IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


සහරාන්ලාගේ අවදානමේ තොරතුරු පසුව හරි අසාගැනීම ආරක්ෂක ලේකම්ගේ වගකීමක්

(*** මුදිතා දයානන්ද)

“නායකයෙක් කියන්නේ පහළ නිලධාරියා කරයි කියලා බලාගෙන ඉන්න කෙනාට නොවෙයි. පහළ නිලධාරියා මෙහෙයවන කෙනාටයි. මම බුද්ධි සමාලෝචන රැස්වීමේදී සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම ගැන කියවුණ තොරතුර ගැන මා නොකියා සිටියේ නම් රැස්වීම අවසානයේ හෝ පසු දිනයේ හෝ වෙලාවක් වෙන් කරගෙන නිලන්ත මේක පැහැදිලි කරන්න කියලා කියන්න ආරක්ෂක ලේකම්වරයාට වගකීමක් තිබුණා” යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (16) පැවැසීය.

“සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගත යුතු බව වගකිව යුතු සියලු නිලධාරීන්ට ලිඛිතවත් දුරකතන මාර්ගයෙනුත් දැනුම් දුන්නා වගේම ආරක්ෂක කවුන්සිලයන්හිදීත්, බුද්ධි සමාලෝචන රැස්වීම්වලදීත් ඒ ගැන කරුණු දැක්වූවා. රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස මම මගේ වගකීම ඉටුකළා” යැයි ද ඔහු පැවැසීය.

ඔහු මේ බව පැවැසූයේ පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශමිල් පෙරේරා මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී ශමිල් මහතා ඉදිරිපත් කළ හරස් ප්‍රශ්න හා නිලන්ත මහතා දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ඔබ ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට සම්බන්ධ වන නිලධාරියෙක් නේද?
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - ඔබ සහරාන්ලා ගැන ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ තොරතුරුවලට එහිදී ලැබුණ ප්‍රතිචාරය කුමක් ද?
පිළිතුර - එයට ඒකමතික තීරණයක් කවුන්සිලයේ තිබුණේ නැහැ.

ප්‍රශ්නය - ඒ කියන්නේ එහි අවධානය යොමු වුණේ නැහැ?
පිළිතුර - ඒ සම්බන්ධයෙන් ඉලක්කගත මෙහෙයුමක් සිදුවුණේ නැහැ කියන එකයි මා අදහස් කළේ.

ප්‍රශ්නය - ඔබ සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක කවුන්සිලයේදී ප්‍රකාශ කර නැති බවටත් චෝදනාවක් තිබෙනවා?
පිළිතුර - මම පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් මගින් පවා සහරාන්ලා ගැන දැනුවත් කර තිබෙනවා. ඒ වගේම ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක කවුන්සිල රැස්වීම්වල පවසා තිබෙනවා.

ප්‍රශ්නය - එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් පවසා තිබුණා ඔබ සහරාන් හෂීම් අන්තවාදියෙක් මිස ත්‍රස්තවාදියෙක් යැයි නොකී බව. එසේම ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස කිසිම අවස්ථාවක නොකියපු බවත් ඔහු කියනවා. එය පිළිගන්නවා ද?
පිළිතුර - එය ප්‍රතික්ෂේප කරනවා. ආරක්ෂක කවුන්සිල රැස්වීම් නවයක පමණ මේ ගැන මම සාකච්ඡා කර තිබෙනවා. ඔහු ත්‍රස්තවාදියෙක් ලෙස හඳුන්වාදීමට එවැනි ක්‍රියාවක ඔහු නිරත වී තිබුණේ නැහැ. ඒ නිසා මා එලෙස ඔහු හඳුන්වා දී නැහැ. එහෙත් ඔවුන් අයිඑස් මතවාදය දරන පිරිසක් බවත් ඒ අනුව කටයුතු කරන බවටත් අනුගාමිකයන් එලෙස හැසිරීමට පොළඹවන බවටත් මේ රැස්වීම්වල කතා කළාම ඔහු ත්‍රස්තවාදී මත දරන්නෙක් බව පැහැදිලි විය යුතුයි. හිටපු ජනාධිපතිවරයාත් එම රැස්වීම් සියල්ලට සම්බන්ධ වුණා. මම ඒ ගැන කියන්නේ 2016 සිටයි. සහරාන්ලා ගැන බිග් පික්චර් එකක් ජනාධිපතිට තියෙන්න ඕනෑ.

ප්‍රශ්නය - මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන පොලිස් විමර්ශන ගැන ජනතාව තුළ සැකයක් පවතින බවත් ඔබ වාර්තා කර තිබුණා. මොකක් ද එයින් අදහස් කළේ?
පිළිතුර - එම සිදුවීම සම්බන්ධයෙන් බොහෝදෙනා දැරූ මතය වුණේ එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටයි. එහෙත් අපි අදහස් කළේ එය අන්තවාදීන්ගේ ප්‍රහාරයක් බවයි. ඒ අනුව විමර්ශන සිදුකළ යුතු බවයි අපි පෙන්වා දුන්නේ.

ප්‍රශ්නය - කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා - ඔබ කියන ආකාරයට 2016 සිටම ඔබ සහරාන්ලා ගැන දැන සිටියා?
පිළිතුර - ඔව් දැන සිටියා.

සභාපතිවරයා - එසේ දැන සිටියා නම් ඔවුන්ගෙන් එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් අප්‍රේල් හතරවැනිදා ලැබුණ තොරතුර ගැන ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එසේ තිබියදී ඒ ගැන ජනාධිපතිට දැනුම් නොදුන්නේ ඇයි? ඔබ මේ තොරතුර ලැබුණ පසුව කිහිප වතාවක්ම ජනාධිපති අමතා තිබුණා?
පිළිතුර - මම එම තොරතුරු ලැබුණු පසු කල්පනා කළේ සහරාන්ලා අත්අඩංගුවට ගැනීම ගැනයි. ඒ අනුව වගකිව යුතු තැන්වලට දැනුම් දුන්නා. මම ආරක්ෂක ලේකම්වරයාටත් ඒ ගැන කිව්වා. ඔහු තමයි ධූරාවලිය අනුව මා වගකියන නිලධාරියා. ඒ නිසා එයින් පිටට ගිහින් ජනාධිපතිට මේ ගැන දැනුම්දීමට මා උත්සාහ කළේ නැහැ.

සභාපතිවරයා - ඔබ කෙළින්ම ජනාධිපතිට යම් යම් වාර්තා ලබාදී තිබෙනවා නේද?
පිළිතුර - ඔව්. ජනාධිපතිවරයා වගේම අගමැතිවරයාත් මගෙන් වාර්තාවක් ඉල්ලුවොත් ලබාදෙනවා.

සභාපතිවරයා - ඔබ එවැනි වාර්තාවක් ලබාදෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් ඇති අයට විතරයි නේද?
පිළිතුර - ඔව්. වෙනත් කිසිවකුට ලබාදෙන්නේ නැහැ.

සභාපතිවරයා - ඒ කියන්නේ ඔබ පිළිගන්නවා නේද ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් තිබෙන බව?
පිළිතුර - ඔව්.

සභාපතිවරයා - එහෙම නම් ඇයි මෙවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ තොරතුරක් ලැබුණු පසු මේ ගැන ජනාධිපති දැනුවත් නොකළේ?
පිළිතුර - මම වැඩ කරන්නේ ධූරාවලිය අනුවයි. ආරක්ෂක ලේකම්ටයි මා වගකියන්නේ. ඔහුට මා මේ ගැන දැනුවත් කළා.

සභාපතිවරයා - ජනාධිපති වාර්තාවක් ඉල්ලනකොට ඔබ ඔය ධූරාවලිය අනුව වැඩ කළේ නැහැ නේද?
පිළිතුර - මට ජනාධිපතිට හෝ අගමැතිට කියන්න බැහැනේ ආරක්ෂක ලේකම් හරහා එන්න කියලා. ඒ නිසා ආරක්ෂක ලේකම් දැනුවත් කර අදාළ තොරතුර ලබාදෙනවා. ලේකම්ට කියන්න එපා කිව්වොත් කරන්න දෙයක් නැහැ.

නීතිඥ ශමිල් මහතා - ඔබට බුද්ධි සමාලෝචන රැස්වීමේදී කතා කරන්න ලැබෙන්නේ හැමෝටම පෙර නේද?
පිළිතුර - පළමුව කතා කළ යුත්තේ ආරක්ෂක ලේකම්. ඒත් කතා කරන්න වෙන්නේ මට.

ප්‍රශ්නය - ඔබට හතරවැනිදා ලැබුණු තොරතුර ගැන අප්‍රේල් නවවැනිදා බුද්ධි සමාලෝචන රැස්වීමේදී පළමු අවස්ථාව ලැබිලත් කතා නොකළේ ඇයි?
පිළිතුර - එය මට ලැබුණු තොරතුරක් වුවත් මෙම රැස්වීමට පෙර ඒ ගැන ආරක්ෂක ලේකම්ටත්, ජාතික බුද්ධි ප්‍රධානීටත් මම යොමු කර තිබුණා. පොලිස්පතිතුමාටත් කතා කරලා කිව්වා. ජාතික බුද්ධි ප්‍රධානීට මම ටොප් සීක්‍රට් කියලා සඳහන් කර උපදෙස් ලබාදෙන ලෙසත් ඉල්ලා එය යවනු ලැබුවේ. එහි වැදගත්කම වටහා නොගත්තා නම් ඔහු එය අයිස් ඔන්ලි කියලා සටහන් කර පොලිස්පතිට යැව්වේ ඇයි? ඒ නිසා මේ ගැන අවබෝධයක් ඔවුන්ට තිබුණා කියලා මම විශ්වාස කළා. එම කමිටුවේ ප්‍රධානීන් වුණේ ආරක්ෂක ලේකම් හා ජාතික බුද්ධි ප්‍රධානී. මම හිතුවා ජාතික බුද්ධි ප්‍රධානී ඒ ගැන කතා කරයි කියලා.

ප්‍රශ්නය - ඔබට කිසියම් බාධාවක් තිබුණා ද මේක කතා කරන්න?
පිළිතුර - බාධාවක් තිබුණා නම් මම මේ ගැන අදාළ අංශ දැනුවත් කරන්නේ නැහැනේ. ලිඛිත දැනුම්දීම් කරන්නෙත් නැහැනේ. මම යවපු එක වාර්තාවක් ගැනවත් ඉහළ නිලධාරීන් මා ගෙන්වා හෝ මට කතා කර හෝ වැඩිදුර විස්තර ඉල්ලලා නැහැ. තොරතුරේ ඇති වැදගත්කම අනුව මම තමයි නැවත ඔවුන්ට කතා කර විස්තර කියන්නේ.

ප්‍රශ්නය - ඔබ වගකීම පැහැර හැරිය බවටයි චෝදනා එල්ල වන්නේ?
පිළිතුර - මේ තොරතුරේ වැදගත්කම් ආරක්ෂක ලේකම්ටත් ජාතික බුද්ධි ප්‍රධානීටත් වැටහී තිබුණා කියලා මම විශ්වාස කරනවා. මම යැවූ තොරතුර පොලිස්පතිට අයිස් ඔන්ලි කියලා සටහන් කර යැව්වේ ඒ නිසානේ. මම වගකීම පැහැර හැරියා නම් ජාතික බුද්ධි ප්‍රධානීට තිබුණා ‘නිලන්ත අර ප්‍රශ්න කතාකරන්න’ කියලා කියන්න. ආරක්ෂක ලේකම්වරයාට පුළුවන් රැස්වීම අවසානයේ හෝ කට්ටියට තවත් පැයක් ඉන්න කියලා මගෙන් විස්තර අහන්න. නැත්නම් පහුවදා හෝ නැවත ගෙන්වා මේ ගැන සාකච්ඡා කරන්න ආරක්ෂක ලේකම්ට හැකියාව තිබුණා. නායකයෙක් කියන්නේ පහළ නිලධාරියා කරයි කියලා බලා ඉඳලා ඔහු නොකළාම දොස් පවරන කෙනාට නොවෙයි පහළ නිලධාරියා මෙහෙයවන කෙනාට. ඔවුන් ඒ කිසිවක් කළේ නැහැ. ප්‍රහාරය එල්ල වුණාට පස්සේ හැමෝම හැමදේටම නිලන්ත තමයි වැරැදි කියන්න පටන් ගත්තා. මම සහරාන් අයිඑස් මතය දරනවා කියලා කිව්වේ නැහැයිලු. ඔහු අත්අඩංගුවට ගන්න කිව්වේ නැහැයිලු. ප්‍රහාරය ගැන තොරතුර කිව්වේ නැහැයිලු. අන්තිමට මමත් මගේ කණ්ඩායමක් මොනවත් කරලා නැහැ. ඒ වුණාට මේ කොමිසම හමුවේ මම සහරාන්ලා ගැන වගකිව යුතු අංශ දැනුවත් කරමින් යොමු කළ වාර්තා තුන්සිය පනහක් විතර තියෙනවා. මම මොනවත් නොකළා නම් ඒවා ආවේ කොහොම ද?

ප්‍රශ්නය - ඔබ හැම විටම කියනවා අයෑම් ජෙන්ට්ලිමන් ඇන්ඩ් ඔෆිසර් කියලා. ඒ වගේම ඔබ කියනවා ඉහළ නිලධාරීන් කිසිවකුට හානි කිරීමේ වුවමනාවක් නොතිබුණ බවට. එහෙම නේද?
පිළිතුර - ඔව්.

ප්‍රශ්නය - එහෙම නම් ඔබ හිටපු ආරක්ෂක ලේකම්වරයා සමග පැවැති දුරකතන සංවාදයක් පටිගත කළේ ඇයි? ඒක වරදක් බව ඔබ පිළිගන්නවා ද?
පිළිතුර - නැහැ. ඒක වරදක් නොවෙයි. මම ඒක කළේ රාජ්‍ය බුද්ධි අංශයේ කිර්තිනාමයත් මගේ ගෞරවයත් මගේ පහළ නිලධාරීන්ගේ ගෞරවයත් රැකගැනීම සඳහායි. මම නොවෙයි මේ පාවාදීම ආරම්භ කළේ ඔය කියන නිලධාරීන්මයි. පාස්කු ඉරිදා ප්‍රහාරය වනතෙක් හැමෝම එකට කාලා බීලා එක කණ්ඩායමක් විදිහට හිටියා. ඒත් ප්‍රහාරයෙන් පස්සේ ඒ හැමෝම එක පැත්තකට වෙලා හැම වරදක්ම මගේ පිට පැටෙව්වා. මම රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විදිහට මගේ කණ්ඩායමත් සමග එකතු වෙලා සහරාන්ලා ගැන හැම තොරතුරක්ම හෙව්වා. වාර්තා කළා. මගේ රාජකාරිය වාර්තා කිරීමයි. ඒත් අප්‍රේල් දහසය වැනිදා කාත්තන්කුඩියේ සිදුවූ යතුරුපැදියක් පුපුරුවා හැරීම සම්බන්ධයෙන් මට වාර්තා වුණාම ඒ ගැන වැඩිදුර සොයා බලා එහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන්න කියලා කිව්වෙත් මම. හරි නම් පොලිසියයි මට වාර්තාවක් ලබාදිය යුත්තේ. අපි එහෙමත් කළා. එහෙම කරද්දී රාජ්‍ය බුද්ධි අංශයට වරද පැටවූ නිසා මම එහි ගෞරවය රැකගැනීම වෙනුවෙන් මේ පටිගත කිරීම කළා.

ප්‍රශ්නය - ඔබ එය පටිගත කළේ අනවසරයෙන් නේද? ඒක වරදක් නොවෙයි ද?
පිළිතුර - අවසරයෙන් පටිගත කළා නම් මේ දේවල් කියන්නේ නැහැනේ. මෙහි වරදක් මා දකින්නේ නැහැ. බුද්ධි තොරතුරු ලබාගැනීමේදී අපට නීති රීති නැහැ. අපි විවිධ ක්‍රමවලට ඒවා ලබාගන්නවා.

සහරාන්ලාගෙන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට 2019 අප්‍රේල් 4 වැනිදා ලැබුණු තොරතුර හත්වැනිදා එලෙසින්ම ආරක්ෂක ලේකම්වරයාට යොමුකළ අතර එයට උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික බුද්ධි ප්‍රධානීට ටොප් සීක්‍රට් යනුවෙන් සඳහන් කර යොමු කළ බව ද ඔහු පැවැසීය. එම තොරතුරේ වැදගත්කම වටහා ගත්තේ නම් අප්‍රේල් නවවැනිදා බුද්ධි සමාලෝචන රැස්වීමේදී එය කතා නොකළ විට “නිලන්ත දැන් මේක කතා කරන්න” කියා රැස්වීම අවසානයේදී හෝ තමන් යොමු කිරීමේ හැකියාවක් ආරක්ෂක ලේකම්ට මෙන්ම ජාතික බුද්ධි ප්‍රධානීටත් තිබූ බව ද ඔහු පැවැසීය. එදින බැරි නම් පසු දින හෝ වෙලාවක් වෙන් කරගෙන අප කැඳවා මේ තොරතුර ගැන සාකච්ඡා කිරීමේ වගකීමක් ආරක්ෂක ලේකම්වරයාට තිබූ බව ද නිලන්ත මහතා පැවැසීය.

එසේ නොකළ තමන්ට ඉහළ වගකිව යුතු නිලධාරීන් සියලු දෙනා දැන් ප්‍රහාරය ගැන තොරතුරු දුන්නේ නෑ, හරියට කිව්වේ නෑ, බුද්ධි සමාලෝචන රැස්විමේදී කතා කළේ නෑ, සහරාන් අන්තවාදියෙක් කිව්වාට ත්‍රස්තවාදියෙක් කිව්වේ නෑ වගේ චෝදනා ගොඩක් තමන් වෙත එල්ල කරන බව ද ඔහු පැවැසීය.

මෙම ප්‍රකාශ අනුව බලන විට රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස තමන් ද තම කණ්ඩායම ද නිසි ලෙස වගකීම් ඉටු කර නැති බවක් ඕනම කෙනකුට හැඟී යන බව ද ඔහු පැවැසීය. තමන් වගකීම ඉටු නොකළේ නම් සහරාන්ලා දරන මතය, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය, අනුගාමිකයන් අභිප්‍රේරණය කරන ආකාරය, ඔවුන්ගේ පුහුණු වීම්, සැඟවී සිටින තැන් ආදී සියලු තොරතුරු දක්වමින් වගකිව යුත්තන්ට යොමු කළ වාර්තා තුන්සිය පනහක් පමණ මෙම කොමිසම හමුවේ තිබෙන්නේ කෙසේ දැයි ඔහු එහිදී විමසීය.  

 



අදහස් (4)

සහරාන්ලාගේ අවදානමේ තොරතුරු පසුව හරි අසාගැනීම ආරක්ෂක ලේකම්ගේ වගකීමක්

beau Thursday, 17 September 2020 09:38 AM

නිලන්ත ජයවර්ධනගේ සාක්ෂි අනුව, මට පෙනෙන විදිහට එතුමාට ඉහළින් සිටි නායකයින් පිරිස... ඒ කියන්නේ ජාතික බුද්ධි ලොක්කා, පොලිස්පති, ආරක්ෂක ලේකම්, අගමැති සහ ජනපති... රිපෝර්ට් එකක් ලැබුණාම, එය කියවා බලා, එහි බරපතල තත්වය ගැන තේරුම් ගැනීමට බැරි අය තමයි ඉන්නේ... වගකීම් පැහැර හරින, තනතුරට නුසුදුසු පිරිසක්. මේ සියල්ලම වරදකරුවන් කර අවුරුදු 20ට වත් හිරේ දැමිය යුතුය.

:       0       20

Prabha Thursday, 17 September 2020 02:19 PM

හරියට පාපන්දු තරගයක් වගේ. හැබැයි බෝලෙ පාස් කරනවා විතරයි... ගෝල් ගහපු කිසිකෙනෙක් නැහැ.

:       0       5

BamunuarachchiSaturday, 19 September 2020 05:56 AM

ඒ පැත්තෙන් ගෝල් එක ගැහුවේ සහරාන් සහ ඔහුගේ අනිත් ක්‍රීඩකයෝ...

:       0       0

jonana Friday, 18 September 2020 03:13 AM

හරින් මහතා කිව්වේ DIG පල්ලියකටත් දැනුම් දුන්නා කියලා... මේකෙන් සේරමලා මගහැරලා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රටපුරා රජයේ රෝහල්වල දැඩි බෙහෙත් හිඟයක්
2025 අප්‍රේල් මස 16 1185 1

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා සියලුම රෝහල්වල ජීවිත ආරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිඟයක් පවතින බව රෝගීහු පවසති.


සුව ඇමති මහ නාහිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 16 316 1

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) පෙරවරුවේ මහනුවර දී මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.


තෝරදෙණියගේ පැමිණිල්ලට ඉන්ද්‍රානන්දට කොන්දේසි සහිත වාරණයක්
2025 අප්‍රේල් මස 16 1509 1

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා සම්බන්ධව මහජනතාව නොමඟ යවන සුළු අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ විද්‍යුත් ,මුද්‍රිත මාධ්‍යයට නිකුත් කිරීම, හා


ජනපති කාර්යාලය වැඩ අරඹයි
2025 අප්‍රේල් මස 16 594 0

ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී ආරම්භ කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්


ඉන්ධන විදුලි බලාගාර 21 දා දක්වා වැසෙයි
2025 අප්‍රේල් මස 16 770 1

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව කාලයේ විදුලි ඉල්ලුම අඩුවීමත් සමඟ විදුලි පද්ධතිය සමතුලිත කිරීම සඳහා අක්‍රීය කළ ඉන්ධන විදුලි බලාගාර මේ මස 21 වැනිදා ව


කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
2025 අප්‍රේල් මස 16 1126 1

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 158 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 323 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 994 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site