ගෘහසේවිකාවක ලෙස අබුඩාබි රටට ගොස් වසර 17 ක් තිස්සේ කිසිඳු අනන්‍යතා සහතිකයක් හෝ හැදුනුම්පතක් නොමැතිව එරට පොලිසියට අසුවේ යැයි බියෙන් සැගවී ජීවත්වු විනීප්‍රීඩා ෆොන්සේකා(68) නම් ශ්‍රී ලාංකික කාන්තාවක එරට දේවස්ථානයක සිහිසුන්ව ඇද වැටී සිටියදී රෝහල් ගත කොට මහත් පරිශ්‍රමයක් දරා දිවි බේරා මෙරටට රැගෙන ආ දිරිය ශ්‍රී ලාංකික දියණියක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපට හමු විය.
මොරටුවේ පදිංචි රොමේන් ශාන්ති කාරියවසම් නම් වු මෙම තරුණිය දැඩි අසාධ්‍ය තත්වයෙන් අබුඩාබි හි දේවස්ථානයක සිහිසුන්ව බිම වැතිර සිටි විනීප්‍රිඩා මහත්මිය රෝහල ගත කිරීමට කටයුතු කර තිබු අතර ඇයගේ භාරකරු ලෙසද ඉදිරිපත් වී ඇත.
එතැන් සිට තම රැකියාවද පසෙකලූ රොමේන් විවද අභියෝග වලට මුහුණ දෙමින් රෝහල් ගත කළ විනීප්‍රීඩාගේ සුවදුක් බැලීමටත්, කිසිදු ලියවිල්ලක් නොතිබු විනීප්‍රීඩා පිළිබඳව අබුඩාබි තානාපති කාර්‍යාලයට දැන්වීමටත් කටයුතු කළාය.
විනීප්‍රීඩා සුවපත් කරගැනීමට අබුඩාබි තානාපති කාර්‍යාලයද ඉමහත් කැපවීමකින් කටයුතු කර ඇතී අතර අබුඩාබි තානාපති මහින්ද බාලසුරිය මහතාද රෝහලට පැමිණ විනීෆ්‍රීඩාගේ සුව දුක් සොයා බැළුවේය. ඔහු ඇය යම් තරමකට සුව වූ පසු යළි ශ්‍රී ලංකාවට එවිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
තානාපති කාර්‍යාලයේ පළමු ලේකම්වරුන් වන විශ්ව දිසානායක, එම්.ඊ.ජී සමරවීර, තෙවන ලෙක්ම් රුවන් ගුණතිලක, භාෂා පරිවර්තක සුහාහිර් අලහර් සහ දුම්න්ද සතරසිංහ, අනුර ගුණසේකර යන නිලධාරීහු ද රොමේන්ගේ සහාය ඇතිව විශාල පරිශ්‍රමයක් දරා විනීප්‍රීඩා සුව කරගැනීමට කටයුතු කර ඇත.
කිසිදු ලියවිල්ලක් විනීප්‍රිඩා සතුව නොතිබු බැවින් ඇයව මෙරටට එවීමට අවශ්‍ය ආගමන විගමන කටයුතු කර ගැනීම ඉතා දුෂ්කර කාර්‍යයයක් වී ඇත. කෙසේ වෙතත් අවසානයේ සියල්ලෝ එක්ව දුන් සහයෝගය නිසා රෝහලෙන් සිපිරි ගෙට යාමට සිටි විනීප්‍රීඩා යලි මෙරටට පැමිණීමට තරම් වාසනාවන්ත වූවාය.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඥාතීන් සමගද කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොතිබු විනීෆ්‍රීඩාව මෙරටට රැගෙන විත් ඥාතීන්ට බාර දීම තිබුනේද රොමේන් විසිනි.
විනීෆ්‍රීඩාගේ කතාවද මැද පෙරදිග යාමට පෙරුම් පුරාගෙන සිටින අපේ කාන්තාවට කදිම පාඩමක් උගන්වා ඇත. ඇය හඩමින් අප හා පැවසුවේ
‘‘මම මීට වසර 17 කට කලින් අබුඩාබි ආවේ. ඒ වෙනකොට සැමියා හා මම නීතියෙන් වෙන්වී සිටියා. දරු දෙදෙනාත් ඔහුගේ දෙමාපියන් බාරයට ගත්තා.
මගේ තනිකම සහ ඒ සිද්ධියේදී ඇති වු මානසික පිඩනය නිසයි මම මැද පෙරදිග ආවේ. මම මුලින්ම හිටියේ ජර්මන් යුවලක් ලග. ඒ අයගේ කොන්ත්‍රාත් කාලය ඉවරවුනාම මාව අරාබිකාරයෙකුට බාර දුන්නා.
ඔහු මගේ ගුවන් ගමන් බලපත්‍රය, හැදුනුම් පත ඇතුළු සියිළුම ලියකියවිලි අරගත්තා. ඒ විතරක් නෙමෙයි මට දිගටම අබුඩාබි වල ඉන්න හදලා දෙන්නම් කියලා ඩිරාම් 5500 කුත් ගත්තා. ඉන්පසු අද දෙන්නම් හෙට දෙන්නම් කිය කිය මග හැර සිටියා.
මේ වෙන කොට මම ලංකාවේ ඥාතීන් සමග සම්බන්ධතාවයක් පැවැත්වුයේත් නැහැ. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ටද මාව අමතක වී තිබුනා.
මැද පෙරදිග තනිවු මා ලංකාවට යාමට කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. එයට හේතුව වුනේ මා අත කිසිදු ලියවිල්ලක් තිබුනේ නැති නිසා පොලිසියෙන් අල්ලා ගනීවි යැයි දැඩි බියක් මා තුල ඇති වී තිබුනා.
ඔහොම ඉන්නකොට ලංකාවේ කාන්තාවන් කිහිපදෙනෙකු ඔවුන් නවාතැන්ගෙන සිටි තැන මට නවාතැන් දුන්නා. ඔවුනුත් මා මෙන්ම ලියකිය විලි නැතිව ඉන්න අය. ටික දවසක් යනකොට මා ඒ ජීවිතයට හුරු වුනා. අදුනන අයගේ මාර්ගයෙන් ජීවත්වෙන්න ඕන නිසා තැන් තැන් වල සුළු සුළු වැඩ කළා. ඒත් හොරෙන් හොරෙන් කළේ.
මේ වෙනකොට මා මානසිකව පිරිහිලා වැටිලා තිබුනේ. ලංකාවේ ඥාතීන් සමග තිබුන සම්බන්ධකම් නැතිවෙලා ගියා. මට නිතර නිතර හැදුන වේලූන කැස්සක් තිබුනා. රෝහලකට ඇතුලත් වෙන්න විදිහක් නැහැ හැදුනම් පතක් නැති නිසා. මේ රෝහල් වල හැදුනුම් පතක් නැතිව ඇතුලත් කරගන්නේ නැහැ. එහෙම ගියාම පොලිසියට අහුවෙයි කියලත් බයක් තිබුනා.
මගේ අසනීප තත්වය දිනෙන් දින උග්‍ර වුනා. කැස්ස එන්න එන්නම වැඩිවුනා. මා නවතැන් ගෙන සිටි ස්ථානයේ සිටි කාන්තාවන් පවා මා රෝහලකට ගෙන ගියේ නැහැ. ඔවුනුත් අහුවෙයි කියා ඔවුන් මා ප්‍රථීකාර ගන්නවාටත් එතරම් කැමැත්තක් දැක්වුයේ නැහැ.
ඔය අතරෙදි තමයි මම දසවක් පල්ලියට ගියේ. එතනදි මම කලන්තේ දාලා වැටිලා තියෙනවා. මේ රොමේන් ශාන්ති දුවත් පල්ලියට ඇවිත් තියෙනවා. වැටිලා හිටපු මාව දැකලා එයා ඇමිබියුලන්ස් එකකට කතා කරලා භාරකරායා වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා.
ඒ විතරක් නෙමෙයි අබුඩාබි තානාපති තුමා මාව බලන්න ආවා. මැරන්න ගිය මාව හිරේට යවන්නේ නැතුව ලංකාවට එන්න ලැබුනේ තානාපති තුමත් ඒ නිලධාරීනුත් මා වෙනුවෙන් කැප වී ක්‍රියා කළ නිසයි. මා ඔවුන්ට සදා නය ගැතියි‘‘.
නාදුනනා රටක නාදුනනා ගැහැනියකට දියණියක් වු රොමේන් ශාන්ති තම රැකියාව පවා අහිමි කරගනිමින් තමා කළ මෙහෙවරේ අවසානය පිළිබඳදව තෘප්තිමත්ව කතා කරන්නීය.
‘‘මම පසුගිය සැපතැම්බර් 14 වෙනිදා දවල් පුජාවට අල් මුෂරීෆ් වල ශාන්ත ජෝසප් දේවස්ථානයට ගියා. විනිෆීඩා නැන්දාව මම කලින් දැකලා තියෙනවා පල්ලියට එනවා. ඒත් කවදාවත් කතා කරලා නම් තිබුනේ නැහැ.
මම වෙනත් අයෙකුගෙන් දැනගත්තා ලංකාවේ කෙනෙක් කලන්තෙ දාලා වැටිලා ඉන්නවා කියලා. මම එතනට යනකොටම ඉන්දියානු ජාතිකයෙක් ‘999‘ අංකයට කතා කරලා ගිලන් රථයක් ගෙන්නුවා.
සහන සේවකයෝ කිව්වා බරපතල රෝගියෙක් රෝහලට ගිනියන්න වෙනවා භාර කාරයෙක් ඉදිරිපත්වෙන්න කියලා.
මුලින්ම කිසි කෙනෙක් ඉදිරිපත් වුනේ නැහැ. මෙයා කව්ද කියලවත් දන්නේ නැති වුනත් ලංකාවේ කාගේ හරි අම්මා කෙනෙක්නේ කියලා හිතාගෙන මම භාරකාරයා වශයෙන් ඉදිරිපත් වුනා.
ඇත්තටම ඇය හරිම වාසනාවන්තයි මොකද ඇයව අරගෙන ගියේ ඒ රටේ රජතුමාගේ නමින් තියෙන ෂේක් කළීෆා කියන ඉතාම උසස් තත්වයේ රෝහලකට. සාමාන්‍ය කෙනෙකුට ඒ වගේ රෝහලකට ප්‍රථීකාර සඳහා ඇතුළු වීමටත් හරිම අමාරුයි.
ඇය ඇතුළු කරලා ඇය ගැන විස්තර හොයලා බැළුවම තමයි මම කරපු වැඩේ බරපතලකම තේරුනේ.
මොකද අවුරුදු ගානක් මෙයා මේ රටේ හොරට ඉදලා. අඩුම ගානේ හැදුනුම්පතක් වත් තිබුනේ නැහැ. මම තානාපති කාර්‍යාලයට කතා කරලා ඇය ගැන විස්තරේ කිව්වා.
මෙයාව විදේශීය වෛද්‍යවරු පවා පරීක්ෂා කළා. හිතාගන්න බැරි තරමට මෙයා ගැන ඒ වෛද්‍යවරු සොයා බැලූවා. පසුව අල් ජසීරා රෝහලට මාර කළා.
ඇගේ පෙනහළුවල වතුර තිබුනා. වෛද්‍යවරු ඒ වතුර අයින් කළා. ඇයට පෙනහළු පිළිකාවක් ඇති බව කිවු වෛද්‍යවරු ඇයවද දැනුම්වත් කළා. වෛද්‍යවරු කිව්වා ලොකු මුදලක් මෙයා වෙනුවෙන් වැය කරන්න වෙනවා කියලා.
අපි ඇය ගැන විස්තර වෛද්‍යවරයාට කියා අනුකම්පාව ලබා ගත්තා. පහුවදා ඇය ගැන සාකච්ඡාවක් තියෙනවා තානාපති නිලධාරීන් එනවා භාරකාරයටත් එන්න කියා වෛද්‍යවරු කිව්වා.
ඇගේ පිළිකාව පපුවේ වම් පැත්තේ ඉඳලා දකුනට ගිහින් බඩටත් ගිහින් තියෙනවා මෙයාට විශේෂ ඛෙහෙත් හතරක් දෙන්න වෙනවා. පලවෙනි ඛෙහෙත ඩිරාම් විසිපන්දහසක්, ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ අටකට ආසන්න ගානක්. දෙවැනි ඛෙහෙත ඩිරාම් පනස්දෙදාහක් කිව්වා.
අපි ඇගේ විස්තර කිව්වාම විශේෂ අනුකම්පාවක් ඇයට ලැබුනා. ඔවුන් ඒ අනුකම්පාව නිසාම පළමු ඛෙහෙත ඇයට නොමිලේ ලබා දුන්නා. තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය මහතාත් රෝහලට ඇය බලන්න ආවා. මම හිතන්නේ මැදපෙරදිග තානාපතිවරයෙක් මෙවැනි රෝගියෙක් බලන්න ආ පළමුවැනි අවස්ථාව මෙය වෙන්න පුලූවන්.
තානාපති නිලධාරීන් සියළු දෙනාම ඔවුන්ගෙන් විය යුතුකම් සේරම නොපිරිහෙලා ඉටු කළා.
ඊලගට අපිට ඔන කළේ මෙයාට ලංකාවට එන්න අවශ්‍ය ලියිකියවිලි ටික හදාගන්න. අපි ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියේ ටිකක් බයෙන්. මමයි සමරවීර මහත්තයයි භාෂා පරිවර්තකයි ගියේ. මොකද පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් ඒ රටවල් වල නීති තද නිසා ඇයව බන්ධනාගාර ගත කරන්නත් ඉඩ තිබුනා. අපට උවමනා වුනේ ඇයව රෝහලෙන් මුදා හළ විගස ලංකාවට ගෙනි යන්නයි.
තානාපති නිලධාරීන් ඇයගේ අසනීප තත්වය ගැන ඔවුන්ට පැහැදිලි කර අනුකම්පාව ලබා ගැනීමට සමත් වුනා.
මෙම් ක්‍රියා දාමය සිදුවුනේ එකින් එක. එක දවසකට ඇගේ විස්තර සැපයෙව්වා. තවත් දවසක ඇගේ වෛද්‍ය වාර්ථා ඉදිරිපත් කළා. දින කිහිපයක් යද්දී ඔවුන් ඇයට රටින් පිටවීමට අවශ්‍ය ලියකියවිලි සකස් කර දුන්නා. රෝහලෙන් ලියුමකුත් ලබා ගත්තා.
එහිදී අපට ඔවුන් සහනයක් ලබා දුන්නා.
ඇත්තෙන්ම තානාපති තුමාටත් එම නිලධාරීන්ටත් අබඩාබි රජයටත් ස්තුති වෙන්න ඕනා වීසා නැතිව මෙපමණ කාලයක් ඉදලත් කිසි දඩුවමක් නොවිද මේ ආකාරයෙන් සහන සලසා ඇයට ලංකාවට ඒමට අවසර දීම පිලිබඳව.
මෙතනදි තානාපති මහින්ද බාලසුරිය මහතාටත් එහි පළමු ලේකම්වරුන් වන විශ්ව දිසානායක, එම්.ඊ.ජී සමරවීර, තෙවන ලෙක්ම් රුවන් ගුණතිලක, භාෂා පරිවර්තක සුහාහිර් අලහර් සහ දුම්න්ද සතරසිංහ, අනුර ගුණසේකර යන සියළුම දෙනාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඇය වෙනුවෙන් වෙහෙසුනාට.
ඒ වගේම ශාන්ත ජෝෂප් පල්ලියේ මීසම පාලක සවරි මුත්තු පිය තුමාට මා ඇය ගැන විස්තර කව්වා. මේ වන කොට ඇයට උවටරන් කරන්න් ගිහින් මට රැකියාවත් නැවතුනා. ඒ නිසා මා ලග තලාකු මුදලත් තිබුනේ නැහැ ඇයව ලංකාවට ගිනිහින් අරලින්න.
මම පියතුමාට කිව්වා ඈට කාත් කව්රුත් නැති නිසා මම ඇයව ලංකාවට අරන් ගිහින් ඥාතීන්ට බාර දෙන්නම් කියලා. පියතුමා මට ගුවන්ටිකට් පත් ලබා දුන්නා ඇයව රැගෙන එන්න.
ඇත්තෙන්ම මගේ යුතුකම දැන් ඉවරයි නමුත් ඇය ජීවත් කරවීමට නම් ඇයට අබුඩාබි රෝහලෙන් දුන් බෙහෙත එන්නත් කල යුතුයි. ඒ සදහා විශාල මුදලක් වැය වෙනවා. මා නැවත තව දින කිහිපයකින් අබුඩාබි යනවා. ඇත්තෙන්ම ඇය ගැන මට හරිම දුකයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් ක්‍රියාවක්.වෙනත් තානාපති කාර්යාලත් සමඟ සසඳන විට අබුඩාබි තානාපති මහින්ද බාලසුරිය.සමරවීර මහතා හා කාර්ය මණ්ඩලය හොඳ සේවයක් කරනා බව නම් නො රහසක්. (ස)
ඔබ සැමට දෙවි පිහිටයි! (නි)
ඔන්න අබුඩාබි තානාපති කාර්යාලයේ තවත් වීර ක්‍රියාවක්. එම සහෝදරියටත්, මහින්ද බාලසුරිය මැතිතුමාටත්, සමරවීර මැතිතුමාටත්, අනෙක් නිලධාරීන් සැමටත් උපහාරයක්ම වේවා! (නි)
මාත් හොයන්නේ ඔන්න ඔය වගේ විපතේදී අත් නොහරින ලස්සන නෝනා කෙනෙක් තමයි. ඔයාට බුදුසරණයි (නි)
මා සේවය කරන්නෙ අබුඩාබි වල.... අපේ තානාපති කාර්යාලය ගැන යමක් කිව යුතුමයි... මා දන්නා තරමින් දැනට ඇති හොඳම තානාපති කාර්යාලය සහ නිහතමානී සේවක පිරිස ඇත්තෙ අපේ කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් අබුඩාබි තානාපති කාර්යාලයයි.එහි සේවය කරන සියලු දෙනාටම ප්‍රසංශා කල යුතුයි.. (ස)
වාසනාවන්ත මවක්, පින්වන්ත දියණියක්, නිහතමානි නිල දරුවෙක්.ඔබ තිදෙනාම ඉතාම පින්වන්තයි.සසරේ කොතැනම හරි බැඳිමක් තිබෙන්න ඇති.ඉහත සදහන් පරිදි තානාපති කාර්යාලයක් ප්‍රසාදයට ලක්වූ ප්‍රථම අවස්තාව මෙය විය යුතුයි.මුල් පුටුව නිහතමානිවූ තරමට පහළ නිලධාරීන් කාර්යක්ෂමයි. මෙය හොඳම නිදසුනක්. දිරිය දියණියත්, තානාපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත්, ගරු පියතුමාත්, දෙවිවරු වන් වෛද්‍ය වරු සහ එම කාර්ය මණ්ඩලයත් විදෙස් ගතව සිටින අප සියලු දෙනාම හිස නමා කරන ආචර පිළිගනිත්වා. සැම දෙනාටම තමන් පතන්නාවූ නිවන, මෝක්ෂය, සඳහා දොරටු විවෘත වේවා! (ස)
උපන් රටේ නම්බුව පවා විකුණන ගෑණු ඉන්න රටක, ඔබ වැනි කෙනෙක් ඇයට අම්ම කෙනෙක් වීම ලොකු පිනක්. ඔබට ලෝක වාසී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා........ (ස)
ඔබට මගේ හද පත්ලෙන්ම මගේ සුබ පැතුම්! පින් මේ වගේ අයට උදවු කළාට (නි)
ඉතා හොඳ මනුෂ්‍ය දුවක්, ඒ වගේම හොඳ නිලධාරීන් කණ්ඩායමක්. අබුඩාබි බලධාරීන්ට ස්තුතියි.පල්ලියේ ස්වමිටත් ඒ වගේම ස්තූතියි. අර උදවු කළ නංගිට විදෙස් සේවා නියුක්ත කාර්යංශයෙන් යම් කිසි පරිත්‍යාගයක්(මුදල්) කරනවා නම් හොදයි. (නි)
මමත් මේ නැගණියට පින් දෙනවා මෙවන් උතුම් ක්‍රියාවක් කලාට, තානාපති තුමා ඇතුළු සැමටත් ස්තුතියි., මං ඉන්න රටේ තානාපති කාර්යාලයට ගියා මං ලඟදි දවසක් ..!! මගේ පාස්පෝට් එක ඕල්කන්ට්‍රි කර ගන්න කෝල් කරලා ඇහුම ඔව් පුළුවන්, ඒ වෙලාවේම කරලා දෙනවා කීවා ඩොලර් 50ක් ගන්නවා කීවා ., මගෙන් ඩොලර් 50ක් අරගෙනත් දවස් දෙකක් යන්න උනා වැඩේ කර ගන්න මට දීපු රිසිට් එකත් ඒ මිස් ආපහු ගත්තා. නම සදහන් කරන්න ඒ මිස් ගේත් අත්සන් කර මහත්තගේත් නම් නොදනිමි.., මං දන්නා අයගෙන් සොයා බැලුවා වැඩේට යන්නේ ඩොලර් 10යිලු (ඇමරිකන් ඩොලර් ) ඒ අතින් අබුඩාබි නිලධාරීන් කොච්චර හොඳ අයද ??? (ස)
දෙවියන් වැඩ සිටින්නේ මෙවන් අයගේ හදවත් තුළයි (නි)
පළමුව එම සහෝදරියට ප්‍රණාමය .අබුඩාබි තානාපති කාර්යාලය නිලධාරීන් ගැන හැමදාම අපිට හොඳ අහන්න ලැබෙනවා.අනෙක් මැද පෙරදිග රටවල් වල තානාපති නිලධාරීන් අබුඩාබි තානාපති නිලධාරීන් අනුගමනය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. (නි)
දේවස්ථානයේ හමු වී මෙලෙස පිළිසරණ ලැබීම මට පෙන්නේ සංසාරගත බැදීමකින් වූ දෙයක්. ඔබ දෙදෙනාම දෙව් දුවණියන්. කාර්ය මණ්ඩලයත් ඉතා වටිනා ක්‍රියාවක් කරලා තියෙන්නේ. (ස)
සහය වූ සැමටම තෙරුවන් සරණයි!!! තානාපති ආචාර්ය මහින්ද බාලසුරිය මහතා ගැන හොඳ දේවල් කීප වතාවක්ම ඇහුවා. සන්තෝසයි ඔබතුමා ගැන!!!! (ස)
ජාතිය, ආගම මොකක් උනත් හොඳ වැඩ කරන මිනිස්සු තාමත් ලෝකෙ ඉන්නවා.ඒක අපි හැමෝගෙම වාසනාව.වැඩේට එකතු වුණ හැමෝටම තෙරුවන් සරණයි. (ස)
ඔයා අබුඩාබි ජීවත් වන ගෑණුන්ගේ මනුස්සකම දන්න සහෝදරියක්. ඔයාට දෙවි පිහිටයි. (ස)
දුව, ඔබට දේව ආශිර්වාදය ලැබෙනවා (නි)
හිතට එන දේවල් ගොඩයි. කියන්න වචන නෑ. (ස)
මේ ලිපියේ තියෙන්නේ ....රෝමන් අක්කගේ ගැන බොහොම කෙටියෙන් නමුත් මේ රෝමන් අක්ක පල්ල්ලියේ වැඩ වලට තමන්ගේ කාලය ශ්‍රමය කැප කරන කෙනෙක්....බොහොම හොඳ කාන්තාවක් .......ජේසු පිහිටයි අක්කේ ඔයාට .....(පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කරුණ කරලා මේ අක්කට රැකියාවක් හොයල දෙන්න ) (ස)
අනේක තානාපති කාර්යාලවලට අබුඩාබි තානාපති තුමා ආදර්ශයක් (ස)
මෙය කියවන විට මට ඇඩුනා ,වචන නැහැ කියන්න, නමුත් කදුලුවල අදහස් ගොඩක් පැවසුවා. (ස)
සුබ දසුන්, ඉතා අනගි කාර්යයක් සිදු කරලා තියෙන්නේ. හැමෝටම පින් (ස)
ඔයා අබුඩාබි ජීවත් වන ගෑණුන්ගේ මනුස්සකම දන්න සහෝදරියක්. ඔයාට දෙවි පිහිටයි. (ස)
රොමේන් ශාන්ති කාරියවසම් මෙනෙවියට මගේ ප්‍රණාමය!මෙවැනි අය හට දේව රැකවරණ සහ ආරක්ෂාව ලැබෙන්න ඕනෑ (ස)
මේ, මහින්ද බාලසූරිය මහත්තයා ඇතුළු කණ්ඩායම මීට ඉස්සරත් මේ වගේ අසරණ ගෘහ සේවිකාවකට පිහිට වෙලා ලංකාවට එවලා තිබුනා. මේ වගේ තානාපති වරුන් හා නිලධාරීන් ඉතාම අගය කරන්න ඕන.මැද පෙරදිග ඉන්න අනිත් තානාපති වරුන්ටත් මේක ආදර්ශයක්.,,,මේ අයට කොපමණ කලක් ඔහේ ඉන්න ලැබෙයි ද දන්නේ නැහැ,,,ගුරු මහත්වරුනි ඔබ වැනි අය රටට ආඩම්බරයක් ,,,,,, (ස)
විදේශත වුවන්ට සිදු වන දේවල් ගැන හරිම කණගාටුයි (දිල්)
අක්කේ, ඔයා කළේ හොද වැඩක්. ජේසු පිහිටයි! (නි)
නියමයි අක්කේ (නි)
අක්කේ, ඔබට පින් මේ මවට උදව් කළාට.ඒ වගේම අබුඩාබි තානාපති කාර්යාලයේ සැමටත්,පියතුමාටත් මේ මව ලංකාවට එවීම ගැන ප්‍රණාමය...! (නි)
ඇය ගැන නොදන්නා කෙනෙක් නැහැ. (නි)
ඉතා හොද කතාවක් (නි)
නොදන්න පිරිමියෙකුට උදව් උපකාර කළත් කාන්තාවකට උදව් උපකාර කිරීමට පෙර වරක් දෙවරක් නොව කීප වාරයක්ම සිතා බැලිය යුතුය. මොකද පිරිමි වගේ නොව කාන්තාවන් කළ උපකාරය ඉතාම ක්ෂණිකව අමතක කරන ජාතියක් බැවිනි. මම ද කාන්තාවක්මි. නමුත් කාන්තාවක වශයෙන් කාන්තාවන් අතර ඇති දුර්වලතා හදා ගැනීමේ චේතනාවෙන් මෙසේ පැවසීම මගේ යුතුකමක් යැයි සිතමි. (නි)
ඔබට පින්! කව්රු කව්රුත් ඉසුරු සොයා යාමේදී කල්පනාකාරී වන්න. ගෙනා ඉසුරු ගන්නට බලා ඉන්න, ගලන ගගෙන් වතුර කෝප්ප පුරවා ගන්න කෙළ ගිලින නිහීන මිතුරනුත් මිනිසුන් ලෙස හිතන්න පුරුදු වන්න... (නි)
රෝමේන්,ඔබ කටයුතු කළ ආකාරය ගැන මට හරි සතුටුයි. ඔබත් හරියට ශු.බයිබලයේ දක්වා තිබෙන යහපත් සමරිතානුවරයා වගේ.ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා!! (නි)
සියල්ල සිදුවන්නෙ දෙවියන්ගෙ ආශිර්වාදය මාතය. (අ)
මේවා අපේ ගැහැණුන්ට හොද පාඩම්. ගෙදරත් සමග රණ්ඩු වුණාම රට යනවා. ඊට පස්සේ අතරමං වෙනවා. (නි)
උදව් කළ කෙනා කිසිම ආත්මයක රෝගී වෙන්නේ නැහැ. එයාට බුදු සරණයි! (නි)
මේ තානාපති නිලධාරීන් වගේ අනිත් අයත් වැඩ කළා නම් රිසානාව බේරාගන්න තිබුනා. මේ අය අනුකම්පාව ලබා ගන්න දවස් තනකක් ස්ටෙප් බයි ස්ටෙප් ගිහින් තියෙනවා. අන්න එහෙම තමයි වැඩකරන්න ඕනේ. (අ)
ඔබ ලොකු පිනක් කරගත් වාසනාවන්ත දියණියක් (නි)
තවම අපේකම අපේ අය ළග තිබෙනවා (නි)
හරිම හොඳ තානාපති කෙනෙක්. ඔය වගේ කෙනෙක් සෞදි අරාබියටත් එවන්නකො. ඒ වගේම මේ නංගිටත් ගොඩක් පින් මේ වගේ අයට උදවු කළාට (නි)
වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. (නි)
මමත් අබුඩාබි කියන රටේ වැඩකරලා තිබෙනවා. නීතිය නම් හරිම නපුරුයි.වරදක් කළොත් කිසිම සමාවක් නැහැ. ඉතින් මේ විදියට අවුරුදු 17ක් ඒ විදියට ඉදලා ලංකාවට එනවා කියන්නේ එය ඇදහිය නොහැකි ප්‍රතිහාර්යයක්. මුලින්ම රොමේන් අක්කාට පින් උදව් කළාට. ඊළගට ආචාර්ය මහින්ද බාලසුරිය මහත්තයාගේ කැපවීම උනන්දුව අගය කරනවා. ඔවුන් සමාජයට කළ සේවය අගය කළ යුතුයි. ජීවිතයක් නැති කරන්න හරිම පහසුයි. නමුත් කෙනෙක් ජීවත් කරන්න හරිම අමාරුයි.අපේ දීපා අක්කටත් ගොඩක් ස්තුතියි. මම බලපිටියේ රොෂේන් ද සිල්වා (නි)
කරලා තිබෙන දේ හොඳයි. (නි)
රොමේන් ශාන්ති කාරියවසම් මෙනෙවියට මගේ ප්‍රණාමය!මෙවැනි අය හට දේව රැකවරණ සහ ආරක්ෂාව ලැබෙන්න ඕනෑ (නි)
දයාබර සොහොයුරිය, ඔබ කළ මේ යුතුකමට අනිවාර්යෙන්ම දෙව් පියාණන්ගේ ආශිර්වාදය ලැබෙනවා. තානාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මගේ කෘතඥතාවය පුද කර සිටිමි. ඔබ සැමටම දීර්ඝායුෂ ලැබේවා. (නි)
ගොඩක් පින් කාරියවසම් සොයුරියට. එසේම අබුඩාබි තානාපති කාර්යාලයේ තානාපති මහින්ද බාලසුරිය මහතා සමරවීර මහතා සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට. (නි)
සිනාව සහ රසය නොමැති වූ විට මිනිසුන් සිය දිවි නසා ගනු ඇත (නි)
සන්තෝෂයි ඔබගේ ක්‍රියාවට. ජය වේවා දිරිය දියණියට! තානාපති ඇතුළු උදව් කළ සැමටත් පින්! (නි)
මමත් ඉන්නේ අබුඩාබි වල. ඇත්තම කියනවා නම් මෙහෙ තානාපති කාර්යාල නිලධාරීන් සහ තානාපතිතුමා බොහොම ලෙන්ගතුයි, ලංකාවේ අපිට. වෙන රට වල ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමග බැලුවහම අබුඩාබි තානාපති කාර්යාලය ලාංකිකයන්ට කරන සේවය ගොඩක් ඉහළයි. (නි)
සොයුරියේ, ඔබට ඉක්මන් සුවය පතනවා (නි)
දිරිය දියණියට ස්තුතියි. (නි)
බුදු අම්මේ, රට යන්න එපා...! පේනවා නේද සිංහල තානාපතිවරයෙක් ඉන්නකොට ලංකාවේ කෙනෙකුට ලැබෙන වටිනාකම? උදව් කළ සියල්ලටම පින්. (නි)
ඔබට ශාන්තියක්ම වේවා! මෙවැනි අය තවත් බිහිවේවා! (නි)
රොමේන්, ඔබ ගැන ආඩම්බරයි,ඔබ කළේ උතුම් ක්‍රියාවක්.ඔබට සුබ අනාගතයක්ම වේවා! (නි)
ඔන්න හොඳ මිනිස්සු (නි)
ඇත්තටම මගේ ජීවිත කාලයටම එතෙර තානාපතිවරයෙකුට යමෙක් හොඳක් කියනවා ඇසුව පළමු වතාව. අපට අවැසි වන්නේ මෙවැනි නිළධාරීන්. අනුන්ගේ දහඩිය මහන්සිය ස්වර්ගයක් කරගෙන සිටින අනෙකුත් රටවල තානාපති නිලධාරීන්ගේ නෙත මෙම පුවත ගැටී, යහපත් මිනිසුන් වීමට අද සිටවත් වෙර ගනිත්වා කියා ප්‍රාර්ථනා කරමි. එසේම මෙම යහපත් ක්‍රියාවට දායක වුණ රොමේන් සහෝදරියට යහපත් අනාගතයක් වෙනුවෙන් සුභ පතමි. (නි)
දියණිය, ඔබ වැනි උතුම් පුද්ගලයන් ඉතා කලාතුරකින් මුණ ගැසෙනවා. ඒ වගේම කැපවී අවංක සේවයක් කළ එම නිලධාරී මණ්ඩලයට සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් විනිෆ්‍රීඩා මහත්මියටත් මගේ ගෞරව පුර්වක ස්තුතිය පුද කරමි. මෙම විස්තරය පල කළාට ලංකාදීප කතු මණ්ඩලයට නොවක් තුති. කරුණාකර විනිෆ්‍රීඩා මහත්මියගේ ගිණුම් විස්තර ලබා දෙන්න. සැමට තෙරුවන් සරණයි! (නි)
රොමේන් ශාන්ති කාරියවසම් නංගී, අද වැනි සමාජයක ඔයා වැනි අය හරිම උතුම් නංගෝ. මගේ හද පත්ලෙන්ම මගේ සුබ පැතුම්! (නි)
දෙවියන් වහන්සේ අනුමත කරන එතුමන් වහන්සේ වෙනුවෙන් කරන ලද නියම පූජවක්ය. (අ)
ජානි කියපු එක හරියටම හරි. රොමේන් දෙවියන් වහන්සේව නමට විතරක් නැතුව ඇත්තටම අදහන කෙනෙක් වෙන්න ඇති. මෙහෙමනේ දේවල් කරන්න ඕනෑ. මේ අවස්ථාවේ මේකට සම්බන්ධ සියළු පාර්ශව අනර්ඝ විදිහට කටයුතු කරලා තිබෙනවා. මේ අපේ රටේ අයගේ කාර්යක්ෂමතාවයේ ඉහළම උදාහරණයක්. මෙහෙම ගොඩක් අය ලංකාවේ දේවල් කරනවා නම් (ලංකාවේ ඇතුලේ සහ පිට) අපේ රට ඉස්තරම් විදිහට දියුණු වෙයි සහ අපේ රටේ අයට පිටරටදී ඉහළ නම්බු සමග ඉන්න පුළුවන් වෙයි (නි)
මැද පෙරදිග රටවලට තානාපතින් හැටියට යවන්න ඕනෑ සිංහල අය කියලයි මම කියන්නේ (නි)
ජානි, ඔබගේ අදහස මෙන්ම ප්‍රාර්ථනාවටත් මමද සම්බන්ධ වනවා. එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන්ගෙන් එම රාජකාරිය නිසි ලෙස ඉටු කරන අතලොස්සක් අතරින් ආචාර්ය මහින්ද බාලසුරිය මහතා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලයටත් ස්තුති කරනවා. (නි)