(අංජුල මහික වීරරත්න)

කාවන්තිස්ස හස්තියාට සිදු වූ  ඛේදවාචකය වැනි දේ යළි සිදු වෙන්නට ඉඩ නොතැබිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

පරිසර නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මධ්‍යම පරිසර අධිකාරිය මගින් 11 වන වරටත් සංවිධාන කළ "ජනාධිපති පරිසර සම්මාන 2026" සම්මාන ප්‍රදානෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය  මේ බව සඳහන් කළාය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.

ස්වාභාවික සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කළ ආයතන වෙනුවෙන් මෙහිදී රන්, රිදී, ලෝකඩ සහ කුසලතා සම්මාන 195ක් පිරිනැමුණු අතර, රන් සම්මාන ප්‍රදානය සිදුවූයේ අග්‍රාමාත්‍යවරියගේ  සහභාගීත්වයෙනි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි ජාතික වස්තුවක් වූ කාවන්තිස්ස හස්තියාගේ අවාසනාවන්ත වියෝව පිළිබඳව රජය දැඩි කම්පාවට පත්වන බව කී අග්‍රාමාත්‍යවරිය මෙවැනි පාරිසරික අපරාධ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පරිසර නීතිය තරාතිරම නොබලා තදින්ම ක්‍රියාත්මක කරන බව කීය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය, ධම්මික පටබැදි, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩ්, පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහත්වරුද සහභාගී වූහ.