
(විමුක්ති එස් රුද්රිගු)
කොළඹ වරායේ ඇමෙරිකානු ඩොලර් මිලියන 392ක ආයෝජනයකින් ඉදිකිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන ව්යාපෘතිය අත්හැර දැමීමට සිය සමාගම තීරණය කළ බව චීනයේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම හොංකොං කොටස් වෙළෙඳපොළට නිල වශයෙන් දැනුම් දී තිබිණි.
ඒ අනුව ව්යාපෘතිය අවසන් කිරීම සඳහා ඇතිකර ගැනීමට නියමිත එකඟතාව යටතේ ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 21.905ක මුදලක් දින 30ක් ඇතුළත ව්යාපෘති සමාගමට ගෙවීමට එකඟ වී ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ව්යාපෘතිය ඉදිරියට ගෙන යාමට බලපෑම් එල්ලවන අයුරින් බාහිර පරිසරයේ සිදුවූ වෙනස්කම්, ව්යාපෘතිය ඉදිරියට ගෙන යාමට නියමිතව තිබූ කොන්දේසි සහ කාලසටහනෙහි සිදුවන වෙනස්කම් සහ ව්යාපෘතියේ ශක්යතාව නැවත ඇගයීමෙන් අනතුරුව, ඊට සම්බන්ධ පාර්ශ්වයන් සළකා බැලූ වාණිජමය කරුණු හේතුවෙන් ව්යාපෘතිය අත්හැර දැමීමට තීරණය කළ බව චීනයේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම නිකුත් කළ නිවේදනය සඳහන් විණි.
ඉහත කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ව්යාපෘතිය සම්බන්ධයෙන් නැවත වරක් චීනයේ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම ඇස්තමේන්තුවක් සිදුකළ බවත් එහිදී සියලු පාර්ශ්වයන්ගේ සුබ සිද්ධිය සඳහා ව්යාපෘතිය නතර කර දැමීම සුදුසු යැයි තීරණය කළ සමාගම ඉන් ඉවත් වීමට තීරණය කළ බවත් එම නිවේදනයේ දැක්වේ.
මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා චීන සමාගමේ අනුබද්ධිත ෆෝචුන් සෙන්ටර් ගෘප් සමාගම, ශ්රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම එක්ව දකුණු ආසියානු වාණිජ හා සැපයුම් පුද්ගලික සමාගම නමින් ව්යාපෘති සමාගමක් පිහිටුවා තිබිණි.
ව්යාපෘතිය සඳහා හවුල්කාර සමාගම් විසින් ආයෝජනය කර තිබූ මුළු ප්රාග්ධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 37.14කි. ඉන් ඩොලර් මිලියන 26ක් චීන සමාගම විසින් ද, ඩොලර් මිලියන 5.57 බැගින් ශ්රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සස් ඉංජිනියරින් සමාගම විසින් ද ආයෝජනය කර ඇත.
ව්යාපෘතිය අත්හැර දැමීමේ එකඟතාව අනුව, ශ්රී ලංකා වරාය අධිකාරිය ගෙවීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 21.905ක මුදලෙන් චීන සමාගමට සියයට 70ක්ද, ශ්රී ලංකා වරාය අධිකාරියට සියයට 15ක්ද, ඇක්සස් ඉංජිනියරින් සමාගමට සියයට 15ක්ද ලැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd