දශක ගණනාවක් තිස්සේ සීමා වූ රාජ්‍ය මූල්‍ය හැකියාව යළි ගොඩ නඟන අතර, නිදහස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා අවස්ථා සමානාත්මතාව වැඩි දියුණු කිරීමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට වර්තමාන රජය කොතරම් දුරට පියවර ගනිමින් සිටීද?

එක් පසෙකින් අතීත ණය බර රාජ්‍ය ආයෝජන සීමා කරයි. අනෙක් පසින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන පවුල්වලට පෞද්ගලික උපකාරක පන්ති සඳහා ද වැය කිරීමට සිදුවේ. මෙම පසුබිමේ 2027 අයවැය හා නව ප්‍රතිසංස්කරණ මුල් ළමාවිය, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය නඟා සිටුවීමටත්, පවුල්වල ජීවන තත්වය සහ අනාගත ජාතික නිෂ්පාදන හැකියාව වර්ධනය කිරීමටත් සපයන දායකත්වය විමසා බලමු.

 

දශක පහක රාජ්‍ය මූල්‍ය උරුමය

1977 ආර්ථික විවෘතකරණයෙන් පසු පළමු දශකයේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සෑම රුපියල් 100කටම රජයට බදු හා බදු නොවන ආදායම් ලෙස සාමාන්‍යයෙන් රුපියල් 20.60ක් ලැබුණි. එහෙත් 2022 ආර්ථික කඩාවැටීමට පෙර දශකයේ දී එය රුපියල් 11.40ක් දක්වාත්, 2022 දී රුපියල් 8.20ක් දක්වාත් පහළ ගියේය. 1977–2025 කාලයේ වසර 49න් 43කදීම ණය පොලී හැර අනෙකුත් රාජ්‍ය වියදම් පියවාගැනීමට පවා ආදායම් හා ප්‍රදාන ප්‍රමාණවත් නොවීය.

මෙම තත්වය නිවැරැදි කිරීම ජනතාවට ආර්ථික පීඩනයක් මෙන්ම ආණ්ඩුවකට දේශපාලන අභියෝගයක් ද ඇති කරයි. එහෙත් අතීතයේ ගොඩගැසුණු ණය බර වෙනුවෙන් යම් ආර්ථික පිරිවැයක් දැරීමට සිදුවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් නොව, රාජ්‍ය මූල්‍ය ආර්ථික විද්‍යාවේ මූලික යථාර්ථයකි. අත්‍යවශ්‍ය වන්නේ එම පිරිවැය සාධාරණව බෙදාහරිමින් යළි එවැනි අර්බුදයක් ඇති නොවන පදනමක් ගොඩනැගීමයි.

මෑතකාලීන ප්‍රකෘතියේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් රාජ්‍ය ආදායම් කොටස 2025 දී සියයට 16.6ක් දක්වා ඉහළ ගියේය. 2026 සංශෝධිත ඇස්තමේන්තුව සියයට 16.5ක් වන අතර, 2027 අපේක්ෂාව සියයට 15.8කි. මෙම අගයන්ට ප්‍රදාන ඇතුළත් නොවේ. ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52හි සමස්ත බදු පෙර ප්‍රතිඵලය ද 2022 දී රුපියල් බිලියන 774.6 ක අලාභයක සිට 2025 දී බිලියන 444.4ක ලාබයක් දක්වා වෙනස් විය. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 2008–2025 සමුච්චිත අලාභය පමණක් බිලියන 528කි. එවැනි අලාභ හෝ ණය වගකීම් රජයට දැරීමට සිදුවීම අධ්‍යාපනය ඇතුළු සංවර්ධන ආයෝජන සීමා කිරීමේ අවදානමක් ඇති කරයි.

 

ණය පොලී බර ද මෙම ගැටලුව පැහැදිලි කරයි. 1977 පළමු දශකයේ රජයේ සෑම ආදායම් රුපියලකින්ම සාමාන්‍යයෙන් ශත 21ක් පොලියට වැය වූ අතර, කඩාවැටීමට පෙර දශකයේ දී එය ශත 46 ක්ද, 2023 දී ශත 80ක් පමණ ද විය. 2027 දී පොලියට ශත 43ක් සහ ණය මුල් මුදලේ වාරික සඳහා ශත 36කට සමාන මුදලක් අවශ්‍ය බව ඇස්තමේන්තු කර තිබේ. එහෙත් වාරිකවලින් කොටසක් නව ණය මඟින් ප්‍රතිමූල්‍යනය කරන බැවින් මෙම අගයන් එකතු කර සංවර්ධනයට ඉතිරි වන මුදල ගණනය කළ නොහැකිය.

එබැවින් අධ්‍යාපනය සඳහා වැඩි මූල්‍ය අවකාශයක් ඇති කිරීමට ණය බර තිරසාරව කළමනාකරණය කිරීම, බදු පදනම සාධාරණව පුළුල් කිරීම, ආදායම් එකතු කිරීම කාර්යක්ෂම කිරීම සහ රාජ්‍ය ව්‍යවසාය අවදානම් අඩු කිරීම අවශ්‍යය. එමඟින් ආදායම් පදනමට හානියක් නොවන පරිදි ඇතැම් බදු අනුපාත ලිහිල් කිරීමට ද ඉදිරියේ දී අවකාශ සැලසිය හැකිය. 2027 දී සැලසුම් කළ රුපියල් බිලියන 3,800ක දළ ණය ගැනීම් ඇගයිය යුත්තේ ණය පිරිවැය, ආපසු ගෙවීමේ හැකියාව සහ දිගුකාලීන ප්‍රතිලාභ අනුවය. එම සැලසුමට සංවර්ධන ව්‍යාපෘති සඳහා අපේක්ෂිත බිලියන 315ක විදේශීය ණය ද ඇතුළත්ය.

 

අධ්‍යාපනයට ලබාදුන් මූල්‍ය ප්‍රමුඛතාව

රටක අනාගතය පිළිබඳ සුබ සිහින දකින ජාතියක් අයවැයකින් විමසිය යුත්තේ තමන්ට ලැබුණු ප්‍රතිලාභ කොපමණ ද යන්න පමණක් නොව, අනාගත පරම්පරාවට වඩා යහපත් රටක් උරුම කරදීම සඳහා අධ්‍යාපනයට එහි කොතරම් ප්‍රමුඛතාවක් දී තිබේ ද යන්නයි.

මහ බැංකු දත්ත ඇසුරින් කළ ගණනය කිරීම් අනුව, 2014–2018 කාලයේ සමස්ත රාජ්‍ය වියදමෙන් අධ්‍යාපනයට වැය වූ සාමාන්‍ය කොටස සියයට 10.1ක් වූ අතර, 2021–2023 කාලයේ එය සියයට 8.5ක් දක්වා පහළ ගියේය. ඉහළ ගිය ණය පොලී බර අධ්‍යාපනය ඇතුළු සංවර්ධන අවශ්‍යතා සඳහා පැවැති මූල්‍ය අවකාශය සීමා කිරීමට දායක වූ ආකාරය මෙයින් පැහැදිලි වේ.

පුළුල් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන්කළ ප්‍රතිපාදන 2025 දී රුපියල් බිලියන 620 ක්ද (සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට 10.0), 2026 දී බිලියන 708 ක්ද (සියයට 9.7) විය. 2027 අයවැයෙන් එය බිලියන 749 ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. එය මූලික අයවැය වියදමෙන් සියයට 9.8ක් වුවද, ආපදා ප්‍රතිසංස්කරණ සඳහා වූ පරිපූරක ප්‍රතිපාදන ද ඇතුළත් කළ විට සමස්ත වියදමෙන් සියයට 9.4ක් පමණ වේ. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිපාදන නාමිකව ඉහළ ගිය ද, සමස්ත රාජ්‍ය වියදමේ ඒ සඳහා හිමිවන කොටස පහළ යන බව පෙනේ. මෙයට ආපදා ප්‍රතිසංස්කරණ හා අනෙකුත් ප්‍රාග්ධන ආයෝජන ඇතුළු රාජ්‍ය වියදම්වල වර්ධනය ද දායක වේ. එබැවින් අධ්‍යාපනය සඳහා තිරසාරව වැඩි සම්පත් සැපයීමට ණය පොලී බර අඩු කිරීමත්, රාජ්‍ය ආදායම් පදනම ශක්තිමත් කිරීමත් අත්‍යවශ්‍ය වේ.

 

නිදහස් අධ්‍යාපනයට දෙවරක් ගෙවන පවුල්

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මහජන මුදල් වැය කරන අතරම මව්පියන්ට පෞද්ගලික උපකාරක පන්ති සඳහා ද සැලකිය යුතු මුදලක් වැය කිරීමට සිදුවන්නේ ඇයි? බදු මඟින් පාසල් පද්ධතියට දායක වන පවුල්, විභාග තරගය හා ඉගෙනුම් අඩුපාඩු හමුවේ උපකාරක පන්ති සඳහා ද ගෙවයි.

ගුරු බඳවාගැනීම්, වැටුප් වැඩි දියුණු කිරීම්, පාසල් පහසුකම් සංවර්ධනය හා සම්පත් පරතරය අඩු කිරීමට රජය ගන්නා පියවරවල සැබෑ වටිනාකම තීරණය වන්නේ දරුවන්ගේ සමස්ත සංවර්ධනයට ඒවා දක්වන දායකත්වයෙනි. පාසල තුළ ගුණාත්මක ඉගැන්වීම හා අවශ්‍ය ඉගෙනුම් සහාය සැපයීමට අමතරව, දරුවන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය, නිර්මාණශීලීත්වය, කුතුහලය, ස්වාධීන චින්තනය, සහකම්පනය හා සමාජීය කුසලතා වර්ධනය කළ යුතුය.

2026 දී ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු ද මෙම දැක්ම සමග ගැළපේ. එහෙත් සාර්ථකත්වය රඳා පවතින්නේ එම අරමුණු පන්ති කාමරයේ සැබෑ වෙනස්කම් බවට පත්වීම මතය. එමඟින් උපකාරක පන්ති මත අනිවාර්ය යැපීම හා පවුල්වල අධ්‍යාපන වියදම් පීඩනය අඩුකර, මහජන අධ්‍යාපන ආයෝජනවල ඵලදායීතාව ඉහළ නැංවිය හැකිය.

විභාග ප්‍රතිඵල පමණක් අධ්‍යාපනයේ සාර්ථකත්වය මැනීමේ ප්‍රමාණවත් මිනුමක් නොවේ. දරුවකුගේ සංවර්ධනයේ පදනම මුල් ළමාවියේ හා ප්‍රාථමික අධ්‍යාපනයේ දී ගොඩ නැඟේ. මුල් අවධියේ ඇතිවන ඉගෙනුම් පරතරය පසුකාලීනව පුළුල් විය හැකි බැවින්, සෑම දරුවකුටම ගුණාත්මක ඉගෙනුම් අවස්ථා ලබාදිය යුතුය. ඒ සඳහා විෂයමාලා ප්‍රතිසංස්කරණ සමග දක්ෂ ගුරුවරුන්, ඉගෙනුම් පහසුකම් හා දරුවන්ගේ ප්‍රගතිය හඳුනාගන්නා ඇගයීම් ද අවශ්‍යය.

 

අයවැය හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

2024 ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් ළමාවිය සංවර්ධනය, ගුරු වෘත්තිය ශක්තිමත් කිරීම සහ ගුණාත්මක පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ප්‍රමුඛතාවක් දී තිබුණි. 2025 දී ආරම්භ කළ රාජ්‍ය සේවා වැටුප් සංශෝධනය ගුරුවරුන්ට ද ප්‍රතිලාභ සැලසූ අතර, එහි අවසන් අදියර 2027 දී ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2027 අයවැයෙන් පාසල් අධ්‍යාපනයට රුපියල් බිලියන 562.7 ක්ද, පූර්ව ප්‍රාථමික අධ්‍යාපනයට බිලියන 5.6 ක්ද වෙන් කිරීමට යෝජනා කර තිබේ. ඩිජිටල් පහසුකම්,ගුරු සංවර්ධනය සහ අධ්‍යාපන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා බිලියන 35 ක්ද යෝජනා කර ඇත.

ගුරු හිඟය පිරවීම ද තීරණාත්මකය. 2025 අවසානයේ ගුරු පුරප්පාඩු 40,185ක් පැවැති අතර, උපාධිධාරීන් 23,006ක්, විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 6,000ක් පමණ සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඇතුළුව 2027 මාර්තු වන විට ගුරුවරුන් 30,000ක් පමණ බඳවාගැනීමට රජය සැලසුම් කර තිබේ. එහෙත් බඳවා ගැනීමේ සැලසුම් සහ දරුවන්ට අවශ්‍ය විෂයයෙන්, අවශ්‍ය පාසලට ගුරුවරයකු සැබවින්ම ලැබීම වෙනස් කරුණු දෙකකි. නව විෂයමාලා ක්‍රියාත්මක කිරීමේදී ද ගුරුවරුන් සූදානම් කිරීම, අවශ්‍ය සම්පත් සැපයීම සහ පාසල් අතර පවතින පරතරය අවම කිරීම අත්‍යවශ්‍යය.

එබැවින් රජය ගෙන ඇති පියවර අගය කරන අතරම, ඒවායේ සාර්ථකත්වය මැනිය යුත්තේ ප්‍රතිපාදන හා නිවේදන මත නොව, ගුරු හිඟය සැබැවින්ම අඩුවීම, දරුවන්ගේ ඉගෙනුම් ප්‍රගතිය සහ පාසල්වල ගුණාත්මකභාවය වැඩිදියුණු වීම මතය.

 

පවුලට සහනයෙන් රටේ ඵලදායීතාවට

ගුණාත්මක රාජ්‍ය අධ්‍යාපනයෙන් පවුල්වලට පමණක් නොව, සමස්ත සමාජයටත් ආර්ථිකයටත් පුළුල් ප්‍රතිලාභ රැසක් ලබාගත හැකිය. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ යාමෙන් අත්‍යවශ්‍ය නොවන පෞද්ගලික උපකාරක පන්ති වියදම් අඩු කර, පවුල්වලට දරුවන්ගේ පෝෂණය, සෞඛ්‍යය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වැඩි සම්පත් යෙදවීමට අවස්ථාව සැලසේ.

ඊටත් වඩා වැදගත් වන්නේ දැනුම, කුසලතා, නිර්මාණශීලීත්වය හා ස්වාධීන චින්තනයෙන් යුත් පරම්පරාවක් බිහිවීමයි. එමඟින් අනාගත ශ්‍රම බළකායේ ඵලදායීතාව, රැකියා ලබාගැනීමේ හැකියාව, තාක්ෂණික දියුණුව, නවෝත්පාදන සහ ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදන හා අපනයන වර්ධනය කිරීමට පදනම සැලසේ.

එපමණක් නොව, යහපත් සෞඛ්‍ය පුරුදු හා රෝග වැළැක්වීම පිළිබඳ අවබෝධය වර්ධනය වීමෙන් අනාගත සෞඛ්‍ය වියදම් පාලනය කිරීමටත්, සමාජ වගකීම හා සහකම්පනය වර්ධනය වීමෙන් අපරාධ හා සමාජ ගැටලු අවම කිරීමටත්, සමාජ ඒකාබද්ධතාව ශක්තිමත් කිරීමටත් අධ්‍යාපනයට දායක විය හැකිය. පරිසරය පිළිබඳ අවබෝධය හා වගකීම වර්ධනය කිරීමෙන් තිරසාර සංවර්ධනයට ද එය පදනම සපයයි.

එබැවින් අධ්‍යාපනය සඳහා කරන රාජ්‍ය ආයෝජනය, අනාගතයේ ඉහළ නිෂ්පාදන හැකියාවක්, නිරෝගී ජනතාවක්, ශක්තිමත් සමාජයක් සහ වඩාත් තිරසාර ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා කරන දිගුකාලීන ආයෝජනයකි. එහෙත් මෙම ප්‍රතිලාභ ලබාගැනීමට දරුවන්ගේ හැකියාවන් භාවිත කළ හැකි ඵලදායී රැකියා, ආයෝජන හා වෙළෙඳපොළ අවස්ථා ද පුළුල් විය යුතුය.

 

අනාගත පරම්පරාව වෙනුවෙන් ගත යුතු තීරණය

රාජ්‍ය මූල්‍ය තත්වය යළි යහපත් වීමේ සැබෑ සාර්ථකත්වය මැනිය යුත්තේ අයවැය හිඟය හා ණය බර අඩුවීමෙන් නිර්මාණය වන මූල්‍ය අවකාශය ජනතාවගේ ජීවන තත්ත්වය සහ රටේ අනාගත නිෂ්පාදන හැකියාව කොතරම් දුරට ඉහළ නංවන්නේ ද යන්නෙනි. ඒ සඳහා අධ්‍යාපනයට වෙන්කළ සෑම රුපියලක්ම දරුවන්ට ලැබෙන ගුණාත්මක ඉගෙනුම් අවස්ථා බවට පරිවර්තනය කිරීම අත්‍යවශ්‍යය. අනාගත පරම්පරාවට උරුම කළ යුත්තේ ණය බර අඩු රටක් මෙන්ම, එහි දරුවන්ගේ දැනුම හා හැකියා වර්ධනය කිරීමට තිරසාරව ආයෝජනය කළ හැකි, ඉහළ නිෂ්පාදන හැකියාවකින් යුතු රටකි.

 

රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දික ගුණසිංහ