කියන්නේ ආදායම් උපයන්න තිබෙන හොඳම විදිහ. අපි මේ බදු වැඩි කරලා තියෙන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේවත්, ලෝක බැංකුවේවත් කොන්දේසි අනුව නොවන බව විශේෂයෙන් සදහන් කළ යුතුයි. අයවැය පරතරය අඩු කිරීමේ අරමුණ ඇතිව පමණයි මේ විදිහට බදු වැඩිකරලා තියෙන්නේ. ලෝක ආර්ථිකය පසුගාමිවී තිබීමේ ආදීනව අපටත් දැනෙනවා. තේ වැනි අපනයන වලින් අප ලැබූ ආදායම බොහෝ සෙයින් පහළට ගිහිල්ලා. මේ හමුවේ වැට් බදු සංශෝධනය කරනවා හැරෙන්නට අපට වෙන විකල්පයක් නැහැ. ඖෂධ වල මිල ඉහළ යන බවක් ඇතැම් අය පවසනවා. නමුත් ඒවාට වැට් බද්ද බලපැවැත්වෙන්නේ නැහැ.සෞඛ්‍යය ක්ෂේත‍්‍රය සැළකුවහොත් පෞද්ගලික ක්ෂේත‍්‍රය සපයන සේවා වලට පමණයි වැට් බද්ද බලපැවැත්වෙන්නේ.’

‘සුඛෝපභෝගී භාණ්ඩ වලට වැට් බද්දක් අය කෙරෙනවා. කවුරු හරි කෙනෙක් සුපිරි වෙළදසැළකින් භාණ්ඩ මිලදී ගත්තොත් එම භාණ්ඩවල මිල සැදෙන්නේ වැට් බදුත් එකතු වෙලා.මේ වැඩිවීම බිල්පතේ සඳහන් වන්නේ නැහැ.’

 

ප‍්‍රශ්නය - අගමැතිවරයා වැට් බදු කි‍්‍රයාත්මක කිරීම ගැන පාර්ලිමෙන්තුවේදී සඳහන් කළා. ජනපතිවරයාත් මේ ගැන අදහස් දක්වා තිබෙනවා.ඇයි ජනපතිවරයා මෙයට හවුල් වුනේ?

 

පිළිතුර - අගමැතිවරයා හා ජනපතිවරයා පවසා තිබෙන්නේ එකම දෙය.මුලින් යෝජනාවක් තිබුණා විදුලියට හා ජල සැපයුමට වැට් බදු අයකරන්න.නමුත් දෙදෙන සාකච්ඡුා කර එකගතාවයකට පැමිණ තිබෙනවා එවැනි අවශ්‍යතාවක් නොමැති බවට.

 

ප‍්‍රශ්නය - විදුලිය,ජල සැපයුම හා වෙනත් අත්‍යාවශ්‍ය සේවා වලට වැට් බදු අය නොකෙරෙන එකෙන් අදහස් වෙන්නේ අපේක්ෂාවෙන් හිටපු ආදායම් ඉලක්කය පහළට යනවා කියන එක නේද?

 

පිළිතුර - නැහැ. සුරාබදු, දුම්කොළ සහ වාහන ආදායම් බද්ද ඉහළ දමා තිබෙනවා. මීට අමතරව අනවසරයෙන් සිදුවන ආනයනයන් හදුනාගැනීමෙනුත් ආදායම ඉහළ දමාගැනීමට අපට හැකිව තිබෙනවා. නමුත් ලැබෙන ආදායම ප‍්‍රමාණවත් නැහැ.

 

ප‍්‍රශ්නය - සන්නිවේදන සේවා වලට බලපැවැත්වෙන්නේ කොහොමද?

 

පිළිතුර - ස්ථාවර සහ ජංගම දුරකතන වලට මෙය බලපැවැත්වෙනවා.

 

ප‍්‍රශ්නය - පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත‍්‍රයට කොහොමද?

 

පිළිතුර- ඔව්. පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත‍්‍රය මත වැට් බදු බලපැවැත්වෙනවා. තමන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල් වලට යවන දෙමව්පියන්ට වැට් බදු ගෙවිය හැකියි.

සංශෝධිත බදු කි‍්‍රයාත්මක වන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ හෝ ලෝක බැංකුවේ කොන්දේසි මත නොවන පවසන රාජ්‍ය අමාත්‍යවරයාත් එය සහතික කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ණය ලබාදීමට කොන්දේසි පනවා නැතැයි අදහස් දක්වන වෙනත් රාජ්‍ය අමාත්‍යවරුනුත් සිදුකරමින් සිටින්නේ ජනතාව නොමග යැවීමකි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල අපට ණය ලබාදෙන්නේ කිසිසේත්ම අප ගැන උපන් අනුකම්පාවකින් නොවේ. පසුගිය සතියේ මෙම තීරුවෙන් අනාවරණය කෙරුණු ආකාරයට අරමුදල ඉදිරිපත් කළ ක‍්‍රමවේදයන් ති‍්‍රත්වයකට ශී‍්‍රලංකාව දැනටමත් එකගතාවය පළකර අවසානය. 2016 අයවැය පරතරය සියයට 5.4 ක අගයේ පවත්වාගැනීමට ගත යුතුව ඇති කි‍්‍රයාමාර්ග ඉන් එකකි. රටේ ආර්ථික කටයුතු මනාව පවත්වාගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් ප‍්‍රකාරව කටයුතු කිරීමට රජය නිල වශයෙන් බැදී සිටී.

ලාභ ලබන ව්‍යාපාර මත නැවත වරක් ආර්ථික සේවා බද්ද පනවා තිබෙන අතර එය මෙම මස පළමුවැනිදා සිට බලාත්මක කර ඇත. එම බද්දේ අගය සියයට 0.25 ක අගයේ සිට සියයට 0.50 ක අගය දක්වා ඉහළ දමාද ඇත. පෙට‍්‍රල්, ඩීසල් හා භූමිතෙල් සිල්ලර වෙළදාම් කාර්තුවක් ඇතුළත රුපියල් ලක්ෂ 500 කට වැඩි ආදායම් උපයන්නේ නම් එම වෙළදාම් මතද මෙම බද්ද බලපැවැත්වේ. මෙවන් ව්‍යාපාරයක් මත අයකෙරෙන ආදායම් බද්ද සකස් වන්නේ උපයන ආදායමෙන් දහයෙන් එකක කොටසක් ලෙසය.

බැංකු හා රක්ෂණ ක්ෂේත‍්‍රය, වෙළද සේවා, මත්පැන්, දුම්කොළ, ලොතරැයි, ඔට්ටු දැමීම් හා සූදු ආදී ක්ෂේත‍්‍ර මත කි‍්‍රයාත්මක වූ බදු සංශෝධනය කර ඇත. උපයන ආදායම මත ගෙවිය යුතු වන බද්ද ඒ අයුරින්ම කි‍්‍රයාත්මක කිරීමට තීරණයව ඇත. දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ නිලධරයකු සදහන් කළ ආකාරයට මෙම බද්ද සේවකයකුගේ වැටුපෙන් සෘජුවම අයකර ගැනෙන දැනට තිබෙන ක‍්‍රමවේදය වෙනස් කිරීමට ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යංශයේ අවධානයේ යොමුව තිබේ.

 

සිරිසේනගේ දේශපාලන බෝම්බය

අගහරුවාදා කැබිනට් මණ්ඩල හමුවේදී ජනපති සිරිසේන තවත් සුවිශේෂී ප‍්‍රකාශයක් සිදුකළේය. රජයේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ හිටපු ජනපතිවරයා සහ ඔහුගේ සහචරයින් විවේචනය කිරම සැළකිය යුතු ලෙස අඩු කර ඇතැයි ඔහු පැවසුවේය. ජනපතිවරයා මෙම ප‍්‍රකාශය සිදුකළේ අගමැතිවරයා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ ඔහුගෙන් නැවත නැවතත් කරුණු විමසමින් සිටි සමයකදීය. රාජපක්ෂට විරුද්ධව යමින් තමන් පසුගිය ජනපතිවරණයේදී සහ පාර්ලිමෙන්තු මැතිවරණයේදී කටයුතු කළ නිසා දැන් අගමැතිවරයා, හිටපු ජනපතිවරයා සමග සාකච්ඡා පවත්වමින් කරන්නට සැරසෙන්නේ කුමක්දැයි දැනගැනීමට ඔවුනට අවැසි විය. නමුත් තම සාකච්ඡාව පිළිබද අගමැති වික‍්‍රමසිංහ, ජනපති සිරිසේනව දැනුම්වත් කර තිබූ බව ඔවුහු නොදැන සිටියෝය. රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධණ තමා හමුවී පැවසුවේ රාජපක්ෂට සපයා තිබෙන ආරක්ෂාව ගැන බව අගමැතිවරයා, ජනපති සිරිසේනට පවසා තිබිණ.

අගමැතිවරයා මේ සම්බන්ධයෙන් ජනපතිවරයා දැනුම්වත් කර තිබුණේ තම චීන සංචාරයට පෙරය. චීන සංචාරයේදී ශී‍්‍ර ලංකාවට ලබාදී තිබෙන ණය සම්බන්ධයෙන් සහන ලබාගැනීමට ඇති අවස්ථා ඔහු සොයා බැලූවේය. රාජපක්ෂ ගෙවුණු සතියේ සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවිය. නමුත් දෙදෙන සාකච්ඡා කළේ කුමන කරුණුදැයි දැනගැනීමට නොහැකි විය.

රාජපක්ෂට සපයා තිබෙන හමුදා ආරක්ෂාව මැයි මස පළමු වැනිදා සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට පොලිසියේ කොමාන්ඩෝ ඒකකයේ සහ විශේෂ කාර්යය බලකායේ නිලධරයින් යොදවන බවත් ජනපති සිරිසේන කැබිනට් හමුවේදී පැවසුවේය.

 

තාජුඩීන් සිද්ධිය - තවත් අත්අඩංගුවට ගැනීම් ඉදිරියට

ප‍්‍රකට රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ හදිසි මරණය සම්බන්ධයෙන් පසුගිය රජයේ පැවැති පරීක්ෂණ වලින් පැවසුනේ එය හදිසි අනතුරක් බවය. නමුත් එම පරීක්ෂණ කටයුතු වල සැකසහිත භාවය ජනපතිවරණ සමයේ මෙන්ම පාර්ලිමෙන්තු මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පක්ෂ වල ප‍්‍රධාන සටන් පාඨයක් විය. මේ අනුව නව රජය බලයට පත්වූ පසු තාජුඞීන් සම්බන්ධ පරීක්ෂණ නැවත ආරම්භ කරන ලෙස පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ටාශයට නියෝග ලැබිණ. නව පරීක්ෂණ වලින් අනාවරණයවූ කරුණු සළකා බැලූ අධිකරණය පසුගිය පෙබරවාරි මස තාජුඞීන් ඝාතනය කර ඇති බවක් දැකගත හැකි යැයි පැවසුවේය. ඝාතනයට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගන්නැයිද නියෝග කළේය. පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට ලබාදුන් කාලයද තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමට අධිකරණය ගෙවුණු මාර්තු මාසයේදී කටයුතු කළේය.

සිද්ධියේ සැකකරුවකු ලෙස නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චින්තක පෙරේරා පසුගියදා අත්අඩංගුවට පත්වීමත් සමග පරීක්ෂණ කටයුතු නවතම මුහුණුවරකින් ඉදිරියට යන බවක් හදුනාගත හැකිවිය. විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගැනීමට හැකිවූ ආකාරයට සුමිත් චින්තක රහස් පොලිසියට ලබාදී ඇති ප‍්‍රකාශයේ පාන්දර තුනට පමණ ශාලිකා කී‍්‍රඩාංගනය ආසන්නයේ තාජුඩීන්ගේ සිරුර සොයාගත් දිනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තමන් හමුවූ බව සඳහන් කර ඇත. සුමිත් චින්තක ඉතාම හොදින් පරීක්ෂණ කටයුතු වලට සහය දෙන බවද සඳහන්ය. දැනට සේවය අතහැර ගොස් සිටින පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් මෙය හදිසි අනතුරක් නොව ඝාතනයක් බව හොදින්ම දැන සිටි බවත් නමුත් වාර්තා වල එවැන්නක් සඳහන් නොකිරීමට ඔහු වගබලාගත් බවත් සුමිත් චින්තක අපරාධ පරීක්ෂණ කොට්ටාශයේ නිලධරයින්ගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇතැයිද සන්ඩේ ටයිම්ස් සමග සම්බන්ධවූ ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවේය. සුමිත් චින්තක මැයි මස පස් වැනිදා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස අධිකරණය නියෝග කළේය. ඉදිරි සතියේදී තවත් පුද්ගලයින් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

සිවිල් වැසියකු කිරුළපන පාක් පාරේ තිබී තමන්ට හමුවූ මුදල් පසුම්බියක් කිරුළපන පොලිසියට ගෙනගොස් භාරදීම තාජුඞීන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ කටයුතු වල ආරම්භය විය. මෙම මුදල් පසුම්බිය ඒ වන විට මරණයට පත්ව සිටි රගර් කි‍්‍රීඩකයාගේ බව එය පොලිසියට ගෙනගොස් භාරදුන් පුද්ගලයා දැන නොසිටියේය. එමෙන්ම පසුම්බිය හමුවූ පාක් පාරේ එම කොටස අයත් වන්නේ කිරුළපන පොලිසියට නොව නාරාහේන්පිට පොලිසියට බවද ඔහු නොදත්තේය. එසේවුවත් මෙම පුද්ගලයාගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට තරම් බුද්ධියක් කිරුළපන පොලිස් ස්ථානාධිපතිවරයාට තිබිණ. මේ සම්බන්ධයෙන් විමර්ෂණ පවත්වා දින කිහිපයකට පසු පසුම්බිය තාජුඩීන්ට අයත් බව අනාවරණය කරගැනීමට කිරුළපන පොලිසියට හැකිවිය. ශාලිකා පාරේ මියගොස් සිටි පුද්ගලයකු ඊට මීටර් කිහිපයක් මෙහා මාර්ගයක තම මුදල් පසුම්බිය දමා යන්නේ කෙසේදැයි යන්න නැගුණු පළමු සැකය විය. තාජුඩීන් මරණයට පත්ව සිටි රථයේ වීදුරු සියල්ල වසා තිබීම එය තවත් තහවුරු කළේය.ආන්දෝලනාත්මක චරිතයක් වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දිනකෙයේ කිරුළපන පොලිසියට ගොස් මෙම මුදල් පසුම්බිය පිළිබදව තමන් දැනුම්වත් නොකළේයැයි එහි ස්ථානාධිපතිවරයාට තදින් දෝෂාරෝපණය කර තිබෙන බවද අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ කොට්ටාශයේ නිලධරයින්ට දැන් හැකිව තිබේ. පසුව මෙම ස්ථානාධිපතිවරයා මාරුකර යවා ඇත.

අපරාධ පරීක්ෂණ කොට්ටාශයේ නිලධරයින් මෙන්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධරයින්ද මේ හා සමානවම පරීක්ෂණ පවත්වමින් සිටින බව සදහන් කළ යුතුය.

 

අලූත් පක්ෂය ශක්තිමත් කිරීමට බැසිල්

මෙවන් කටයුතු හමුවේ හිටපු රජයේ පාර්ශවකරුවන්ට එරෙහිව තවත් පරීක්ෂණ කටයුතු සිදුවනු ඇති බව කිව හැකිය. නමුත් එය බැසිල් රාජපක්ෂව පසුගාමිී කර නැත. මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ නව දේශපාලන පක්ෂය සවිමත් කිරීමේ කටයුතු වල ඔහු ඉතාම උනන්දුවෙන් නියැලී සිටී. පළාත් පාලන ආයතනයන් විසිරුවා හැරීමට එක්සත් ජාතික පෙරමුණු රජය ගත් පියවර නිසාවෙන් තනතුරු වලින් ඉවත්වීමට සිදුවූ සභාපතිවරුන් ඇතුලූ තවත් සාමාජිකයින් රාශියක්ද,එක්සත් ජාතික පෙරමුණු රජයට පක්ෂපාත කණ්ඩායම් වල සාමාජිකයින්ද නව පක්ෂයේ ආධාරකරුවන් ලෙස සාර්ථකව එක්කර ගැනීමට ඔහු සමත්ව තිබේ.

හිටපු පළාත් පාලන ප‍්‍රධානීහු එක්ව පළාත් පාලන මන්තී‍්‍ර සන්නදය නම් කණ්ඩායමක් පිහිටුවාගෙනද ඇත. නව දේශපාලන පක්ෂයේ න්‍යෂ්ඨිය වන්නේ මෙම කණ්ඩායම බව සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ පැවසුවේය. සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්,ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන් ආදී විවිධ වෘත්තීන්ගේ නියැලෙන්නන් ද මෙම කණ්ඩායමට අයත් වන බව ඔහු වැඩිදුරටත් කීවේය. මේ හා සමාන කණ්ඩායමක් 1977 මැතිවරණ පරාජයෙන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියද ඇතිකළ බව ඔහු පැවසුවේය. පක්ෂය සවිමත් කිරීම එම කණ්ඩායමට පැවරුණු වගකීම විය.

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය කිරුළපන ලලිත් ඇතුලත්මුදලි කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මැයි රැලිය අවස්ථාවේදී නව පක්ෂයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි සිතීම උගහටය. සංවිධායකයින්ගේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ සැළකිය යුතු ජනකායක් මැයි රැලියට ගෙන්වා ගැනීමටය. කොළඹ හා දිවයිනේ වෙනත් පළාත් වල ජනතාව කිරුළපනට ගෙන්වා ගැනීමට දැනටමත් සැළසුම් සකස් කෙරෙමින් පවතී. ශී‍්‍රලංකා නිදහස් පක්ෂය මේ අතර උත්සාහ කරමින් සිටින්නේ එකාබද්ධ රැලියට තම පක්ෂ සාමාජිකයින් සහභාගීවීමෙන් වැළැක්වීමටය. එසේ සහභාගීවන්නවුන්ට එරෙහිව දැඩි විනය කි‍්‍රයාමාර්ග ගන්නා බව පක්ෂ මධ්‍යම කාරකසභාව දැනටමත් නිවේදනය කර ඇත. නමුත් පෙර ඒකාබද්ධ විපක්ෂයේ රැලියක් පැවැත්වුණු අවස්ථාවේ පක්ෂ නියෝග නොතකාම ඊට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ සහභාගීවිය. ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මැයි රැලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ගාල්ලේදීය.

රාජ්‍ය හා පෞද්ගලික අංශ වල සේවකයින්ගේ වැටුප් වැඩිවීම කෙරෙහි ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මැයි රැලියේ වැඩි අවධානයක් යොමුවනු ඇත.අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න පවසා සිටියේ සියලූ සේවකයින්ගේ අවම වැටුප රුපියල් 10000 ක මට්ටමේ පවත්වාගන්නා ලෙසත් රුපියල් 2500 ක දීමනාවක් ඔවුනට ලබාදෙන ලෙසත් මෙවර මැයි රැලියේදී රජයට බලපෑම් කරන බවය. කම්කරුවන්ට ලබාදීමට නියමිත සහන සම්බන්ධයෙන්ද මැයි දිනයේදී අනාවරණය කරන බව ඔහු පැවසුවේය. මාතෘ නිවාඩු වලදී පෞද්ගලික අංශයටද, රාජ්‍ය අංශය හා සමානව මුදල් ලැබෙන ලෙස පවතින කෙටුම්පත් සංශෝධනය කෙරෙන බවද ඔහු කීවේය.

ජාතික නිදහස් පෙරමුණ ඒකාබද්ධ විපක්ෂය සමග අත්වැල් බැදගෙන මෙවර මැයි දිනය සමරන බව එහි නායක විමල් වීරවංශ මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය.ඉහළ ගොස් ඇති ජීවන වියදම, විශේෂයෙන් වැට් බද්ද ගැන ප‍්‍රබල හඩක් නගන බව ඔහු කීවේය.

 

ජනතා විමුක්ති පෙරමුණෙන් නව ආර්ථික ක‍්‍රමයක්

ජාතික නිදහස් පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද වැඩිවී ඇති ජීවන වියදම අරබයා රජයට පීඩනයක් එල්ල කිරීම මෙවර මැයි දිනයේ ප‍්‍රධාන තේමාව බවට තෝරාගෙන තිබේ. එමෙන්ම ජනතාව බලගන්වන නව ආර්ථික ක‍්‍රමයක් සම්බන්ධයෙන්ද සියලූදෙනා දැනුම්වත් කරන බව පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ බී.ආර්.සී. පිටියේදීය. බදු බර අඩු කිරීම, ජාතික සමගිය ඇති කිරීම, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කිරීම, වංචාවට හා දූෂණයට එරෙහිව නීතිමය පියවර ගැනීම, උතුරු හා නැගෙනහිර ඉඩම් ගැටලූවට වහා විසදුම් ලබාදීම, උතුරු පළාත් ධීවර ගැටලූවට විසදුම් ලබාදීම ආදී ක්ෂේත‍්‍ර ආවරණය කරන යෝජනාවලීන් රැසක් සම්මත කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ බලාපොරොත්තුවෙන් සිටින බවත් රටේ සෞඛ්‍යය සේවය ආරක්ෂා කරවන, ඉන්දියාව සමග අත්සන් තැබෙන එක්ටා ගිවිසුම අහෝසි කෙරෙන, විදෙස් රටවලට ඇමරිකාවේ අත පෙවීම සීමා කෙරෙන, ආදී තවත් යෝජනාවලීන් කිහිපයක්ද සම්මත කරගැනීමට සැළසුම් කර ඇති බවත් හේරත් පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවලීන් තවමත් සකස් කෙරෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් දැනට අදහස් පළ කිරීමේ හැකියාවක් නොමැති බව මාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

මෙවර මැයි දින රැලිය ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් අතර ජනපති මෛතී‍්‍රපාල සිරිසේනට ඇති පිළිගැනීම කෙබදුදැයි පෙන්වා දෙන්නක් වනු ඇත. එය ඔහු හමුවේ තිබෙන විශාල අභියෝගයකි. අනෙක් පසින් එක්සත් ජාතික පක්ෂය, රජයේ කටයුතු වල ප‍්‍රගතිය ජනතාව අතරට ගෙනයාමේ සමත් කාර්යක්ෂම මාධ්‍ය හැසිරවීමක් නොමැතිව පීඩා විදිමින් සිටී. මෙය එක්සත් ජාතික පක්ෂය කෙරෙහි ජනතාවගේ කලකිරීම තවත් වර්ධනය කිරීමට හේතුවක් වී ඇත. මේ හමුවේ රජයේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරුන් තම තමන්ගේ මතයන් ඉදිරිපත් කරමින් සිටීම ද රජයේ අනාගත පැවැත්මට කිසිසේත්ම සුභදායක නොවේ. අගමැතිවරයා හා ජනපතිවරයා දෙදෙනම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුමය.



අදහස් (0)

මහින්දගේ මැයි අභියෝගයට ජනපති මුහුණ දෙයි

විපුල Monday, 25 April 2016 05:03 AM

මහා පරිමාණ කැසිනෝ නවත්තුවට මොකද දැන් ගම්වල අශ්වයෝ ඉන්න කඩ අලුතින් දකින්න තිබෙනවා. (ම)

:       0       0

තිස්ස Monday, 25 April 2016 06:05 AM

එක එක්කෙනා කියනවා අපෙ ආණ්ඩුවක් හදනවා කියල .මේ තේරෙන්නේ නැද්ද රටේ ජනතාව බලය දුන්නේ කොහොමද කියලා.... තනියෙන් ආණ්ඩුවක් හදන්න ජනතාව කැමැත්ත දුන්නේ නැහැ .කියල තියෙන්නෙ ඔක්කොම එකතුවෙලා ආණ්ඩු කරන්න කියන එක. (ර)

:       0       0

පුලාරා Sunday, 24 April 2016 07:56 PM

රොහාන් මිගමුව, මොකද සමන්මලී ඡන්දයක් තියන්න ඕනෑ කියපු ගමන් බයෙන් වෙවුලන්න ගත්තේ? (නි)

:       0       0

කින් බෙනට් Monday, 25 April 2016 12:03 AM

විධායක ජනපතිකම දින 100 කින් අහෝසිකරනවා කියලා ඒ සඳහා තමාව දිනවන්න කියලා ඡන්දය දිනපු කෙනෙක් එසේ නොකර ජනතාවගේ කැමැත්ත බලන්න හදනවා නම් එයට වඩා විහිළුවක් වෙන නැහැ. රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ ඒ සඳහා බව දින 100 ක් යන්න කලින්ම අමතක කළා නම් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? අනික තමයි එහෙම දේශපාලන පොරොන්දුවක් ලබා නොදුන්නා නම් එජාපයට මෙහෙම ආණ්ඩුවක් පිහිටුවන්න කිසිම කාලෙක ලැබෙන්නේ නැහැ. ඒ නිසා එජාපයට මේ ලැබුන ආණ්ඩු බලය එක්වරක් පමණක් ඇදෙන ලොතරැයි දිනුමක්. එජාප පාක්ෂිකයෝ සහ දේශපාලකයෝ ඒ බව මතක තියාගත්තොත් හොඳයි (නි)

:       0       0

සමන් තිලකරත්න Monday, 25 April 2016 12:13 AM

බොහොම සමබර සහ නියම වාර්තාවක් ලියන ආකාරයෙන් ලියවුණ ලිපියක්. බොහෝ සතිඅන්ත දේශපාලන විස්තර, ඕපාදුප සහ ලේඛකයාගේ පුද්ගලික අදහස් උලුප්පා දක්වමින් ලියවෙනවා. නමුත් මේ ලිපිය ඊට හාත්පසින්ම වෙනස් නියම වාර්තාකරණයේ ලක්ෂණ පෙනෙන්නට තිබෙනවා. මේ ලිපිය ලියූ ලේඛකයාටත්, එය ඒ සැටියෙන්ම පරිවර්තනය කළ පරිවර්තකයාටත්, එය පළ කළ ලංකාදීප පුවත්පතටත් තුති! (නි)

:       0       0

පෙරේරා Monday, 25 April 2016 12:18 AM

පුෂ්පා කියන දේ හරියටම හරි. එයයි සිදුවිය යුත්තේ (නි)

:       0       0

සමන්මලී Sunday, 24 April 2016 09:40 AM

එක එක කෙනාට තියෙන නියම තැන බලන්න නම් ඡන්දයක් තියලම බලන්න ඕන...(හේ)

:       0       0

කවින්ද Monday, 25 April 2016 01:46 AM

මහින්ද මහතා මේ පාර ඉදිරියට එන එක නම් මොන බලවේගයකටවත් නවත්වන්න බැරිවෙයි (නි)

:       0       0

නෙවිල් Monday, 25 April 2016 01:53 AM

යහාපලනය අා ගමන් කළේ පෙට්‍රල් මිල අඩුකළ එක. ෆෝර්ට් සිටි නැවැත්තුව එක. මහාපරිමාණ ආයෝජකයෙක් කැසිනෝ ව්‍යාපාරයක් කරන්න ආ එක නැවැත්තුව එක. මේ සියල්ලම හේතුවුණා රටේ අාර්ථිකය බිඳ වැටෙන්න. පසුගිය ආණ්ඩුව තිබුනා නම් අාර්ථික සංවර්ධනය තවත් වේගවත් මේ වෙනකොට. මේවට රටේ ජනතාව වගකියන්නවත් පසුගිය පාලනය වගකියන්නවත් අවශ්‍ය නැහැ. කරන්න තිබුනේ කලින් සංවර්ධන ක්‍රියාමාර්ග ඒ අයුරින්ම කරගෙනයාම (නි)

:       0       0

විජේ Monday, 25 April 2016 02:05 AM

තාජුඩීන්ගේ මරණය අනිවාර්යයෙන් සෙවිය යුතුයි. රටේ දේශපාලකයන්ගේ උදවු ලැබුණු අපරාධයක් නම් අනිවාර්යයෙන් දඬුවම් දියයුතුයි. නමුත් මහත්මයෝ මගේ ප්‍රශ්නය ඇයි තාජුඩීන් විතරක්? ඇයි මෙතරම් ප්‍රසිද්ධියක්? ඇයි මේක පොලිසියට මේතරම් ඉක්මන්? කෝ එතකොට ලසන්ත? ඒක හදිසි නැද්ද? කෝ එකල දහස් ගණන් මියගිය තරුණයෝ? (නි)

:       0       0

රොහාන් මිගමුව Sunday, 24 April 2016 10:45 AM

සමන්මලී මොකට මහජන මුදල් නස්තිකරන්වද පසුගිය වසරේ ඡන්දයක් තිබුනේ එකෙන් එක එක කෙනාට තියෙන නියම තැන දැක්කේ නැද්ද. නැවත තැබුවත් ඒ ප්‍රතිපලයට වැඩිය යමක් ලබන්නේ නැහැ. (ර)

:       0       0

ධම්ම Sunday, 24 April 2016 11:01 AM

ආණ්ඩුවේ අභ්‍යන්තර සන්නිවේදනයේ තරම අපට හිතාගත හැකියි. (ර)

:       0       0

සුදේශ් Monday, 25 April 2016 02:57 AM

කාවින්ද ඔයා හරියට හරි. මේ බයිලා ගහන අයට ඒක ඉක්මනින්ම තේරෙයි.(රේ)

:       0       0

පුෂ්පා Sunday, 24 April 2016 11:55 AM

මිනිස්සුන්ට බදු ගහන්න ඉස්සෙල්ල රජයේ වියදම් අඩු කරන්න. ඇයි ඔය තරම් වාහන කන්දරාවක්? ඇයි ගණන් අඩු වාහන ගන්නේ නැත්තේ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1523 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 262 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4424 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 474 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 626 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2172 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site