(ලේකම්ගේ අනුර)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොරව ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද නිල් කැට පොහොර සහ දම් කැට පොහොර ටොන් දහයකට වැඩි ප්‍රමාණයක් පසුගිය දින කීපයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

මහවිලච්චිය, තන්තිරිමලය, හොරොව්පතාන, ගලෙන්බිඳුණුවැව, කැබිතිගොල්ලෑව සහ කහටගස්දිගිලිය ඇතුළු ප්‍රදේශවලින් මෙම පොහොර තොග අත්අඩංගුවට ගෙන තිබේ.

මාස් කන්නය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් වී, බඩඉරිඟු ඇතුළු විවිධ භෝග වගා කිරීම ආරම්භ කර ඇති අතර, ඒ හේතුවෙන් කෘෂි යෙදවුම් සඳහා වෙළෙඳපොළේ ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.

මෙවැනි පසුබිමක පොහොරවල ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීම සඳහා අනුරාධපුර ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් දිස්ත්‍රික්කය පුරා පොහොර අලෙවිසැල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර, ඒ අනුව   ලැබුණු තොරතුරු මත සිදුකළ වැටලීම්වලදී මෙම ව්‍යාජ පොහොර තොග සොයාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක් වූ අනුරාධපුර ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල විජේවර්ධන මහතා  පවසා සිටියේ, ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පොහොර භාවිත කිරීමෙන් ගොවීන්ට අපේක්ෂිත වගා ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ට ආර්ථික පාඩු සිදුවිය හැකි බවත්, එවැනි පොහොර භාවිත කිරීමෙන් ගොවීන්ට කෘෂි යෙදවුම් සඳහා අමතර මුදලක් වැය කිරීමට ද සිදුවන බවය.

එමෙන්ම,මේ වනවිට  ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පොහොර අලෙවි කරන ස්ථාන පිළිබඳ තොරතුරු කඩිනමින් ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස ද බන්දුල විජේවර්ධන මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.