(අංජුල මහික වීරරත්න)

මිහින්තලේ මිහිඳු මහ සෑයේ කොත් නිරාවරණය කිරීමේ පින්කමේ ප්‍රධාන ආරාධිතාව ලෙස සහභාගී වූ තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක් නොදීමෙන් පෙනෙන්නේ මාලිමා රජයේ අපරිණත විදෙස් පිළිවෙත බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය.

මිහින්තලය මිහිඳු මහ සෑ රදුන්ගේ කොත්වහන්සේ නිරාවරණ පුණ්‍යෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනී සුපජී සුතුම්පුන් (Suphajee Suthumpun) මැතිණියගේ ශ්‍රී ලංකා සංචාරයේදී එතුමියට කිසිඳු රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් හෝ ලබා නොදීම මගින් මාලිමා රජයේ අපරිණත විදෙස් පිළිවෙත යළිත් තහවුරු කරනු ලැබිණ.

නිල වශයෙන් හෝ නොනිල ලෙස හෝ මෙරටට පැමිණෙන නායකයින්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම සහ ආරක්ෂාව ලබාදීම සම්ප්‍රදායක් ලෙස සිදුකරනු ලබයි. මේ සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙනයමින් බලයේ නොසිටි මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පවා හිටපු අග්‍රාමාත්‍යවරයාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට එවකට පැවැති රජය පියවර ගත්තේය.

මිහින්තලය මිහිඳු මහ සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණ පුණ්‍යෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සුපජී සුතුම්පුන් මැතිණිය සහභාගී වූයේ තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනිය ලෙසය. එසේම ඉහත පූජෝත්සවය මෙරට බුද්ධ ශාසනයේ වැදගත් උත්සව අවස්ථාවක් ලෙස සැලකිණ.

තායිලන්තය අනාධිමත් කාලයක සිට ශ්‍රී ලංකාව සමග ළඟින්ම සිටින රටකි. තායිලන්තයේ සිට කොත් කැරැල්ල සහ චූඩා මාණික්‍ය වැඩමවීමට පියවර ගත් එරට නියෝජ්‍ය අගමැතිනියට මේ ආකාරයට කුඩම්මාගේ සැලකිල්ලක් දැක්වූයේ මන්දැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යවරයා වහාම රටට කිව යුතුය.