රුසියන් හමුදා දිගින් දිගටම යුක්රේනයට පහර දෙයි. රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, ට්‍රම්ප්ගේ විශේෂ සාම නියෝජිත ස්ටීව් විට්කොෆ්, රුසියාවේ මොස්කව් නුවරදී, රුසියන් ජනාධිපති පුටින් හමුවී සාකච්ඡාවක් ද පැවැත්වීය.

එම සාකච්ඡාවලින් පසුව ද පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදාව යුක්රේන නගර කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

යුක්රේනයේ කියුබ් නගරයට එල්ල වූ රුසියන් හමුදා ප්‍රහාරවලින් කුඩා දරුවන් සිවු දෙනකු ඇතුළු 15 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. කියුබ් නගරයේ ඩ්නිප්‍රෝ නදිය හරහා ඉදි කළ පිව්ඩෙනි පාලමට හානි වන ආකාරයට රුසියන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

කියුබ් නගරයේ යටිතල පහසුකම්වලට හානි සිදුවුණු බව කියුබ් නගරාධිපති විටාලි ක්ලිච්කෝ මාධ්‍ය හමුවේ පවසා තිබේ. ඊට අමතරව, යුක්රේනයේ ලොසෝවා නගරයේ වෙළඳපොළකට එල්ල වූ රුසියන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් දෙදෙනකු මියගිය බව  ද වාර්තා වේ.