(අංජුල මහික වීරරත්න)

කලාවැව ආශ්‍රිතව සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමේදී අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට පත් වී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.

අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ වනසතුන්ට එල්ල වන තර්ජන අවම කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම මෙහෙයුමේදී අනවසර ගිනි අවි, මදු, හක්කපටස් සහ පතොරම් ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ මූලිකත්වයෙන් පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව වයඹ වනජීවි කලාපය, කලාවැව ආශ්‍රිතව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.

අලි ඇතුන් සහ අනෙකුත් වනසතුන් ඝාතනය කිරීම සඳහා යොදාගත හැකි අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් මෙහිදී සොයාගෙන ඇති අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

මෙම මෙහෙයුමට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා, වයඹ පළාත භාර වනජීවී අධ්‍යක්ෂ පුෂ්පන්ත විමලදාස මහතා, පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද කාරියවසම් මහතා සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඒ අතර, 21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා මහතා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක මහතා සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම මහතා ද එක්ව සිටියහ.

හමුදා සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙහෙයුමට දායක වූ අතර, කණ්ඩායම් හයක් යටතේ මෙහෙයුම් කණ්ඩායම් 10ක් ද ක්‍රියාත්මක විය.

වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අදාළ බලධාරීන් වෙත යොමු කිරීමට නියමිතය.