IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සමහර වෙලාවට මටත් ගිහියො වඳිනවා

2016-10-30-ent-125

ලාංකේය කලාකෙත අස්වද්දමින් රසික සිත්සතන් පිනවාලූ අතිදක්ෂ පරිණත කලාකරුවෙක් තමයි ඩබ්ලිව්. ජයසිරි.

ඔහු වේදිකාවේ, සිනමා තිරයේදී මෙන්ම රූපවාහිණී තිරයේදීද ඔබ අප හමුවුණා. එහිදී ඔහු පෑ උසස් රංග ප‍්‍රතිභාව නිසාම ඒ රඟපෑම් දෙස බලා සිටීමට පේ‍්‍රක්ෂකයන් ඔහු වටා රොද බැඳුණෙ නෙත ඉවතට ගත නොහැකි ලෙසින්.

මේ කාලයේ රූපවාහිණී පේ‍්‍රක්ෂකයන් අතර නම් ඔහු ‘‘සිඳු’’ ටෙලි නාට්‍යයේ ලොකු හාමුදුරුවෝ ලෙසින් තමයි ජනාදරයට පත්ව තිබෙන්නෙ. ඒ පිළිබඳ කතා කිරීමටත් සමඟින්ම මෙවර සඳැල්ලෙන් ඒ ප‍්‍රතිභාපූර්ණ කලාකරුවාණන් වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

 

මුලින්ම මේ දවස්වල කරන වැඩ කටයුතු සම්බන්ධව කතා කරමුද?

2016-10-30-ent-121සිදු නාට්‍යයත් ‘‘මගේ ආදර අවනඩුව’’ සහ ‘‘සමනලියක්’’ ටෙලිනාට්‍යයෙත් රඟපානවා. පුංචි අන්දරේ කියන චිත‍්‍රපටය එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව ධර්මසිරි බන්ඩාරනායකගෙ ‘‘ධවල භීෂණ’’ සහ ජයලත් මනෝරත්නගෙ ‘‘හඬ නිහඩ’’ වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

 

මේ දවස්වල ‘‘සිඳු’’ නාට්‍යයට ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවනෙ. එහි ඔබේ චරිතය ගැන කතා කරමුද?

මම සංඝයා වහන්සේ කෙනෙක්ගෙ චරිතයක් කරන්නෙ. වෙදකමත්, ජ්‍යොතිශ ශාස්ත‍්‍රයත් දන්න හාමුදුරු නමක්, ඉතින් ඒ හාමුදුරුවන්ගෙ සෙවණේ වැඩෙන සෝරත පොඩි හාමුදුරුවො ගැන තමයි නාට්‍යයේ විකාශය වෙන්නෙ.

 

පොඩි ළමයි එක්ක වැඩ කරද්දි කොහොමද? අසීරුද?

ඔව් ඉතින් පොඩි ළමයි එක්ක රඟපෑම අසීරුයි. මොකද ඒගොල්ලො නළුවො නෙමෙයිනෙ. ඒ අය පොඩි ළමයි. ඒ නිසා හැමදේම ඔවුන්ට කියලා දෙන්න ඕනැ. ඉතින් මේ නාට්‍යයේ අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස ඉතාමත් මහන්සි වෙලා. ඒ පොඩි ළමයින්ව අධ්‍යක්ෂණය කරනවා. ඉතින් ඒ ළමයින් එක්ක වැඩ කරන්න ගියාම ඉවසීමත් ගොඩක් තියෙන්න ඕනැ. බොහෝ අය තේරුම් ගන්නවා මේ ළමයි කියන්නෙ නළුවෝ කියලා. ඒත් නළුවෝ නෙමෙයි. නළුවෙක් වෙන්න නම් කර දණ්ඩ උස ගිහින් ජීවිතේ අද්දැකීම් ලබාගෙන තමන් මනසින් හිතලා යමක් තීරණය කරන්න පුළුවන් තත්ත්වයට වයසකට පත්වුණාම තමයි රඟපානවා කියන එක නළුකමක් විදියට ගන්න පුළුවන් වෙන්නෙ. සෝරත හාමුදුරුවො විදියට රඟපාන දරුවගෙ වයස අවුරුදු 6 යි. තාම පළමු වසරෙ ඉගෙන ගන්නෙ. එහි රඟපාන අනිත් ළමයිනුත් බොහොම පොඩි ළදරු වයසක ඉන්නෙ. ඒ නිසා හැමදේම වගේ කියලා දෙන්න ඕනැ. නළුවෙකුට තියෙන්න ඕනැ සංයමය. ඉවසීම ඒගොල්ලො ළඟ නෑ. බොහොම සැහැල්ලූවෙන් හිතන්නෙ. ඒ අයගෙ ඔළුවල වැඩිහිටියන්ට වගේ ප‍්‍රශ්න නෑනෙ. ඉතින් ඒ අයට මනස එක තැනක තියාගෙන ඉන්න අමාරුයි. ඉතින් ඒ වගේ අය එක්ක රඟපාන එකත් ඒ අය අධ්‍යක්ෂණය කරන එකත් ලේසි වැඩක් නෙමෙයි.

 

ඔබ හාමුදුරු නමක් වුණාට ටිකක් සැරයි නේද?

මම හිතන්නෙ මිනිස්සු කියලා ගත්තම පෘථග්ජන මිනිස්සු සැරයි. අහිංසකයි මේ හැමදේම සංකලනයක්. හාමුදුරු කෙනෙක් කියන්නෙත් ඒකයි. සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක් පිළිබඳ මගෙ තියෙනවා එක්තරා කියමනක් ඒ අශෝක හදගමගෙ චිත‍්‍රපටයක් වන ‘‘මේ මගේ සඳයි’’ හි එහිදීත් මම භික්ෂු චරිතයක් කළා. එහිදී එක්තැනක කියවුණු දෙයක් තමයි ‘‘හැම ඇඳුමක් යටින්ම නිරුවතින් එකෙක් ඇවිදිනවා. කහ සිවුරක් කියලා වෙනසක් නෑ’’ කියන දේ ඉතින් ඒ දේ බොහෝ දුරට තර්කානුකූල සත්‍යයක් කියන දේ මට හිතෙන්නෙ.

 

ඉතින් මේ ටෙලිනාට්‍යයෙ දි ඒ දරුවන්ට සැර කරලා එහෙම තියෙනවද?

අනේ නෑ. ඒ ළමයින්ට සැර කරන්නෙ මොකටද? ඒ අය බොහොම හුරතල් ළමයි. තවම මොනවත් තේරෙන්නෙ නෑ. කිරි සප්පයොනෙ. සමහර වෙලාවට තරහයන අවස්ථාවල් තියෙනවා. ඒ වෙලාවට හැම දෙයක්ම දරාගෙන ඉවසීමෙන් ඉන්නවා. නමුත් මට ඉතාමත් පුදුමයි මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා තිළිණ බොරලැස්සගෙ ඉවසීම ගැන නම් ඒ පිළිබඳ කියන්න වචන නෑ.

 

මේ කතාව ගැන මොකද හිතෙන්නෙ?

මට තවම ඒ ගැන ලොකු අදහසක් නෑ. තවම කතාව කොයි වගේද කියලවත් මම දන්නෙ නෑ. මම වැඩිපුර රඟපාන්නෙ පන්සලේ දර්ශනවල. ඉතින් ඒ පිළිබඳව තමයි මමනම් දන්නෙ. තවම කොටස් සීමිත ප‍්‍රමාණයක් වගේනෙ දර්ශනය වුණේ. තව ඉදිරියට කරන්න තියෙනවා.

 

ඔබට භික්ෂු චරිතවලට හොඳ ඉල්ලූමක් තියෙනවා නේද?

ඔව්. පසුගිය කාලෙ මම ගොඩක් රඟපාලා තියෙනවා භික්ෂූ චරිත. ඒ වෙනුවෙන් මට බොහෝ ප‍්‍රමාණයක් ආරාධනාත් ලැබෙනවා.

 

මේ වෙද්දි කී වතාවක් පමණ මහණ වෙලා තියෙනවද?

ඒක නම් ඇත්තටම මතකයක් නෑ. බොහෝ ටෙලිනාට්‍ය ප‍්‍රමාණයක භික්ෂූ චරිත කරලා තියෙනවා.

 

මුලින්ම ලැබුණු භික්ෂු චරිතය මතකද?

ඒක නම් මතකම නෑ.

 

ඉස්සෙල්ලම භික්ෂුවක් වෙන්න සිවුර දාද්දි මොකද හිතුණෙ?

එහෙම අමුතුවෙන් දෙයක් හිතුණෙ නෑ. මම නළුවෙක් විදියට චරිතයක්නෙ කරන්නෙ. ඇත්තටම මහණ වෙනවා නෙමෙයිනෙ. ඉතින් භික්ෂුවක් විදියට රඟපානකොට මගෙ සාමාන්‍ය චරිතයෙ තියෙන යම් යම් දේවල් පාවිච්චි කරනවා. මගෙ දැනුම, මගෙ සිරුර සහ හඬ තැනට උචිත විදියට පාවිච්චි කරනවා. ඒ හැර වෙන විශේෂයක් නෑ.

 

විශේෂ හැඟීමක් ඇතිවෙල නැද්ද?

සමහර වෙලාවට විශේෂ හැඟීමක් ඇතිවෙනවා සිවුරක් දාගෙන ඉද්දි ලංකාවෙ සිවුරට ගරු කරන්න ඕනැ කියලා කතන්දරයක් තියෙනවනෙ. සිවුරු දාගෙන ඉන්න හැමෝටම වඳිනවා. මටත් සමහර වෙලාවට ගිහියො වඳිනවා. මම භික්ෂුවක් කියලා හිතාගෙන ඒගොල්ලොන්ට වැරදිලා. ඉතින් ඒ වෙලාවට මම කිව්වත් මේ චරිතයක් කරන්නෙ කියලා ඔවුන් ඒක ගණන් ගන්නෙ නෑ.

 

භික්ෂු චරිත කරන එක අනිත් චරිත කරනවට වඩා අපහසුද?

නෑ නෑ ගොඩක්ම පහසුයි. මොකද අනිත් චරිත කරද්දි දුවන්න පනින්න වගේ ශාරීරික ඇවතුම් පැවතුම් තියෙනවනෙ කරන්න. නමුත් මේ චරිතයෙදි එහෙම නෑ. ගොඩක් සාවදානව, සාමකාමීව, සුපේෂලව, ශික්ෂාකාමීව රඟපාන්න වෙන්නෙ. ඒ නිසා ගොඩක්ම පහසුයි.

 

ඔබ බොහෝ ප‍්‍රමාණයක් භික්ෂු චරිත කරලා තියෙනවනෙ. ඉතින් බොහෝ වරක්ම සිවුරක් ඇඟට දාගන්න ලැබුණම ඇත්තටම මහණ වෙන්න හිතිලා නැද්ද?

අපෝ නෑ. මට හිතිලා නෑ. මොකද මම අහල තියෙනවා මහණවෙන්නෙ සසර කළකිරුණම කියලා. මම නම් හිතන්නෙ නෑ දැන් මහණ වෙලා ඉන්න කිසිම භික්ෂුවක් සසර කළ කිරිලා ඉන්න අය කියලා. ඕනැනම් දාහට එක්කෙනෙක් වගේ ඇති සසර කළ කිරිලා මහණවුණු අය.

 

ඔබ කලා ක්ෂේත‍්‍රයට ඇවිල්ලා දැන් කොයි තරම් කලක් වෙනවද?

මම මුලින්ම වේදිකා නාට්‍යයක රඟපාලා ආවෙ. ඒ සුගතපාල සිල්වා මහත්මයගෙ හරිම බඩු හයක් නාට්‍යයෙ. 1965 වසරේදී, මම වේදිකා නාට්‍යය විශාල ප‍්‍රමාණයක නම් රඟපාලා නෑ. රඟපාලා තියෙන්නෙ සුගතපාල සිල්වගෙ, ධර්මසිරි බණ්ඩාරනායක, රාජිත දිසානායක සහ ජයලත් මනෝරත්නගෙ වේදිකා නාට්‍යවල.

 

එතකොට ටෙලිනාට්‍ය

ටෙලිනාට්‍ය ප‍්‍රමාණය නම් මතක නෑ. මුලින්ම නම් ලූෂන් බුලත්සිංහල අධ්‍යක්ෂණය කරපු ‘‘යතුරු ලේඛිකාවක්’’ සහ ධර්මසේන පතිරාජගෙ කඩුල්ල නාට්‍යයේ රඟපෑවා.

සිනමාවෙ නම් 1970 සිට රඟපාලා තියෙනවා. මුලින්ම රඟපෑවෙ මගෙ මිතුරෙක් වන මෙරිල් ඇල්බට් අධ්‍යක්ෂණය කළ ‘‘දාහකින් එකෙක්’’ කියන වානිජමය චිත‍්‍රපටියෙ. ඔහු දැන් නම් ජීවතුන් අතර නෑ. ඒ එක්කම ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කරපු එයා දැන් ලොකු ළමයෙක්. බඹරු ඇවිත්, පාර දිගේ වැනි චිත‍්‍රපටවලට සම්බන්ධ වුණා. ඔහුගේ නිර්මාණවල සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසත් වැඩ කළා.

 

මේ තාක් දුර ආපු කලා ක්ෂේත‍්‍රයෙන් ජීවිතයට ලැබුණු අද්දැකීම් සහ වටිනාකම් ගැන කතා කළොත්?

කලාකරුවෙක්, නළුවෙක් වෙන එක කලා ක්ෂේත‍්‍රය ඇතුළෙ ඉතා රසවත් අද්දැකීම් තියෙන බොහොම වැදගත් දෙයක්. ලංකාවෙ කලාකාරයෙක් වෙනවා කියන එක වෙනත් රටක කලාකාරයෙක් වෙනවා තරම් ආර්ථික වශයෙන් සාර්ථක නැති වුණත් මේ තියෙන දුක් වේදනා. දෝමනස්ස විඳගෙන රැුදී ඉන්නවා. මෙමඟින් ජීවිතේ සෑහෙන කාලයක් ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒ කාලය තුළ කොහොමහරි මේ ගමන ගැටගහගෙන ගිහින් තියෙනවා.

 

ධනු විජෙරත්න / ඡායාරූපය: චමත් වින්දුල

 

2016-10-30-ent-124
2016-10-30-ent-123
2016-10-30-ent-122



අදහස් (0)

සමහර වෙලාවට මටත් ගිහියො වඳිනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 71 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 229 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 374 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 129 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 749 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 506 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 74 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 385 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1249 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site