අංජුල මහික වීරරත්න
පෑලියගොඩ පිහිටි රේගු ගුදමක සිදු කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි 18.19ක ඇස්තමේන්තුගත වීථි වටිනාකමකින් යුත් ‘හෂීෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ එම රේගු ගුදමේ සේවයේ නියුතු රේගු නිලධාරීන් සමත් වී තිබේ.
මැලේසියාවේ සිට මෙරටට එවා තිබූ පාර්සල් තුනක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විශේෂ පරීක්ෂාවකදී මෙම සැකකටයුතු පාර්සල් හඳුනාගෙන ඇති අතර, අදාළ පාර්සල් භාරගැනීමට පැමිණෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ අරමුණින් ඒවා රඳවා තබා ගැනීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, නියමිත කාලසීමාව තුළ කිසිවෙකුත් එම පාර්සල් භාරගැනීමට නොපැමිණීම හේතුවෙන්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේ එම පාර්සල් විවෘත කර පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, රේගු ගුදමේ සේවයේ නියුතු රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව අදාළ පාර්සල් තුනම පූර්ණ පරීක්ෂාවට ලක් කර තිබේ.
එම පරීක්ෂාවේදී පාර්සල් තුළ සඟවා තිබූ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18.193 ක් සොයාගෙන ඇත.
මූලික රේගු විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd