
රජයකට විරුද්ධව අදහසක් දැක්වීම, විරෝධතා පුවරුවක් රැගෙන සිටීම, සටන්පාඨ කියා සිටීම හෝ සාමකාමීව සත්‍යග්‍රහයක නිරතවීම ප්රජාතන්ත්රවාදයේ සාමාන්‍ය අංගයකි. එවැනි ක්‍රියා ආණ්ඩුවට අපහසු විය හැකි නමුත්, අපහසුතාවය නීති විරෝධීභාවයට සමාන නොවේ.
ශ්‍රී ලංකාවේ මෑතකාලීනව පොලිසිය විසින් විරෝධතා සහ සත්යග්රහ වැළැක්වීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණ නියෝග ඉල්ලා සිටීමත්, “මහජන සාමයට බාධා විය හැකිය” හෝ “ගැටුම් ඇතිවිය හැකිය” යන හේතු මත රැස්වීම් තහනම් කිරීමට කටයුතු කිරීම නිරතුරුවම සිදුවන කටයුත්තක් හෙයින් මේ පිළිබඳව නිතිමය තත්ත්වය සලකා බැලීම කාලීන අවශ්‍යතාවයකි.
රජයට එරෙහිව සිදුකෙරෙන සෑම උද්ඝෝෂණයකදීම පාහේ එක් තනි පුද්ගලයෙක් හුදෙකලාව එම උද්ඝෝෂකයන් ඉදිරියට පැමිණ ගැටුමක් ඇතිකර ගැනීමේ අරමුණෙන් හැසිරෙන ආකාරයක් නිරන්තරයෙන් දක්නට ලැබෙන අතර, එහිදී ඊට ඉඩ දී ඔහේ බලා සිට - ගැටුම්කාරී වාග්සංග්රාමයකට පසු උද්ඝෝෂකයන්ගෙන් අයෙක් අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා පොලිසියේ සාමාන්‍ය රාජකාරියක් බවට පත්වී තිබෙන සෙයක් පෙනේ. ඉනික්බිති ගැටුම් ඇතිවීමේ අවධානමක් ඇති බවට මහේස්ත්රාත්වරයාට කරුණු වාර්තාකොට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ එම විරෝධතාවය තහනම් කිරීම සඳහා නියෝග ලබා ගැනීම සිදුකෙරේ.
ශ්‍රී ලංකාවේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 106 වන වගන්තිය අදාළ වන්නේ මහජන පීඩා සම්බන්ධයෙන් හදිසි අවස්ථාවලදී නියෝග නිකුත් කිරීමේ බලතල වෙතය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මහජනතාවට සිදුවන හෝ සිදුවිය හැකි බරපතළ හානියක්, අනතුරක් හෝ පීඩාවක් වැළැක්වීම සඳහා ක්ෂණිකව නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්රාත්වරයාට මෙම වගන්තිය මගින් බලය ලබාදීමයි. යම් පොදු ස්ථානයක, මාර්ගයක, ජල මුලාශ්‍රයක හෝ දේපළක සිදුවන මහජන පීඩාවක් නිසා මහජන ජීවිතයට, සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට සිදුවිය හැකි බරපතළ ආසන්න හානියක් හෝ අනතුරක් තිබේ නම්, සාමාන්‍ය පරීක්ෂණයක ප්‍රතිඵල එනතුරු බලා නොසිට වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝග නිකුත් කිරීමට මෙහිදී හැකියාව ඇත. මින් පැහැදිලි වන්නේ මෙය යොදාගත හැක්කේ හදිසියේ සිදුවිය හැකි බරපතළ හානියක් වළක්වා ගැනීම සඳහා පමණක් මෙම ප්‍රතිපාදන භාවිතා කළ යුතු බවයි. එමෙන්ම මහේස්ත්‍රාත්වරයා ද පොලිසියේ නිල මුද්‍රාවක් ලෙස ක්‍රියා නොකොට ඔවුන් වාර්තා කරන කරුණු පිළිබඳව සෑහීමකට පත්විය හැකි නම් පමණක් එම නියෝග ලබා දියයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නඩුතීන්දු ගණනාවක ප්‍රකාශ කොට ඇත. මීට අනුගතව මීට පෙර පැති ආණ්ඩු සමයන්හි දී කොළඹ නගරයේ උද්ඝෝෂණ නැවැත්වීමට පොලිසිය විසින් ඉල්ලා සිටි නියෝග මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රතික්ෂේප කළ අවස්ථා ගණනාවක් අපගේ මතකයේ පවතී. එසේම උද්ඝෝෂණයක් නිසා මාර්ගයක යම් රථවාහන තදබදයක් හෝ මහජනතාවට සුළු අපහසුතාවයක් ඇති වූ පමණින් එය "මහජන පීඩාවක්" ලෙස සලකා තහනම් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත (උදා: ජනඝෝෂා නඩුව - Amaratunga v. Sirimal)
ජනතා උද්ඝෝෂණ තහනම් කිරීමේ සැබෑ ප්රශ්නය වන්නේ සාමකාමී විරෝධතාවක් සීමා කිරීමට හෝ තහනම් කිරීමට රජය ඉදිරිපත් කළ යුතු නීතිමය හේතුව කුමක්ද ? එම හේතුව කොපමණ නිශ්චිතද ? සහ ගත් පියවර අවශ්‍ය හා සමානුපාතිකද? යන්නයි.
ව්‍යවස්ථාවේ 14(1) (අ) වගන්තියෙන් සෑම පුරවැසියකුටම භාෂණයේ හා ප්රකාශනයේ නිදහස, ප්‍රකාශන ඇතුළුව, හිමි වේ. 14(1)(ආ) වගන්තියෙන් සාමකාමීව රැස්වීමේ නිදහස තහවුරු කරයි.විරෝධතාවක් යනු මෙම අයිතිවාසිකම් දෙකම එකට ක්‍රියාත්මක වන අවස්ථාවකි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යය පිළිබඳව ප්‍රකාශ වන 4 වන වගන්තියේ (ඈ) උප වගන්තිය අනුව ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය,ආරක්ෂා කරනු ලැබිය යුත්තේය වර්ධනය කරනු ලැබිය යුත්තේය ලෙස දක්වා ඇත. ඒ අනුව උක්ත වගන්තිවල දක්වා ඇති භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස මහජනතාව විසින් භුක්ති විදින මහජන උද්ඝෝෂණයක් වැනි අවස්ථාවක එය ආරක්ෂා කරදීම පොලිසියේ වගකීම බව පැහැදිලිය. ඊට පටහැනිව කවරෙකු හෝ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන්නේ නම් පොලිස් නිලධාරීන් එම පුද්ගලයා කවර තරාතිරමක පුද්ගලයෙකු වුවද එම උපදෙස් පිළිපැදීමට බැඳී නොමැත. නිලධාරින් බැඳී සිටින්නේ අධිකාරීන්ගේ නිත්‍යානුකූල නියෝග පිළිපැදීමට පමණි. ප්‍රේමවතී මනම්පේරි නඩුවේ දී අපේ රටේ අධිකරණය මෙන්ම දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විභාග කළ “නිව් රෙම්බර්ග්ස්” නඩු තීන්දුවලදී ජාත්‍යන්තරව ද පිළිගෙන ඇත. එසේ නොවුණහොත් අදාළ ක්‍රියාව සිදුකරන නිලධාරියා පෞද්ගලිකවම එම ක්‍රියාවන් සඳහා වගකීමට බැඳී සිටි.
කතාවක් පැවැත්වීම, පුවරු හා බැනර් ප්‍රදර්ශනය කිරීම, සටන්පාඨ කියා සිටීම, නිහඬ සත්‍යග්‍රහයක නිරත වීම සහ පිකටින් කිරීම සාමාන්‍යයෙන් ප්රකාශනයේ හෝ සාමකාමී රැස්වීමේ අයිතියට ඇතුළත් වේ. ආණ්ඩුව විවේචනය කරන අදහසක්වීම නිසාම එයට අඩු අයිතියක් හිමි නොවේ. කෙසේ වෙතත් මෙම නිදහස නිරපේක්ෂ නොවේ. ව්‍යවස්ථාවේ 15 වන වගන්තිය යටතේ ජාතික ආරක්ෂාව, මහජන සාමය, මහජන සෞඛ්‍යය, වාර්ගික හෝ ආගමික සහජීවනය, අපරාධයකට උසිගැන්වීම සහ අනෙක් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැනි අරමුණු සඳහා නීතියෙන් සීමා පැනවිය හැකිය. එහෙත් සීමා පැනවිය හැකිය යන්නෙන් බලධාරීන්ට කැමති පරිදි සියලු විරෝධතා තහනම් කළ හැකි බව අදහස් නොවේ. සීමාවකට පැහැදිලි නීතිමය පදනමක් තිබිය යුතුය. එය නීත්‍යානුකූල අරමුණක් සඳහා විය යුතුය. එමෙන්ම එම අරමුණ ඉටු කිරීමට අවශ්‍ය අවම මැදිහත්වීම විය යුතුය. විරෝධතාවේ පණිවුඩය නිහඬ කිරීම සඳහා සීමාවක් පැනවිය නොහැක.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි පණිවුඩය
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ Amaratunga v. Sirimal නඩුව, මෙරට විරෝධතා අයිතිය පිළිබඳ වැදගත්ම නඩු තීන්දුවලින් එකකි.“ජනඝෝෂා”නමින් පැවැති විරෝධතාවකදී රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් සටන්පාඨ කියූ පිරිසකට පොලිසිය මැදිහත් විය. අධිකරණය තීරණය කළේ රජයට, දේශපාලන පක්ෂවලට, ප්‍රතිපත්තිවලට සහ වැඩසටහන්වලට සහාය දැක්වීම හෝ ඒවා විවේචනය කිරීම ප්රජාතන්ත්රවාදයේ මූලික අයිතියක් බවයි.රජයට විරුද්ධ සටන් පාඨ කියූ පමණින් පොලිසියට සාම කඩවීමක් ඇතිවනු ඇතැයි සාධාරණව සැක කළ නොහැකි බවද අධිකරණය පැවසීය. ප්‍රචණ්ඩත්වයට හෝ වෙනත් නීති විරෝධී ක්‍රියාවකට උසිගැන්වීමක් තිබේ නම් තත්ත්වය වෙනස් විය හැකි නමුත්, අප්‍රිය හෝ ජනප්‍රිය නොවන දේශපාලන අදහසක් ප්‍රකාශ කිරීම පමණින් එය නීති විරෝධී නොවේ.අධිකරණයේ පණිවුඩය සරලය: පොලිසිය මැදිහත් විය යුත්තේ අදහසේ දේශපාලන දිශාව නිසා නොව, සැබෑ නීති විරෝධී ක්‍රියාවක් හෝ නිශ්චිත හා ආසන්න අවදානමක් තිබේ නම් පමණි.
Joseph Perera alias Bruten Perera v. Attorney-General නඩුවේදී හදිසි නීති යටතේ පත්‍රිකා බෙදාහැරීම සහ පෝස්ටර් ඇලවීම සීමාකිරීම පරීක්ෂා කරන ලදී. සීමාවක් පනවන විට එය අරමුණ සමග සමීප හා තාර්කික සම්බන්ධතාවක් තිබිය යුතු බවත්, රජයේ නීත්‍යානුකූල අරමුණක් තිබුණත් මූලික නිදහස පුළුල් ලෙස මර්දනය කළ නොහැකි බවත් එහිදී අවධාරණය විය.එම මූලධර්මය පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටින අවස්ථාවලටද අදාළ වේ. “ගැටුමක් ඇතිවිය හැකිය” යන සාමාන්‍ය ප්‍රකාශයක් ප්‍රමාණවත් නොවේ. කුමන නිශ්චිත අවදානමක් තිබේද ? එය විරෝධතාව සමග සෘජුව සම්බන්ධ වන්නේ කෙසේද ? සහ අඩු සීමාකාරී ක්‍රමවලින් එය පාලනය කළ නොහැක්කේ ඇයි ද ? යන්න පෙන්විය යුතුය.
රාජ්‍ය විකාශන ආයතන සම්බන්ධයෙන් වැදගත් නඩු තීන්දුවක් වන Fernando v. Sri Lanka Broadcasting Corporation නඩුවේ දී අධිකරණය ප්‍රකාශන නිදහස පටු ලෙස අර්ථකථනය නොකළ යුතු බව පැවසීය. තොරතුරු ලබාගැනීම, සම්මුඛ සාකච්ඡා, අදහස් හුවමාරුව සහ ප්රකාශනයට අවශ්‍ය වේදිකා හා උපකරණ ද ඇතැම් අවස්ථාවල මෙම නිදහස අර්ථවත් කිරීමට අවශ්‍ය විය හැකි බව එහිදී පිළිගන්නා ලදී. විරෝධතාවක් සම්බන්ධයෙන් මෙහි අර්ථය වන්නේ කතාකිරීමේ අයිතිය පමණක් නොව, පුවරු, ශබ්ද විකාශන සහ ඉලක්කගත ප්‍රේක්ෂකයන්ට පණිවුඩය ළඟා කරවීමට සුදුසු ස්ථානයක් පිළිබඳ කරුණුද සලකා බැලිය යුතු බව මින් අදහස් වේ.
Deshapriya and Another v. Municipal Council, Nuwara Eliya නඩුවේදී ආණ්ඩු විරෝධී“යුක්තිය” පුවත්පතේ පිටපත් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අධිකරණය මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් හඳුනා ගත්තේය. ආණ්ඩු විරෝධී අදහස් මර්දනය කිරීම සඳහා රාජ්‍ය බලය භාවිත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය යටතේ ප්‍රකාශන නිදහසට පමණක් නොව, 12 වගන්තිය යටතේ සමාන සැලකීමේ අයිතියටද බලපානු ඇතැයි එහිදී පෙන්වා දුන්නේය.
මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ මාර්ගෝපදේශ
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව2023දී මේ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කොට ඇත.එම මාර්ගෝපදේශ 2022 මහජන විරෝධතා සමයේ ලැබුණු පැමිණිලි සහ සිදුකළ විමර්ශන පදනම් කරගෙන සකස් කර ඇති අතර, සාමකාමී විරෝධතා සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම ඉතා පැහැදිලිව දක්වයි.එහි ප්‍රධාන නියමය වන්නේ සෑම විරෝධතාවක්ම ආරම්භයේ දී සාමකාමී යැයි උපකල්පනය කළ යුතු බවයි. ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීමක් හෝ ප්රචණ්ඩ අරමුණක් ඇති බවට විශ්වාසදායක සාක්ෂි නොමැති නම්, පොලිසියට පූර්වයෙන්ම විරෝධතාවක් ප්රචණ්ඩ යැයි ලේබල් කළ නොහැක. විරුද්ධ කණ්ඩායම් අතර උණුසුම් වචන හුවමාරුවක් හෝ යම් තාවකාලික මාර්ග අවහිරතාවක් පමණින් විරෝධතාවක් ප්රචණ්ඩ එකක් බවට පත් නොවේ. එක් බාහිර පුද්ගලයකු හෝ කුඩා කණ්ඩායමක් ප්රචණ්ඩ ක්‍රියාවක් කළහොත්, මුලින් සාමකාමීව සිටි සියලු විරෝධතාකරුවන්ගේ අයිතිය අහිමි නොවේ. එවැනි අවස්ථාවක පොලිසිය තනි වැරදිකරුවන් ඉලක්ක කළ යුතුය. සාමකාමී පිරිසක් පොදුවේ දඬුවම් කිරීම හෝ ඔවුන් සියල්ලන්ම අත්අඩංගුවට ගැනීම මාර්ගෝපදේශවලට පටහැනිය. මාර්ගෝපදේශ අනුව සාමකාමී විරෝධතාවක් විසුරුවා හැරීම අවසාන පියවර විය යුතුය. එය කළ හැක්කේ විරෝධතාව තවදුරටත් සාමකාමී නොවන විට හෝ අඩු සීමාකාරී ක්‍රමයකින් පාලනය කළ නොහැකි ආසන්න හා බරපතළ ප්රචණ්ඩත්ව තර්ජනයක් තිබෙන විටය. විසුරුවා හැරීමට පෙර පොලිසිය පැහැදිලි නියෝගයක් ලබා දී, ඉවත් වීමට ප්‍රමාණවත් කාලයක් දිය යුතුය.
පොලිසියට ඇති බලය සහ එහි සීමාව
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වගන්තිය යටතේ, නීති විරෝධී රැස්වීමක් හෝ මහජන සාමයට බාධාවක් ඇති කිරීමට ඉඩ ඇති පුද්ගලයන් පිරිසක් විසුරුවා හැරීමට නියෝග කළ හැකිය. දණ්ඩ නීති සංග්‍රහයේ 138 වගන්තිය අනුව, පස් දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් රැස්වීම නීති විරෝධී වන්නේ නිශ්චිත නීති විරෝධී පොදු අරමුණක් තිබේ නම්ය. පොලිස් ආඥාපනතේ 77 සහ 78 වගන්ති පෙරහැර සහ මහජන රැස්වීම් පාලනය කිරීමට පොලිසියට යම් බලතල ලබා දෙයි. 79(2) වගන්තිය තර්ජනාත්මක, අපහාසාත්මක හෝ අවමන් සහගත වචන හෝ හැසිරීම් මගින් සාම කඩවීමක් ඇති කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි බව දක්වයි.නමුත් මෙම බලතලවල අරමුණ සාමකාමී විරෝධතා කල්තියා වාරණය කිරීම නොවේ. මාර්ගයක් තාවකාලිකව අවහිර වීමක් තිබේ නම්, පළමු ප්‍රතිචාරය විය යුත්තේ ගමනාගමනය වෙනත් මාර්ගයකට යොමු කිරීම, සංවිධායකයන් සමග සාකච්ඡා කිරීම සහ ප්රචණ්ඩ පුද්ගලයන් වෙන් කර කටයුතු කිරීමයි. සම්පූර්ණ තහනම අවසාන විකල්පය විය යුතුය.
අධිකරණ නියෝගයක් තිබූ පමණින් සියල්ල අවසන් නොවේ
පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත් පමණින් එම නියෝගය ස්වයංක්‍රීයව ව්‍යවස්ථානුකූල වේ යැයි කිව නොහැක. පොලිසිය ඉදිරිපත් කළ කරුණු, නියෝගයේ පරාසය, සීමාවේ කාලය සහ අඩු සීමාකාරී විකල්ප තිබුණේ ද යන්න පරීක්ෂා කළ යුතුය.Abeysekera v. Rubasinghe නඩුවේදී ප්‍රකාශන නිදහස නියෝජනාත්මක ප්රජාතන්ත්රවාදයේ පදනමක් බවත්, සීමාවක් “ප්රජාතන්ත්රවාදී සමාජයක අවශ්‍ය” හා සමානුපාතික විය යුතු බවත් පැහැදිලි විය. ඒ නිසා අධිකරණ නියෝගයක තිබීම පමණක් නොව, එය නිකුත් කිරීමට පදනම් වූ නිශ්චිත කරුණුද ප්රජාතන්ත්රවාදී පරීක්ෂාවට ලක් විය යුතුය.විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් මූලික අයිතියක් උල්ලංඝනය වූ හෝ උල්ලංඝනය වීමට ආසන්න වූ අවස්ථාවක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 126 වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකිය. සාමාන්‍යයෙන් එය අදාළ උල්ලංඝනයෙන් මාසයක් ඇතුළත කළ යුතුය.
නමුත් ප්‍රායෝගිකව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය වැනි හදිසි නියෝග හරහා ක්ෂණික විරෝධතා නතර කිරීම නිසා එම මොහොතේ විරෝධතාවයේ අරමුණ යටපත් වීම සිදු වේ.
මෙම තත්ත්වය නීතිමය කෝණයෙන් විග්රහ කළහොත් කරුණු කීපයක් පැහැදිලි වේ.
1. ප්‍රායෝගික යථාර්ථය සහ නීතිමය හිඩැස
පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර 106 වගන්තිය යටතේ නියෝග ලබා ගන්නේ බොහෝවිට උද්ඝෝෂණයට පැය කීපයකට පෙරය. එම අවස්ථාවේ දී විරෝධතාකරුවන්ට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවස්ථාවක් නොලැබේ.
කල් ගතවීමේ ගැටලුව: මූලික අයිතිවාසිකම් (FR) නඩුවක් විභාග වී තීන්දුවක් ලැබීමට වසර ගණනාවක් ගත වීම නිසා, අදාළ නීතිය හෝ ගැසට් නිවේදනය සම්මතවීම වැළැක්වීමේ ක්ෂණික අරමුණ ඉන් ඉටු නොවේ.
මෙම ප්‍රමාදය මගහරවා ගැනීමට නීතිය තුළ ඇති කෙටිකාලීන විකල්ප
වසර ගණනාවක් බලා නොසිට, අසාධාරණ නියෝගයක් ක්ෂණිකව අභියෝගයට ලක් කිරීමට නීති පද්ධතිය තුළ පවතින ක්‍රමවේද කීපයක් ඇත.
අතුරු තහනම් නියෝග
ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන අවස්ථාවේදීම, නඩුව අවසන් වන තෙක් අදාළ ගැසට් නිවේදනය හෝ ක්‍රියාව අත්හිටුවන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිය හැකිය. හදිසි අවස්ථාවලදී මෙය දින කීපයක් ඇතුළත සලකා බලනු ලැබේ.
ප්රතිශෝධන අයදුම්පත් (Revision Applications):
මහේස්ත්රාත්වරයෙකු නිකුත් කළ 106 වගන්තියේ නියෝගයක් නීතියට පටහැනි නම්, ඊට එරෙහිව පළාත්බද මහාධිකරණයට ක්ෂණිකව ප්රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කර එම නියෝගය අත්හිටුවීමට (Stay Order) හැකියාව ඇත.
මෝසමක් මගින් කරුණු දැක්වීම
මහේස්ත්‍රාත්වරයා 106 වගන්තිය යටතේ නියෝගයක් නිකුත් කළ විගස, විරෝධතාකරුවන්ගේ නීතිඥවරුන්ට මෝසමක් මගින් එම අධිකරණය හමුවේම පෙනීසිට පොලිසිය ඉදිරිපත් කළ කරුණු අසත්‍ය බව පෙන්වා දී නියෝගය ඉවත් කර ගැනීමට උත්සාහ කළ හැකිය.
විරෝධතාකරුවන්ගේ වගකීම
භාෂණයේ සහ ප්රකාශනයේ අයිතිය යනු ප්‍රචණ්ඩත්වයට, දේපොළ විනාශයට හෝ අනෙක් පුද්ගලයන්ගේ ජීවිතයට අවදානමක් ඇතිකිරීමට බලපත්‍රයක් නොවේ. සංවිධායකයන් පූර්ව දැනුම්දීම ලබාදීම, මාර්ග අවහිරතාව අවම කිරීම, සම්බන්ධතා නිලධාරීන් පත්කිරීම, සහභාගිකයන්ට නීතිමය සීමා පැහැදිලි කිරීම සහ ප්රකෝපකාරී ක්‍රියාවලට නොවැටීම කළ යුතුය.වෙනත් කණ්ඩායමක් ගැටුමක් ඇති කිරීමට පැමිණෙන බව පෙනේ නම්, එයට ප්‍රතිචාර නොදක්වා වෙන්ව සිටීම වැදගත්ය. අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් හේතුව විමසීම, නීතිඥ සහාය ලබා ගැනීම, නියෝගයේ පිටපත ඉල්ලා සිටීම සහ වීඩියෝ හෝ සාක්ෂි ආරක්ෂිතව සටහන් කිරීම ප්‍රයෝජනවත් වේ. එහෙත් සාක්ෂි නොමැතිව පුද්ගලයන්ට හෝ නිලධාරීන්ට අපරාධ චෝදනා එල්ල නොකළ යුතුය.
සාමකාමී විරෝධතාවක් ආණ්ඩුව පෙරළීමේ හෝ මහජනයාට අසීමිත අවහිර කිරීමේ බලපත්‍රයක් නොවේ. ඒ සමගම, ආණ්ඩුවේ අනුමැතිය නොමැති මතයක් දැක්වීම ද අපරාධයක් නොවේ. නීතියේ කාර්යය විය යුත්තේ දෙපාර්ශ්වය අතර සමබරතාව ආරක්ෂා කිරීමයි.එම සමබරතාවයේ අර්ථය විරෝධතාකරුවන් නිහඬ කිරීම නොව- සාමකාමී විරෝධතාවට පහසුකම් සලසා, සැබෑ ප්රචණ්ඩත්වය සහ නීති විරෝධී ක්‍රියා කළ පුද්ගලයන් පමණක් ඉලක්ක කිරීමයි.
ප්රජාතන්ත්රවාදී රටක පොලිසියේ කාර්යය ආණ්ඩුවට විරුද්ධ හඬ නැවැත්වීම නොවේ. එය එම හඬ නීතියේ සීමා තුළ ආරක්ෂිතව ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමත්, කිසියම් පාර්ශ්වයක් හිතාමතා ගැටුමක් ඇති කළහොත් පක්ෂපාතී නොවී නීතිය ක්‍රියාත්මක කිරීමත්ය. එම පරීක්ෂාවෙන් රාජ්‍යය සමත් වන්නේ විරෝධතාවක් කොපමණ ඉක්මනින් තහනම් කළේද යන්නෙන් නොව, සාමකාමී විරෝධතාවක් කොපමණ සාධාරණ ලෙස ආරක්ෂා කළේ ද යන්නෙනි.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd