(සුජිත් හේවාජුලිගේ)

මෙවර අයවැයෙන් සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් ඉටු කර නැතැයි චෝදනා කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ලබන 30 වැනිදා දිවා ආහාර පැයේදී රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට මධ්‍යම රජයේ සහ පළාත් සභාවේ සියලුම රෝහල්, සෞඛ්‍ය ආයතන මෙන්ම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අයත් රෝහල්, ආයතන, පළාත් රෝහල්හි කාර්ය මණ්ඩල සාමාජිකයන් සහභාගි වීමට නියමිතය.

මේ අතර සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඩැට් (DAT) දීමනාව රුපියල් 2000 රටේ උද්ධමනයට සාපේක්ෂව ප්‍රමාණවත් නොවන හෙයින් රුපියල් හය දහසක මුදලක් ලබන වසරේ ජනවාරි සිට දෙන ලෙස සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.

එසේම අන්තර්දීමනා වශයෙන් මාසිකව අඩු තරමින් රුපියල් 25,000ක මුදලක් දෙන ලෙසටද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් රෝයි ද මැල් මහතා පැවසීය.

මෙවර අයවැයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල “ඩැට්” දීමනාව සුළු මුදලකින් වැඩිකර ඇතත් එම මුදල ගෙවනු ලබන්නේද වාර දෙකකදී බව ඔහු ප්‍රකාශ කළේය.

අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති වෙන් වෙන්ව මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කළද රජය ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බව රොයි ද මැල් මහතා චෝදනා කළෝය.